මාව සතුටින් තියන්න පුළුවන් එකම දේ ආදරය විතරයි -කළණි දොඩම්තැන්න

 



කෝරලගේ සමන්ගේ අධ්‍යක්ෂණයෙන් මේ දිනවල ජාතික රූපවාහිනියේ දිග හැරෙන ‘අමුතු දොස්තර’ ටෙලි නිර්මාණයේ යොහානිගේ භූමිකාවට පණ පොවන ඇය දෙස බොහෝ දෙනාගේ අවධානය යොමුවී ඇත. රංගනයෙන් වෛද්‍යවරියක් වුවද සැබෑ ජීවිතයේදී ඇය දක්ෂ චිත්‍ර ශිල්පිනියකි. එමෙන්ම සම්මානලාභී රංගන ශිල්පිනියකි. මේ දිනවල එංගලන්තයේ දිවි ගෙවන ඇය කළණි දොඩම්තැන්නයි. දක්ෂ රංගන ශිල්පී තුමිඳු දොඩන්තැන්නගේ ආදරණීය බිරිය වන ඇය ඔබට ආගන්තුක ද නොවේ. නාමල් ජයසිංහගේ ‘සහෝදරයා’ ටෙලි නිර්මාණය ඔස්සේ රංගනයට පිවිසි ඇය මේ වන විට නිර්මාණ රැසකට දායක වී සිටින්නීය. අද අප හා එක්වන්නේ ඇයයි.


විදෙස් රටක වෙසෙන ඔබට ‘අමුතු දොස්තර’ සඳහා ආරාධනා ලැබෙන්නෙ කොහොමද?


මට මේ නිර්මාණයට ආරාධනා ලැබෙන්නේ කෝරලගේ අයියගෙන්. මම ඔහුව දන්නෙ කාලෙක ඉඳන්. වේදිකාවේ වගේම ටෙලිනාට්‍යවලත් අපි එකට වැඩකරල තියෙනවා. එයාගෙ පළමුවැනි නිර්මාණයට මටත් කතා කළා. මම හරිම සතුටින් ඒ වැඩේට සම්බන්ධ වුණා. තිර පිටපත ලියන්නේ සුසිත් විජයමුණි සහ දිල්ෂිකා රාජපක්ෂ. ‘තණමල්විල කොල්ලෙක්’ ටෙලි නිර්මාණයේදිත් මං සුසිත් අයියත් එක්ක වැඩ කළා. ඔහුගේ මේ නිර්මාණය එක්කත් වැඩකරන්න ලැබීම සතුටක්.


ඔබ මෙහි වෛද්‍යවරියක්. කොහොමද ඒ අත්දැකීම?


යොහානි කියන්නේ දමිළ වෛද්‍යවරියක්. ඇය ගොඩක්ම හුදෙකලාවට කැමති බොහොම සරල ජීවිතයක් ගතකරන කෙනෙක්. ඒවගේම ජීවිතයේ සියල්ල අතහැර සියලු දෙයින් ඈත්වී ලැබෙන පුංචි දේ පවා ජීවිතේ සතුට කරගත්තු ගැහැනියක්. ඇත්තටම ඒ අත්දැකීම ගොඩක් වෙනස්.


අලුත් අධ්‍යක්ෂවරයෙක් යටතේ වැඩ කරන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?


කෝරලගේ සමන් අලුත් අධ්‍යක්ෂවරයෙක් බව ඇත්ත. ඒත් ඔහු නාට්‍ය හා රංග කලාව උපාධියක් සහිත ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල කෙනෙක්. ඒ වගේම කරන වැඩේ අවංකව කැපවීමෙන් කරන කෙනෙක්.


අධ්‍යක්ෂණයට නවකයෙක් වුණාට ඔහු දක්ෂ රංගන ශිල්පියෙක්. ඒ ගැන කතා කළොත්?


අධ්‍යක්ෂණයත් සමඟින් ප්‍රධාන භූමිකාව රඟනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. ඔහුගෙන් මටත් හොඳ සහායක් ලැබුණා. ඒ දෙකම සමබරව පවත්වාගෙන, සාර්ථක නිර්මාණයක් ප්‍රේක්ෂකයාට තිළිණ කිරීම කියන්නෙම ඔහුගේ දක්ෂතාවක්.


දායක වුණු පිරිස ගැන කතා කළොත්?


ඇත්තටම මේ නිර්මාණයේ හිටියෙ ඉතාම දක්ෂ නළු, නිළි පිරිසක්. ඒ හැමෝටම වේදිකාවේ, පුංචි තිරයේ වගේම රිදී තිරයේත් අත්දැකීම් තියෙනවා. ඔවුන් එක්ක වැඩ කරන්න ලැබීම ලොකු සතුටක්. ඒ වගේම ගොඩක් දේවල් ඉගෙනගන්නත් ලැබුණා. මේ නාට්‍ය සාර්ථක වෙන්න හේතුවත් ඒ වගේ දක්ෂයින් පිරිසක් සම්බන්ධ කරගැනීම කියලයි මට හිතෙන්නේ. කැමරා ශිල්පී චින්තක අයියා වගේම ප්‍රේක්ෂකයින්ට නොපෙනෙන තිරය පිටුපස ඉඳන් වෙහෙසෙන දක්ෂයින් ගොඩක් ඉන්නවා.


කළණි ක්ෂේත්‍රයට පිවිසුණු විදිහ ගැන මතක් කළොත්?


රංගන ශිල්පිනියක් විදිහට මම ක්ෂේත්‍රයට එන්නේ නාමල් ජයසිංහගේ ‘සහෝදරයා’ ටෙලි නිර්මාණයෙන්. ඒ අතරේ පාලිත පෙරේරාගෙ තාල චිත්‍රපටයටත් සම්බන්ධ වුණා. චිත්‍ර කලාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අතරේ තමයි රංගනයට අවස්ථාව ලැබෙන්නේ.


නිර්මාණ රාශියකට සම්බන්ධ වෙලා නැති වුණත් ලැබුණු පුංචි අවස්ථාවෙන් පවා ප්‍රේක්ෂක, විචාරක ආදරය දිනාගන්න හැකිවීම සතුටක්. ‘තණමල්විල කොල්ලෙක්’ නාට්‍යයේ මරියාගෙ චරිතය ඉතාම කෙටි ජවනිකා කිහිපයකට සීමා වුණත් ප්‍රේක්ෂකයන් අතර ගොඩක් කතාබහට ලක්වුණා. තවමත් සමාජ මාධ්‍යවල ඒවා ශෙයාර් වෙනව දකිද්දි සතුටුයි.


කළණි දැන් දිගටම එංගලන්තයේ ඉන්නද කල්පනාව. කොහොමද ඒ අත්දැකීම?


මම එංගලන්තෙ ජීවත් වෙන්නෙ තුමිඳුගෙ ආචාර්ය උපාධිය නිසා. ලබන අවුරැද්දෙ අපි ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ. මම වැඩකරන්නෙ ලන්ඩන්වල VMD ආයතනයේ. මගේ ආයතනයේ අධ්‍යක්ෂකවරු දෙපළ වජිර ධනපාල සහ ක්‍රිෂාන්ති මීමනගේ විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන. ඔවුන් මගේ කලා කටයුතුවලට ලොකු සහයෝගයක් දෙනවා විතරක් නෙවෙයි නිතරම මාව උනන්දු කරවනවා. ඒ වගේම මෙහේ ජීවත් වෙන ලාංකිකයන් මගේ නාට්‍ය බලලා මට කතාකරනව. ඒ වගේ ආදරයක් ලැබීම ලොකු සතුටක්.


ඉදිරි නිර්මාණ ගැන කතා කළොත්?


මම මේ නිර්මාණයට සම්බන්ධ වුණෙත් එංගලන්තයේ ඉඳන් ඇවිත්. තවත් ටෙලි නාට්‍යකට වගේම චිත්‍රපටයකටත් ආරාධනා ලැබිල තියෙනවා. රැකියාවේ කටයුතුත් එක්ක මගේ පවුලේ වැඩවලටත් බාධාවක් නොවෙන විදිහට කාලය කළමනාකරණය කරගෙන ඒවටත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වැඩවලදි තුමිඳුගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම මගේ අම්මා, තාත්තාත් මට ලොකු සහායක් දෙනවා.


පවුලේ විස්තර ටිකකුත් කියමු?


අපිට ඉන්නේ පුංචි පුතෙක්. එයාගෙ නම අපූර්ව. තවම අවුරුදු 6යි. එයා පාසල් යනවා. තුමිඳුයි, මමයි, පුතයි තමයි මගේ පුංචි පවුල. තුමිඳු ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරනවා. අපි ඉන්නෙ එංගලන්තයේ එල්ස්බරි කියන ප්‍රදේශයේ. මගේ අම්මයි තාත්තයි සහෝදරියන් දෙන්නයි ඉන්නෙ ලංකාවේ. තුමිඳුගෙ අම්මා ඉන්නෙත් ලංකාවේ. මේ හැමෝම හරිම ආදරෙන් මතක් කරනවා. එයාලගෙ ආදරය තමයි මට ලැබෙන ලොකුම හයිය.


තමන්ගේ අයගෙන් ඈත්වෙලා දුරු රටක ජීවත්වෙද්දි ආදරය, බැඳීම් කියන දේවල වටිනාකම වැඩියෙන් දැනෙනවා ඇති නේද?


අපි හැමෝම ආදරය කියන එක මත තමයි ජීවත් වෙන්නේ. ආදරයට හැමෝම කැමතියි. ආදරයත් හරියට ඔක්සිජන් වගේ කියලයි මට හිතෙන්නේ. පුංචි කාලෙ ඉඳන්ම මාත් අම්මා තාත්තගෙ වගේම පවුලෙ හැමෝගෙම ආදරය මැද්දෙ හැදුණු වැඩුණු කෙනෙක්. ඒ වගේම පල්ලිය ඇසුරේ හැදුණු වැඩුණු දෙවියන් කෙරෙහි ආදරයෙන් බැඳුණු කෙනෙක්. මං හැමතැනම දැක්කෙ ආදරයම විතරයි. අපි විවාහ වෙලත් දැන් අවුරුදු 11ක්. මගේ සැමියයි පුතයි එක්ක ගෙවන ජීවිතෙත් හරිම ආදරණීයයි. එහෙම බැලුවම මං හැමදාම ආදරවන්තියක්. ඇත්තටම මේ ලෝකෙ මාව සතුටින් තියන්න පුළුවන් එකම දේ ආදරය විතරයි.


නාමලී ගමගේ




Previous Post Next Post