මම මට ගැළපෙන විදියට අඳින කෙනෙක් - ගයත්‍රී දිසානායක

 


ගයත්‍රී දිසානායක කියන්නේ මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන නාට්‍යය කිහිපයකම විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක්. මේ දිනවල නම් ගයත්‍රී දිසානායක නීල පබළු හි ගයාත්‍රි ලෙස සහ ෆෝචූන් රෙසිඩන්සි මින්කි ලෙස ප්‍රේක්ෂකයින් අතරට එනවා.


මේ දවස්වල නිර්මාණ කටයුතු කොහොමද?


නීල පබළු සහ ෆෝචූන් රෙසිඩන්සි නාට්‍යය දෙක විකාශය වෙනවා. ඒවායේ රූපගත කිරීම් වලටත් සහභාගී වෙනවා. තව අලුත් නාට්‍යයක රූපගත කිරීම් පටන් ගෙන තියෙනවා. බුද්ධික බෝධිනායක අධ්‍යක්ෂණය කරන "පංච කර්ම". තව ටෙලි නාට්‍යය සහ චිත්‍රපට කිහිපයක් භාර ගෙන තියෙනවා.


රංගනයට ආ හැටි කෙටියෙන් මතක් කළොත්?


පාසල් අධ්‍යාපනයෙන් පස්සේ මහේන්ද්‍ර පෙරේරා සර්ගෙන් රංගනය පිළිබඳ පාඨමාලා හැදෑරුවා. ඔය කාලේ මාව දැකලා එක්තරා නාට්‍යයකට කතා කළා. එතැනින් තමයි රංගනයට එන්නේ.

මොකක් ද මුල්ම නිර්මාණය?


2017 දී විකාශය වුණු “සංසාරා” කියන ටෙලි නාට්‍යය.


ඔබ පුංචි කාලේ ඉඳන් සිහින දැක්කේ රංගනයට එන්නද?


මට දැනුම් තේරුම් ඇති කාලේ ඉඳන්ම මම කලාවට ආස කළා. මම ඉගෙන ගත්තේ කඩවත විද්‍යාලෝක විද්‍යාලයෙන්. අපේ පාසලේ නාට්‍යය හා රංග කලාව විෂය තිබ්බේ නැහැ. මම පාසලෙන් බාහිරව ඉගෙන ගත්තා. නමුත් අතරමැද දී නවත්තන්න වුණා. ඔය අතරේ ඔඩිෂන් එකක් තියෙනවා කියලා දැන්වීමක් දැකලා මම එහි ගියා. එතැනදී මාව තෝරා ගත්තා. නමුත් මට ඒ නිර්මාණයට සම්බන්ධ වෙන්න බැරි වුණා. ඊට පස්සේ තමයි නැවත ඩ්‍රාමා ක්ලාස්වලට සම්බන්ධ වුණේ.


ගයත්‍රීව වැඩියෙන්ම ප්‍රේක්ෂකයින් අතරට අරන් ගිය චරිතය මොකක් ද?


පාර දිගේ නාට්‍යයේ මිෂෙල්ගේ චරිතය. ඒ චරිතයට මම හරි කැමැතියි.


මිෂෙල්ගේ චරිතය කියන්නේ සල්ලි වලට ගේම් ගහන චරිතයක් වුණත්, නාට්‍යය විකාශය වෙන කාලය තුළ මට ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. සමහර ලැබෙන ප්‍රතිචාර ගැන හිතාගන්නත් බැහැ.


සිනමාවේ අත්දැකීම කොහොමද?


මුලින්ම කළේ හර්ෂ උඩකන්ද අයියාගේ කොළඹ සන්නිය රිටන්ස්. ඊට පස්සේ නාලක විතානගේ අධ්‍යක්ෂණය කළ හෝලා චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් කළා. එය තවම තිරගත වුණේ නැහැ.


වේදිකාවට තියෙන සම්බන්ධය කොහොමද?


මේ දවස්වල මම සම්බන්ධ වෙලා ඉන්නවා සුමිත් ගල්හේන අධ්‍යක්ෂණය කරන "අපි දඟකාරියෝ" කියන වේදිකා නාට්‍යයට. තව වේදිකා නිර්මාණ දෙකකට විතර ආරාධනා ලැබිලා තියෙනවා.


අද වෙනකොට රංගනයට සම්බන්ධ වීම ගැන මොකද හිතෙන්නේ


රංගනය සඳහා ලැබෙන සෑම ආරාධනාවක් මම බාර ගන්නෙ නැහැ. මට ගැළපෙනවා නම් පමණයි ඒ චරිත භාර ගන්නේ. කාලයක් ගියත් මිනිස්සු ආදරේ කරන නමක් හදාගෙන ඉන්න එක ගැන ගොඩක් සතුටුයි.


කරන්න ආසාවෙන් ඉන්න චරිත තියෙනවද?


ඇත්තටම ඔව්. මම මෙතෙක් කරලා තියෙන්නේ නපුරු සැර සහ රවට්ටන චරිත. ඒ නිසා මම කැමති අහිංසක වෙනස් විදියේ චරිත කරන්න. මට චරිතවලට ඇරයුම් ලැබෙද්දීත් මම කියනවා අනේ පුළුවන් නම් මට වෙන චරිතයක් දෙන්න කියලා. මගේ පෙනුම සහ මම මෙතෙක් කරලා තියෙන චරිත එක්ක මට ඇරයුම් ලැබෙන්නෙම නපුරු චරිත වලට.


ඔබ රංගනයට සීමාවන් තියෙනවද?


චරිතවලට මම සීමා දාගෙන නැහැ. නමුත් ලැබෙන නිර්මාණය කොහොම එකක්ද මොන විදියට ද කරන්නේ කියන එක ගැන සැලකිලිමත් වෙනවා. නිර්මාණයේ වටිනාකමට අදාළ යම් කිසි හරයක් ඇති චරිතයක් නම් භාර ගන්නවා.


විලාසිතාවලට තියෙන කැමැත්ත ගැන කතා කළොත්?


මම මට ගැළපෙන විදියට අඳින කෙනෙක්. සමහර අය මම අඳින විදියට හිතන්න පුළුවන් විලාසිතා වලට වැඩි ඉඩක් දීලා කියලා. හැබැයි එහෙම විලාසිතා කියලා ලොකුවට ෂොපින් කරලා ඒ වෙනුවෙන්ම කාලය වෙන් කරලා නැහැ.


ටැටූ කීයක් තියෙනවද?


මේ වෙද්දී පොඩි ටැටූ දෙකක් කරලා තියෙන්නේ. මම නම් ආසයි තව කරන්න. නමුත් විවිධ චරිත කරන්න ගියාම ටැටූ බාධාවක් වෙන නිසා ආයේ නම් ටැටූ කරන්නේ නැහැ කියලා ඉන්නේ.


අනාගත බලාපොරොත්තු මොනවද?


කැමතියි කවදා හරි දක්ෂතම නිළිය සම්මානය ගන්න.





Previous Post Next Post