ටෙලියෙන් අපි තාරුණ්‍යයට දුක පස්සෙ යන්න කියලා දෙන්නෙ නැහැ-සන්තුෂ් වීරමන්




ඔවුන් ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රය තුළ නව මංපෙතක් විවර කළ සංගීතඥයන් දෙපළකි. ලාංකික මූලයන් තම නිර්මාණය තුළට එක්කර ගනිමින් සංගීතයෙහි නව පර්යේෂණයන් සිදු කළ ඔවුන් ලාංකික අනන්‍යතාව ලෝකයට රැගෙන ගිය සංගීත කණ්ඩායමකි. වත්මන් සංගීත ක්ෂේත්‍රයේ බිහි වීමට විශාල බලපෑමක් කළ ඔවුන් විවිධ විවේචනයන්වලට මුහුණ දෙමින් තම ගමන අඛණ්ඩව රැගෙන ආවෝය. අද එක් වන්නේ ප්‍රවීණ සංගීතඥ සන්තුෂ් වීරමන් 


මේ දවස්වල වැඩ කටයුතු ගැන කතා කරමු?


මේ දවස්වල අපි අලුත් ගීත කිහිපයක් එළිදක්වන්න කටයුතු සිදු කරගෙන යනවා. එම ගීතවල නිර්මාණ කටයුතු බොහෝ ප්‍රමාණයක් මේ වන විට අවසන්. තව මියුසික් වීඩියෝ කිහිපයක වැඩ කටයුතු අවසන් කළා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන සංගීත ප්‍රසංගයකට සංචාරය කරන්න බලාගෙන සිටිනවා. ඒ වගේම ඊළඟ වසරේදී ඇමරිකාවේ සංගීත ප්‍රසංගයකට සහභාගි වීමට නියමිතයි. ඔය වැඩ කටයුතු සමඟ දවස් ගෙවී යනවා.


දෙරණ සිනමා සම්මාන උළලේදී ජනප්‍රියම චිත්‍රපට ගීතයට හිමි සම්මානය දිනා ගන්නේ සෙව්වන්දි පායා ගීතය. ඒ ගැන කතා කරමු


මේ ගීතය වාසව බදුගේ කියන සිනමා අධ්‍යක්ෂවරයාගේ පළමු සිනමාපටය වන ආදරණීය ප්‍රාර්ථනා සිනමාපටයේ ගීතයක්. මෙය සංගීතවත් කරන්නේ යසස් මැදගෙදර. ශෙහාන් ගලහිටියාව තමයි මෙහි පද රචනාව සිදු කළේ. වාසව බදුගේ තමයි මෙය ගායනා කිරීමට අපිට ආරාධනා කරන්නේ. මේ ගීය අපි ගිය වසරේ ගායනා කළ ගීත අතර ඉතා ඉහළින් ජනතාව අතර ජනප්‍රිය වුණා.


සිනමාපටයකට ගීතයක් නිර්මාණය කිරීම වෙනත් ගීතයක් නිර්මාණය කරනවට වඩා වෙනස් දෙයක්ද?


අපේ ඇල්බමයකට අපි ගීයක් නිර්මාණය කරන විට අපි විඳි හැඟීමක් හෝ සිද්ධියක් තමයි එය නිර්මාණය කිරීමට බලපාන්නේ. ඒ ඔස්සේ තමයි අපි එයට උචිත සංගීතය නිර්මාණය කරන්නේ. සිනමාපටයකට ගීයක් නිර්මාණය වන විට ඒ සිනමාපටයට උචිත අයුරින් තමයි එම ගීත නිර්මාණය වන්නේ. චිත්‍රපටයේ තේමාව, අරමුණ ආදී දෙය අවබෝධ කරගෙන තමයි එය නිර්මාණය වෙන්නේ. අපි සෙව්වන්දි පායා ගීතය ගායනා කරන්නේ එම සිනමාපටයේ එම අවස්ථාවට උචිත හැඟීම ජනනය වන අයුරින්. භාතිය සහ මම එම සිනමාපටයේ වස්තු බීජය සහ කතාව අධ්‍යයනය කළ පසුව තමයි මේ ගීතය ගායනා කළේ. මේ දෙක තුළ යම් වෙනසක් තිබෙනවා.


සික්ස් පැක් ටෙලිනාට්‍ය නිර්මාණය කරන්නේ ඔබේ සංකල්පයකට අනුව. මොකක්ද මේ කතන්දරය.


මෙහි කතා සංකල්පය සහ නිෂ්පාදනය සිදු කළේ මම. ලංකාවේ මේ වනතුරු ඉඪබජධථ කියන ආකාරයේ නිර්මාණ වෙලා තිබුණෙ නැහැ. මට ඒ වර්ගයේ ටෙලිනාට්‍යයක් නිර්මාණය කරන්න අවශ්‍යතාවක් තිබුණා. මම SGM Films ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනවා. අපි SGM Films එක්ක සාකච්ඡා කරන විට තමයි අපිට අසංක සායක්කාරව මුණගැසෙන්නේ. ඔහු මෙය නිර්මාණය කරන්න කැමැති වෙනවා. මට අවශ්‍ය වුණේ ලංකාවේ සිටින තාරුණ්‍යය සමාජයේ තිබෙන ප්‍රශ්න සමඟ තමන්ගේ නිදහසත් විඳිමින් ජීවිතයේ හැලහැප්පීම් මැද ඉදිරියට යන කතාවක් නිර්මාණය කරන්න. ලංකාවේ තිබෙන ටෙලිනාට්‍ය බහුතරයක් වැටෙන්නේ සෝප් ඔපෙරා කියන වර්ගීකරණය යටතට. මෙහි සිටින චරිත හයදෙනා ගත කරන්නේ ජීවිත හයක්. ඔවුන් ජීවිතය දිහා බලන්නේ දෘෂ්ටි කෝණ හයකින්. ඔවුන්ට ජීවිතය දැනෙන්නේ සහ ජීවිතයට මුහුණ දෙන්නේ ආකාර


හයකින්. අසංක සායක්කාර තමයි මෙම නිර්මාණය රූප රාමුවට ගෙනෙන කාර්යභාරය ඉටු කරන්නේ. ඔහු මේ නිර්මාණයට විශාල මහන්සියක් දැරුවා. එය තාරුණ්‍යයට උචිත අයුරින් නිමැවූවේ ඔහු. මේ නිර්මාණය තුළ අපි තාරුණ්‍යයට දුක පසුපස යන්න කියා දෙන්නේ නැහැ. මෙය ඉතා ධනාත්මක කතන්දරයක්. මෙහි සිටින චරිත ඉදිරියට යන්නේ විශාල ගැටලුවලට මුහුණ දෙමින්. අපේ වත්මන් ලංකාව තුළ සිටින තරුණ තරුණියන් ගෝලීයකරණය සමඟ හිතන පතන විධිය සහ ඔවුන් ඉදිරි අනාගතය ගැන හිතන්නේ කොහොමද කියන දෙය තමයි මෙහි තිබෙන්නේ. මේකෙ තිබෙන්නේ ජීවන රටාවක්. එයින් තාරුණ්‍යය ධනාත්මකව සිතන්න පොලඹවන්න තමයි මට අවශ්‍ය වුණේ. මහන්සිවෙලා වැඩ ඇරිලා ගෙදර ආවම ජීවිතය විඳින්න පුළුවන් කතාවක් තමයි මම නිර්මාණය කළේ.


සමාජ මාධ්‍ය තුළ කලාකරුවන්ව අසීමාන්තිකව විවේචනය කරනවා. ඔබ මෙය දකින්නේ කෙසේද?


කලාව විවේචනය කරන එක අද ඊයේ විතරක් සිදුවුණු දෙයක් නෙවෙයි. ඒක අතීතයෙත් තිබුණා. අපි මේ කලා ක්ෂේත්‍රයට ඇවිත් මේ වන විට වසර විසි පහක්. අපි තරම් මේ ක්ෂේත්‍රය තුළ බැනුම් අහපු දෙන්නෙක් තවත් නැතුව ඇති. කලාව සහ කලාකරුවා මේ විධියට විවේචනය කරන්න, විවේචනය කරන කෙනාට ඒ පිළිබඳව මනා අවබෝධයක් තිබෙන්න අවශ්‍යයි. එහි ව්‍යුහය, ආකෘතිය පිළිබඳව හැදෑරීමකින් අනතුරුව තමයි එය සිදුකළ යුත්තේ. කලාව ඇතැම් අය විවේචනය කරනවා. නමුත් ඔවුන් පසුකාලීනව වටහා ගන්නවා මෙසේ කලාව නව්‍යකරණය වීම තුළින් සමාජයට සහ රටට යහපත් දෙයක් සිදුවෙනවා කියලා. කලාවේ පෙරළියක් සිදුවන්නේ ඒ විධියට. ඒක කලාවේ හැමදාම සිදුවුණ දෙයක්. නමුත් ලංකාව තුළ සැමදාම සිදුවුණේ ගුණාත්මක විවේචන. එයින් අදහස් වෙන්නේ යම් දෙයක කලාත්මක පැත්තෙන් තිබෙන දෙය විවේචනය කිරීම.


කලාවට ගුණාත්මක විවේචනයක් විතරක් තිබිලා මදි ප්‍රමාණාත්මක විවේචනයකුත් තිබෙන්න ඕන. ප්‍රමාණාත්මක විවේචනය කියන දෙය තුළ කතා කරන්නේ කලාව තුළ නිර්මාණය වන කලා නිර්මාණයට නීතිමය අයුරින් මොනතරම් නම් ආරක්ෂාවක් තිබෙනවාද? එයට මූල්‍යමය වශයෙන් මොනතරම් ආරක්ෂාවක් තිබෙනවාද? කලාකරුවාට ලැබෙන දේවල් මොනවාද, වෙනත් රටවල කලාවට තිබෙන සම්පත් අපට තිබෙනවාද වැනි දෙය විවේචනය කිරීම. මේ පිළිබඳව විවේචනය සිදුවිය යුතුයි. නමුත් ලංකාව තුළ මේ ප්‍රමාණාත්මක විවේචනය සිදුවන්නේ නැහැ. අපි අපේ කලාව


අපනයනය කරන්න ඕන. අපේ බුද්ධිමය දේපළ වෙනත් රටවලට රැගෙන යන ආකාරය ඉගෙනිය යුතුයි. අපි එහෙම අවස්ථාවන් ඇති කරලා තිබෙනවාද? අපි මේ පිළිබඳව කතා කළ යුතුයි. ලංකාව තුළ ගුණාත්මක දෙය විවේචනය කරමින් ප්‍රමාණාත්මක දෙය පිළිබඳව කතා නොකරමින් කට පියාගෙන ඉන්නවා. වෙනත් රටවල මේ දෙආකාරයෙන්ම විවේචනය සිදු වෙනවා. ඒ විධියට තමයි මේ ක්ෂේත්‍රය තුළ ව්‍යුහය ගොඩනැඟෙන්නේ. මේ දේවල් අපි නිර්මාණය කළ පසුව අනාගත නිර්මාණකරුවාට තිබෙන්නේ නිර්මාණය සිදුකරන්න විතරයි. මේ ක්ෂේත්‍රය තුළ අපිට දේවල් කරන්න නිර්මාණය කරන්න කවුරුත් උපකාර කරන්නේ නැහැ. නමුත් කලාව විවේචනය කරන්න ඕනෑ තරම් පිරිස් සිටිනවා. හැමදේම මුදල් නෙවෙයි. එයිට වඩා ගොඩක් දේවල් තිබෙනවා.


කලාකරුවාට තමා ආශා කරන දේශපාලනයක් සිදු කිරීමට අයිතියක් නැද්ද?


කලාකරුවාට තමන්ගේම කියා දේශපාලන මතයක් තිබෙනවා. එය තීරණය වෙන්නේ එම කලාකරුවා මත. එය කලාකරුවාගෙන් කලාකරුවාට වෙනස් වෙනවා. කලාකරුවා වැරදි නම් එය ජනතාව පෙන්වා දෙයි.


අනාගත පරපුරට දෙන්න තිබෙන අවවාදය මොකක්ද?


අපි රටක් විධියට ගත්තහම දූපතක්. අපේ රටේ මිනිසුන්ට තිබෙන්නේ වසර දෙදහස් ගණනක් පුරා පැවතගෙන ආපු දූපත් මානසිකත්වයක ඩී.එන්.ඒ. අපි අපේ රට ගැන විතරක් හිතලා ඉස්සරහට යන්න අමාරුයි. මම තාරුණ්‍යයට කියන්නේ ලෝකය ගැන හිතන්න කියලා. තමන් හිතන දෙය රටට විතරක් සීමා නොකර ලෝකයට ගෙනයන්න. දැන් මේ තිබෙන ඩිජිටල් විප්ලවයත් සමඟ ලෝකය සමඟ ගනුදෙනු කරන්න ලෙහෙසියි. අවශ්‍ය වන්නේ අදහස් පමණයි. අපි අපේ රටේ දේවල්වලින් භාගයක්වත් ලෝකයට හ¾දුන්වලා දීලා නැහැ. ලෝකයට අපේ දෙය ගෝචර වන අයුරින් ගෙනයන්න අපි උත්සාහ දරන්න ඕන. ඒක සංගීතයෙන් විතරක් නෙවෙයි ඕනෑම කලා මාධ්‍යයකින් රැගෙන යන්න පුළුවන්. අපිට ශ්‍රී ලාංකිකත්වය කියලා හැඟීමක් සහ ඉලක්කයක් තිබෙන්න ඕන. ඒ ධනාත්මක හැඟීමෙන් අපි මනස පුරවා ගත්තොත් අපිට රටක් විධියට ඉස්සරහට යන්න පුළුවන්.


ගිහාන් සචින්ත





Previous Post Next Post