මගේ ලොකුම හයිය එයා - දිල්කි හංසිකා

 


මේ දිනවල ජාතික රූපවාහිනියේ සති අන්තයේ විකාශය වන SEAසෝ ටෙලි නිර්මාණය මුහුද ආශ්‍රිත ජීවිත හා බැඳුණු ටෙලි නිර්මාණයකි. එහි ප්‍රධාන භූමිකාවට පණ පොවන දිල්කි හංසිකා ලොක්කි ටෙලි නිර්මාණයේ මලිති ලෙසින් ඔබේ ආදරය දිනාගත්තා ඔබට අමතක නැතිව ඇති. අන්දරේ ටෙලි නිර්මාණයේ සඳලතා මෙන්ම සංගීතේ ටෙලි නිර්මාණයේ ජයනි ද ඇයයි. SEAසෝ ටෙලි නිර්මාණය ඔස්සේ ඇය ලැබූ නවතම අත්දැකීම අප හා මෙසේ බෙදා ගත්තාය.


සෑම සති අන්තයකම රාත්‍රී 7.30ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වන රවීන්ද්‍ර තන්තිරිගේ ගේ SEAසෝ ටෙලි නිර්මාණයේ ගිහානිගේ භූමිකාවට පණ පොවන ඇය සොයුරන් දෙදෙනකුගෙන් යුත් පවුලක දඟකාර නැගණියයි. අහිංසක චරිතවලටම සීමා වී සිටි ඇය SEAසෝ ඔස්සේ නපුරු, කටකාර චරිතයකින් ප්‍රේක්ෂකයා හමුවන්නීය.


“ගිහානි කියන්නේ මට අභියෝගයක් කිව්වත් හරි. ඒකට හේතුව මෙතෙක් මට ලැබුණේ අහිංසකම චරිත. ඉන් එහාට ගිහින් නපුරුකම ඉස්මතු කරන්න ලැබුණු අවස්ථාවක් මේක. මුහුද ආශ්‍රිතව චරිතයක් ලැබුණු පළමු අවස්ථාවත් මේක. තාත්තත් නැති පවුලේ බර කරට ගන්න අම්මා මාළු විකුණනවා. අයියලා දෙන්නගෙන් එක්කෙනෙක් රා මදිනවා. අනිත් එක්කෙනා මාළු අල්ලනවා. ගිහානි මට වෙනස්ම අත්දැකීමක් වුණා. එතැනදි මගේ චරිතය සාර්ථක කරගන්න ප්‍රවීණයන්ගෙන් ලැබුණු සහයෝගය අමතක කරන්න බෑ. විශේෂයෙන්ම අම්මා විදිහට රඟපාන මල්කාන්ති ජයසිංහ, අයියලා ලෙස රඟපාන දසුන් පතිරණ සහ කලණ ගුණසේකර මගේ චරිතය ගොඩනඟා ගන්න ලොකු අත්වැලක් වුණා. ඔවුන්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නත් අවස්ථාව ලැබුණා.“


මුහුද ආශ්‍රිතව ගෙවුණු කාලය මෙන්ම ලද අත්දැකීම් කිසිදා අමතක නොවන බව ද ඇය අප හා පැවසුවාය.


“මං කවදාවත් මේ වගේ අත්දැකීමක් ලබලා තිබුණේ නෑ. ඒක හරි ලස්සන වැඩක්. අගහිඟකමක් නැති සාමාන්‍ය ධීවර පවුලක තරුණියක් විදිහට ගිහානි ජැන්ඩියට අඳින පලඳින, අයියලාටත් වඩා ඉහළට ගිහින් ලොකු සල්ලිකාරයෙක් වෙන්න කැමැති චරිතයක්. ඒ වගේම නිතරම අම්මා, අයියලා එක්ක එල්ලෙන්න බලන් ඉන්න චරිතයක්.


ෂූටිං කරද්දි ගිනි කාෂ්ඨක අව්වවත් අපේ ඇඟට දැනුණෙ නෑ. ටෙලි නිර්මාණය පුරා ලබපු හැම අත්දැකීමක්ම වගේ මට අලුත්. එක තැනක් තියෙනවා අම්මට කැමැත්තෙන් ඉන්න කෙනෙක් ලොකු මාළුවෙක් මට දෙනවා අම්මට දෙන්න කියලා. මං ඒක අරගෙන අම්මට නොදී අමාරුවෙන් ගෙදර උස්සන් එනවා.“


SEAසෝ රූගත කර තිබුණේ දකුණු පළාතේ අලුත්ගම ප්‍රදේශයේ මුහුදු තීරයේය. රාත්‍රියේ මුහුදු වෙරළේ ලද අත්දැකීම් ඇය අප හා පැවසුවේ ද රූගත කිරීමේ එක් ජවනිකාවක් මෙනි.


“අපි නැවතිලා හිටියේ මුහුද ළඟම ගෙදරක. ඒ හරියේ ගොඩක් කැස්බෑ බිත්තර තියෙනවා අපි දැක්කා. දවසක් මහ රෑ අපි වෙරළට වෙලා බලාගෙන හිටියා කැස්බෑවො පෝලිමට එන හැටි. ඒක හරිම ලස්සන දර්ශනයක්.


තව දවසක් මුහුදෙ සෙල්ෆි ගහන්න ගිහින් අන්තිමට චාජර් එකත් නැති කරගෙන ආවේ. ඔය වගේ රසවත් තැන් ගොඩක් තියෙනවා.“


පුංචි තිරයේ අහිංසකාවිය ලෙස ප්‍රේක්ෂක මනසේ ඇඳී සිටි දිල්කිට ගිහානි ලෙසින් වෙනස් ප්‍රතිරූපයක් ගොඩනඟා ගන්නට ලැබුණු මෙම අවස්ථාව ගැන ඇය ස්තුතිපූර්වකව සිහිපත් කළාය.


“SEAසෝ අධ්‍යක්ෂ රවීන්ද්‍ර තන්තිරිගේ අයියා එක්ක මං මීට කලින් වැඩ කරල තිබුණා. ඔහුගේ ආරාධනාව මං හරිම කැමැත්තෙන් භාර ගත්තා. මේක මටත් වෙනස් අත්දැකීමක්. ඒ වගේම ප්‍රවීණයන් පිරිසක් එක්ක වැඩ කරන්නත් ලැබුණා. ගොඩක් වෙලාවට මට වැඩ කරන්න ලැබුණෙම නවකයන් එක්ක. මාත් නවකයෙක් විදිහට ප්‍රවීණයන්ගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තිබුණා. ඔවුන් මට ගොඩක් දේවල් කියල දීලා ලොකු සහයෝගයක් දුන්නා. ඔවුන්ට ස්තුති කරන්නත් මං මේක අවස්ථාවක් කරගන්නවා.


සිනමාව පැත්තෙන් ගත්තොත් මට ජාත්‍යන්තර සිනමාපටයකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණා. ඒක පාසල් ආශ්‍රිතව කළ නිර්මාණයක්. නවසීලන්තය, ඔස්ට්‍රේලියාව වගේ රටවල ඒක ප්‍රදර්ශනය කෙරෙනවා. කාර්යබහුලත්වය නිසා සිංහල සිනමාවට ලැබුණු ආරාධනාවක් මඟහැරුණා. ආයෙම අවස්ථාවක් ලැබුණොත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. තවත් අලුත් ඩ්‍රාමා එකකට ආරාධනා ලැබිළ තියෙනවා. ලබන මාසෙ ඒකෙත් ෂූටින් පටන් ගන්නවා. ඊට අමතරව අධ්‍යාපන කටයුතු කරන ගමන් ෆොටෝ ෂූට්වලට වගේම වෙළෙඳ දැන්වීම්වලටත් සම්බන්ධ වෙනවා.“


සියල්ල සාර්ථකව කරගැනීමට සහාය දෙන ඔහු ගැන සිහිපත් කරන්නත් දිල්කි අමතක කළේ නැහැ.


“මගේ අම්මා, තාත්තා, අයියා, මල්ලී වගේම මගේ හැම දේකටම සහාය වෙන ඔහු ගැනත් මතක් කරන්නම ඕන. ඔහුත් කලාවට සම්බන්ධ කෙනෙක්. ඉෂාර ඩිල්ෂාන්. 2021 හිරු අවුරුදු කුමරා වුණේ ඔහු. අපි දෙන්න හමුවෙන්නේ මියුසික් වීඩියෝ එකකදී. මුලින්ම යාළුවෝ විදිහට හඳුනගෙන යාළුකම ආදරයක් බවට පත්වෙද්දී ඔහු මගේ ගමනට ලොකුම හයිය වුණා. මේ වෙද්දි ඔහු විදෙස්ගත වෙලා හිටියත් හැම වෙලේම මං ගැන සොයා බලනවා.



Previous Post Next Post