මට දැනෙනවා ජීවන ගමන හරියට ගෙනියන්න පුළුවන් නියම කෙනා හිමිවුණා කියලා-උදය ශ්‍රි




කණ්ඩායම් සංගීතය තුළ පෙරළිකාර චරිතයක් වගේම තාරුණ්‍යයේ හිතට කතා කළ ඔහු උදය ශ්‍රී. වසර කිහිපයකට පෙර විදෙස්ගත වෙලා සුන්දර ජීවිතයක් ගත කරන ඔහු ලංකාවට සමු දී අවසන්. සංගීතය අත් නොහැර ජීවත් වෙන ඔහුත් එක්ක රසඳුන මේ විදිහට කතාබහක යෙදුණා.


උදය රට අත්හැරලා විදෙස්ගත වෙලා ටික කාලයක් වෙනවා, කොහොමද ජීවිතේ ..?


ඔස්ට්‍රේලියා ඇවිත් දැන් අවුරුදු පහක් විතර වෙනවා. මේ කාලය පුරා මෙහේ ජීවිතේ ට හුරු වෙමින් හොඳින් සතුටින් ජීවත් වෙනවා.


ලංකාවේ ජීවත් වෙද්දීත් සංගීතයත් එක්ක කාර්‍යබහුල වුණා. දැන් කියලත් වෙනසක් නැහැ නේද ..?


ඔව්. මෙහෙත් ඉතාම කාර්‍යබහුල ජීවිතයක් ගත කරන්නේ. මෙහෙත් මගේ රාජකාරිය සංගීතය තමයි . මම මෙහේ ආයතනයක music producer compile විදිහට වැඩ කරනවා. මෙහෙත් සංගීතය එක්ක ජීවත් වෙන්නේ. අත්දැකීම් බහුල පිරිස් එක්ක සංගීතයේ අලුත් දේවල් ඔවුන්ගෙනුත් උකහාගනිමින් මම රැකියාව කරගෙන යනවා. ජීවීතයට බද්ධවූ සංගීතය මෙහෙදිත් කරන්න ලැබීම ගැන සතුටුයි.


කාර්‍යබහුලයි කියලා ඔබේ ශ්‍රී ලාංකික රසිකයින්ට අලුත් නිර්මාණ කරන එක මඟ හරින්නද කල්පනාව ..?


එහෙම නැහැ. හොඳ නිර්මාණයක් කරනවා නම් කාලය අරගෙන කොලිටි වැඩක් කරන්න ඕන. ඒකට කාලය හරස් වෙලා මෙහේ වැඩත් එක්ක. ඒක තමයි නිර්මාණ කරන්න පරක්කු. හිතාගෙන ඉන්නවා අලුත් නිර්මාණ කිහිපයක් කරන්න. 2022 ගීතයක් කළා. වරම් කියලා. ඕඩියො එක විතරයි කරන්න පුළුවන් වුණේ. ඒ ගීතයට වීඩියෝ එකක් කරන්න හිතාගෙන ඉන්නවා. ඊට අමතරව අලුත් ගීත කිහිපයක් කරන්න ප්ලෑන් කරනවා. කාලය කළමනාකරණය කරගෙන අලුත් නිර්මාණ මගේ රසිකයින්ට ලබා දෙන්න තමයි මම හිතාගෙන ඉන්නෙ. මෙහේ දැන් ගෙවන ජීවිතේ එක්ක පොඩි කම්මැළිකමකුත් තියෙනවා.


දැන් පදිංචිය වෙනස් කරලා නිසා ලංකාවට එන්න අදහසක් නැතුව ඇති..?


අපි ඔස්ට්‍රේලියා ආවේ 2018 අවුරුද්දේ. ඇත්තටම කිවුවොත් ආයේ ස්ථිරව පදිංචි වෙන්න ලංකාවට යන්න අදහසක් නැහැ. නිවාඩු තියෙන විදිහට ලංකාවට ගිහිං එන්න හිතාගෙන තමයි ඉන්නේ.


එතකොට ලංකාවේ සංගීත ප්‍රසංග වගේම විදෙස් සංචාර ඔබ මඟ හරිනවා..?


දැනට ලැබෙන සියලු ආරාධනා ප්‍රතික්ෂේප කරනවා. ඇතැම් විදෙස් කොන්සට් හෝල්ඩ් කළා. ඒකට හේතුව පරණ ගීත එක්ක ආයෙමත් වේදිකාවට නගින්න මගේ අදහසක් නැති නිසා. අලුත් නිර්මාණ ටිකක් කරලා වෙලාව හදාගෙන ඉදිරියේ දි විදෙස් රටවලින් ආරාධනා ලැබෙන කොන්සට් භාර ගන්න හිතාගෙන ඉන්නවා.


ඔබ අතිශය ජනප්‍රිය ගායකයෙක්. ඒ ජනප්‍රියත්වය පැත්තකින් තියලා විදෙස්ගත වෙන්න ඕන කියන තීරණය ගත්තේ බිරිඳ ද..?


නැහැ. ඒ තීරණය ගත්තේ අපි දෙන්නම. අපි විවාහ වෙද්දී හිතාගෙන හිටියා හොඳ රටක ජීවත් වෙන්න යන්න ඕන කියලා. සංචාරය කරලා තියෙනවා රටවල් බොහෝමයක. නමුත් ඔස්ට්‍රේලියා කිහිප වතාවක් ආවා. එතකොට මෙහේ සිස්ටම් එක එක්ක ජීවත් වෙන්න ආසා හිතුණා. එහෙම අදහසකින් ඉන්නකොට තමයි මට සංගීත අංශයෙන්ම ජොබ් ඔෆර් එකක් ආවේ. ඒත් එක්කම බිරියටත් එයාගේ විෂයෙන් ජොබ් ඔෆර් එකක් ආවා. ඊට පස්සේ ආපු ඔෆර් එක මඟ හරින්නේ ඇයි කියලා හිතලා ඒ තීරණය ගත්තා. ඒ තීරණය ගන්න එදා දෙපාරක් හිතුවේ නැහැ අපි. මොකද ජීවිතේ කියන්නේ කොහොමත් රේස් එකක්. ඒ රේස් එක ගෙනියන්නේ කොහොමද කියලා තීරණය කරන්නෙ අපිම තමයි .


ජනප්‍රිය තරුවක් ජනප්‍රියත්වය පැත්තකින් තියලා ඔය වගේ තීරණයක් ගත්ත එක ගැන පසුතැවීමක් නැද්ද ..?


හැමදාම මම කළේ සිටුවේෂන් එක හැටියට තීරණ ගත්ත එක. එදා ගත්ත තීරණය ගැන මම පසුතැවෙන්නේ නැහැ. අද මගේ යාළුවෝ හිතවතුන් මට කතා කරලා කියන්නේ හොඳ වෙලාවට ගියේ ලංකාවෙන් කියලා. ලංකාවේ තියෙන තත්ත්වය ගැන දුකයි. ඒත් ගත්ත තීරණය වැරදුණේ නැහැ.


එදා වගේම අදටත් ඔබ ගැන හොයලා බලන ඔබට වඩා ඔබේ නිර්මාණකරණය ගැන උනන්දු වෙන ඈ ඔබට මුණගැහෙන්නේ ඔබ ප්‍රසිද්ධ වෙන්න කලින්..?


මම ඒ කාලේ සංගීත කණ්ඩායමක හිටියේ. පොඩි පොඩි ෂෝවලට සම්බන්ධ වෙන කාලේ තමයි එයාව මුණගැහෙන්නේ. ඒ 2005 අවුරුද්දේ. ඊට පස්සේ කතාබහ කරලා අපි ආදරේ කළා. ඇත්තම කිවුවොත් මුල් අවුරුදු දෙක තුන ගෙදරට හොරෙන් අපි දෙන්න. එස්.එම්.එස් තමයි වැඩිපුර කරන්නේ. අද කාලේ වගේ නිතරම මුණගැහෙන්න අවස්ථාව නැහැ , කලාතුරකින් හමුවෙලා ආදරේ කරපු ආදරේ වින්ද කාලයක අපේ ආදරේ සුන්දර විදිහට ගලාගෙන ගියා. ඊට පස්සේ දෙපාර්ශ්වයෙ දෙමවුපියන් දැනුම්වත් කළා. 2012 දි අපි විවාහ වුණා. එයා මුණගැහෙද්දි මම ජනප්‍රිය නැහැ . ඊට වසර කිහිපයකට පස්සේ තමයි මම ජනප්‍රිය වෙන්නේ. මගේ පීක්ම කාලේ තමයි විවාහ වෙන්නේ. එයා මට මුණගැහෙද්දි සංගීතය කරන ගමන් මම බැංකුවක වැඩ කළා. ඒ නිසා මගේ සංගීත ජීවිතේ කොහොම එකක් වෙයිද කියන්න තරම් එයා ලොකු අවබෝධයක හිටියේ නැහැ. ඒ වගේම ජනප්‍රියත්වය ගැන එයා හිතලාවත් තිබ්බේ නැහැ. ඒ ජීවිතේ හරි සුන්දර විදිහට ගෙවුණා. අදටත් එයා තමයි මගේ ජීවිතේ හයිය. නිතරම කියනවා ගීත කරන්න කියලා. ගීතයක් කළත් ඒ ගීතය අවසාන කරන කල් ඊට අවශ්‍ය පසුබිම හදලා දෙනවා. මට දැනෙනවා ජීවන ගමන හරියට ගෙනි යන්න පුළුවන් නියම කෙනා මට හිමි වුණා කියලා.


තාත්තා වගේම පුතත් සංගීතයේ තත් පිරිමදිනවා ඇති..?


අපේ පුතා දීඝායුෂ් මහේශාක්‍ය. වයස අවුරුදු 10යි. එයා තමයි අපේ ජීවිතේ. එයා වෙනුවෙන් මම ඕන දෙයක් කරනවා. එයා සංගීතයට ලොකු කැමැත්තක් නැහැ. නමුත් පාසලේ සංගීතය හදාරනවා. එයා ප්ලේ කරන්නේ පියානෝ එක. මාත් එක්ක කොන්සට් බලන්න යනවා. ඒත් ලොකු ආසාවකින් නෙමෙයි ඒ විෂයට සම්බන්ධ වෙන්නේ. නමුත් එයාගේ දක්ෂතා මම දකිනවා.


දැන් ශ්‍රී ලාංකිකයින්ට ඔබව අමතක වෙලාද, ලැබෙන ප්‍රතිචාර කොහොමද ..?


මෙහේදි දැකලා කතා බහ කරන ශ්‍රී ලාංකිකයින් ඉන්නවා. ඒ වගේම මට ආදරේ කරන රසිකයින් වෙනුවෙන් මම මගේ උදය ශ්‍රී යූටියුබ් නාළිකාවෙන් මගේ ගීත අහන්න බලන්න සලස්වනවා. ඒවා බලලා මට ප්‍රතිචාර දක්වන අය ඉන්නවා. මගේ ෆේස්බුක් පේජ් එකෙනුත් මම අලුත් තොරතුරු ඡායාරූප හුවමාරු කරනවා. ඒවටත් ප්‍රතිචාර ලැබෙනවා , ඒ ලැබෙන ප්‍රතිචාරවලින් හිතෙනවා රසිකයන්ට තවම මාව මතක තියෙනවා කියලා . ඒ ගැන හරි සතුටුයි. ඒ වගේම ඇතැම් අය තවම දන්නෙ නැහැ මම ලංකාවේ නැහැ කියලා. කොහොම නමුත් මගේ අලුත් ගීත එක්ක මගේ රසිකයින් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා.


හර්ෂණී වීරරත්න





Previous Post Next Post