විවාහය නිසා කෙටි කලකට රැඟුමට සමුදෙනවා -කාවින්ද්‍යා දුල්ෂානි




ජයප්‍රකාශ් ශිවගුරුනාදන් ගේ අධ්‍යක්ෂණයෙන් මේ දවස්වල පුංචි තිරයේ දිගහැරෙන කෝලම්කුට්ටම ටෙලි නිර්මාණය රසවිඳින පේ‍්‍රක්ෂකයන්ට මැය කවුද යන්න යළිත් මතක්කර දෙන්නට කිසිසේත්ම අවශ්‍ය නැත. ඒ තරමට ඇය කෝලම්කුට්ටම රසවිඳින පේ‍්‍රක්ෂකයන්ට ළෙන්ගතු වී හමාරය. ටෙලි නිර්මාණය පුරාවට සුද්ධි, මිනිමුතු නමින් කවුරුන් හෝ දෙයාකාරයෙන්ම ඇමතුවද මේ නිර්මාණය තුළ ඇය එකම පුද්ගලයාය. මීට පෙරඅතුව පුංචි තිරයේ දිගහැරුණු මේඝා - බිමන්සා, සඳඑළිය - නිර්මලී, රන්බැඳි මිනිස්සු - සතී, සිද්ධාර්ථ ගෞතම - යශෝධරා, අහස් මාලිගා - අහිංසා, සකල ගුරු - නෙළුම් ආදී නිර්මාණ බොහොමයක විවිධ චරිත ඔස්සේ පේ‍්‍රක්ෂක සිත් පැහැර ගත් ඈ මේ දිනවල මිනිමුතු ලෙසින් පේ‍්‍රක්ෂක හද බැදගෙන ඇත. නමින් ඈ කාවින්ද්‍යා දුල්ෂානිය. 


කාවින්ද්‍යා කොහොමද මේ දවස් වල කලා කටයුතු?


මම රඟපෑ කෝලම්කුට්ටම, අනිච්ඡාවත, සංඛරා ටෙලි නාට්‍ය දෙක මේ දවස්වල ස්වර්ණවාහිනී නාළිකාවෙත් ජාතික රූපවාහිනී නාළිකාවෙත් විකාශය වෙනවා.


මේ දවස්වල කෝලම්කුට්ටම චරිතය බොහොම ජනපි‍්‍රයයි. ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?


‘සුද්දි’ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර තියනවා. කාවින්ද්‍යා කියන මගේ නම අමතක වෙලා මිනිස්සුන්ට ‘සුද්දි’ කියන නම තමයි කාවැදිල තියෙන්නේ. මාව පාරේ දැක්කත් මිනිමුතු සුද්දි කියල තමයි කතා කරන්නේ. ඒ තරමට පේ‍්‍රක්ෂකයෝ ඒ චරිතෙත් එක්ක එකතු වෙලා ඉන්නවා. මමත් මේ ක්ෂේත්‍රයේ හිටිය කාලය ගත්තහම වැඩිපුරම පේ‍්‍රක්ෂක ප්‍රතිචාරයක් ලැබුණු ටෙලි නිර්මාණය තමයි කෝලංකුට්ටම.


ඒ කියන්නේ ඔබේ රංගන කාල වකවානුගත්තහම වැඩිම පේ‍්‍රක්ෂක ආකර්ෂණයක් ලැබුවේ?


සුද්දි එහෙම නැත්තම් මිනිමුතු කියන මගේ චරිතය කිව්වොත් හරි. අවුරුදු හතක වගේ පුංචි කාලයක මගේ කලා ජීවිතය තුළ මම නොයෙක් නිර්මාණවල විවිධ චරිත කළත් මාව හිට් වුණේ කෝලම්කුට්ටම ටෙලි නිර්මාණයේ සුද්දි එහෙම නැත්තම් මිනිමුතු චරිතෙන් කිව්වොත් හරියට හරි.


කාවින්ද්‍යා අමතක වෙලා සුද්දි නමින් ඔබව මේතරම් පේ‍්‍රක්ෂකයන් අතර ජනපි‍්‍රයවන්න හේතුව මොකක් කියලද ඔබ හිතන්නේ?


මම හිතන්නේ මගේ වසර හතක විතර රංගන ජීවිතයේ මට රඟපාන්න මෙතරම් කාර්යක් කරන්න පුළුවන් චරිතයක් මීට පෙර ලැබුණේ නෑ කියලා. යම් දෙයක් කරන්න පුළුවන් චරිතයක් තමයි සුද්දි කියන්නේ ඉස්සන් අල්ලන එක, රූකඩ නටවන එක ඔරු පදින එක වගේ බහු කාර්යන් ප්‍රමාණයක් මගේ චරිතය තුළ ප්‍රතිනිර්මාණය කරන්න තියන ටෙලි නාට්‍යයක් තමයි කෝලම්කුට්ටම. මම හිතනවා පොලවේ පයගහලා ජීවත්වන චරිතයක් තමයි සුද්දි. ඒ නිසා පේ‍්‍රක්ෂකයොත් මේ චරිතයට මෙතරම් ආදරය කරනවා විය හැකියි.


ඔය කියන්නේ කාවින්ද්‍යාට මීට පෙර පොළොවේ පයගහන චරිත ලැබුණේ නෑ කියලද?


ගොඩක් මෙගා ටෙලි නිර්මාණ තමයි මට රඟපාන්න ලැබුණේ. ඒවායේ මේ වගේ චරිතයක් මට ඇත්තෙන්ම ලැබුණේ නෑ. මේ කෝලම්කුට්ටම මෙගා ටෙලි නාට්‍යයක් වුණත් සුද්දි චරිතය මේ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණයක් තුළින් ඉදිරියට ගෙන යනවා. සද්ධාමංගල සූරියබණ්ඩාර ඒ චරිතය මනා ලෙස රචනය කරමින් අපූරු ආකාරයෙන් ගොඩනගනවා හැමෝගෙම එකමුතුවෙන්. මම රඟපෑ අනෙක් ටෙලි නාට්‍යවල චරිතත් ජනපි‍්‍රය වුණා. නමුත් මිනිස්සු සුද්දිව මිනිමුතුව තමන්ගේ කෙනෙක් බවට පත්කරගත්තා. ඒකයි මෙතන තියන වෙනස.


වසර හතක් පුරා දිග හැරෙන ඔබේ රංගන ජීවිතය තුළ ටෙලි නිර්මාණවලට පමණක් ඔබ කොටුවුණාද?


නෑ. මම මේ වන විට චිත්‍රපට දෙකක් සඳහා රංගනයෙන් දායක වුණා. චාමර පීරිස්ගේ ‘උතුරු සුළඟ’, ගාමිණී හේවාවිතාරණගේ ‘සඳ දඩයම’ චිත්‍රපට සඳහා මෙයින් උතුරු සුළඟ චිත්‍රපටය තිරගත වුණා. සඳ දඩයම චිත්‍රපටය ඉදිරියේදී තිරගත වෙන්න තියනවා.


ටෙලි කැමරාව ඉදිරියේ රංගනයේ නියැළී ඔබට සිනමා කැමරාව අභියෝගයක් වුණේ නැද්ද?


සිනමානුරූපී කැමරාව මට අභියෝගයක් වුණා. මම උතුරු සුළඟ රඟපාන කොට ඊට ප්‍රථම ටෙලි නාට්‍ය දෙකක විතරයි මම රඟපාල තිබුණේ. ටෙලි නාට්‍ය කලාව හා සිනමානුරූපී කලාව අතර ලොකු වෙනසක් තියනවා. රූපගත කිරීම්වලට ගියහම. මෙගා ටෙලි නාට්‍ය කලාවේ නැති ඩිසිප්ලීන්වලින් සෙට් එකේ තියන එකමුතුකමේ ලොකු වෙනසක් මම දැක්කා සිනමා රූපගත කිරීම් වල. මගේ මුල්ම චිත්‍රපටයේ ප්‍රවීණ නළු නිළියන් හා මට රඟපාන්න ලැබුණා. දිල්හානි ඒකනායක. ශි‍්‍රයන්ත මෙන්ඩිස් ඒ දෙපළ තමයි මගේ මවට පියාට රඟපෑවේ ඒ දෙපළගේ අත්දැකීම් හේතුකොට මගේ නුහුරු ගතියමට මගහරව ගන්න ලොකු ආශිර්වාදයක් වුණා. ඒ දෙපළගේ උදව් මත.


උතුරු සුළඟ සිනමා නිර්මාණයට ඔබට ආරාධනා ලැබෙන්නේ කොහොමද ටෙලි නාට්‍ය නිළියක් විදිහට සිටින අතරතුර?


චාමර පීරිස් අධ්‍යක්ෂතුමා තමයි මට කතා කළේ මාව මීට කලින් ඔහු ටෙලි නාට්‍යයක දැකල ඔහුම තීරණයක් අරන් තියනවා. මේ චිත්‍රපටයේ යශෝදරා (චූටි මැණිකේ) චරිතයට මාව ගැළපෙනවා වගේම කාවින්ද්‍යාව ටෙලි නාට්‍ය සඳහා කොටු වී සිටින තැනින් එළියට ගන්න පුළුවන් කියන දේත් ඔහුට හිතිල තියනවා. ඒ අනුව මට චිත්‍රපටයට ආරාධනා කළා. පිටපත දීල තිර පරීක්ෂණයක් තියල ඒ අනුව තමයි මම මුල්ම සිනමා කෘතිය රඟපාන්න ලැබෙන්නේ. එයින් පසුව තමයි දෙවැනි සිනමා නිර්මාණය විදියට සඳ දඩයම ලැබෙන්නේ.


සඳ දඩයම මොන ගණයේ චිත්‍රපටයක් ද?


මම දන්නෑ. ඒ සඳහා කොමර්ෂල් පැත්තද ආට් පැත්තද ලැබෙන්නේ කියල වර්ණා නම් වූ මගේ රඟපෑ චරිතය බැරෑරැම් එකක්. දුක්කම් කටුලු මැද ජීවත් වීමට වෙර දරන නොයෙක් ප්‍රශ්නවලට මුහුණ දෙන ගැහැනියකගේ චරිතයක් තමයි මම එහි රඟපාන්නේ.


කාවින්ද්‍යා දුල්ෂානි වේදිකාවට අකැමැති නිළියක්ද?


මම මේ කලා ක්ෂේත්‍රයට පැමිණි දා ඉඳලා බොහොම ආශාවෙන් හිටියා වේදිකා නාට්‍යයකට සම්බන්ධ වන්න මම අහලා තිබුණා වේදිකා නාට්‍ය නිර්මාණයකට දායක වුණොත් තමන්ගේ රංගන කුසලතාව වර්ධනය කර ගන්න හොඳ මාර්ගයක් කියල, නමුත් ඒ ආශාව ඉෂ්ට කරගන්න අද වෙනකන් මට අවස්ථාවක් උදා වුණේ නෑ.


රංග ශිල්පියෙකුට තියන හරිම තක්සලාව වේදිකාව කියල ඔබ දැන දැනත් ඇයි ඒ අවස්ථාව උදා නොකර ගත්තේ? ඒ ගැන උනන්දු නොවුණේ?


මම ටෙලි නාට්‍ය පැත්තෙන් ලැබුණු වැඩ ටික කළා. මගෙන් වැරැද්දක් ඇති. මම ආසාවෙන් හිටියට ඒ ගැන පසුපස හොයා නොගිය එක ගැන. ඒ සොයා නොයාම මම කරගත් මහ මෝඩවැඩක් කියල මට අද හිතෙනවා.


අද ඔබට ප්‍රවීණ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් නිර්මාණයකට කතා කළොත්?


ඒක තමයි කනගාටුදායකම සිද්ධිය. මගේ විවාහ ජීවිතයත් සමඟ මම දැන් තීරණය කරල තියනවා. මගේ පෞද්ගලික ජීවිතයට මුල් තැනක් දෙන්න. අන්න ඒ හේතුව නිසා වේදිකා නාට්‍යයක් ලැබුණොත් මට ඒ වෙනුවෙන් දෙන්න ඕනෙ කැප කිරීම කරන්න ලැබෙන්නේ නෑ. ඒ නිසාවෙන් වේදිකාව මගෙන් තව තවත් දුරස් වෙනවා.


පෞද්ගලික ජීවිතයට මුල් තැන දීමතුළ ඔබට කවදාවත් වේදිකාවට සම්බන්ධ වෙන්න බෑ කියන එකනෙ ඔය කියන්නේ?


ඔව්. පෞද්ගලික ජීවිතයට මම මූලිකත්වය දීම තුළ මම මේ රටේ ජීවත් වීමට තියන කාලය බොහොම සීමා සහිත වෙනවා. මගේ ස්වාමි පුරුෂයා ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේ මට ඔහු ළඟට යන්න සිද්ධ වෙලා තියනවා. ඉතිං කොහොමද වේදිකාව ගැන හිතන්නේ.


විදෙස් ගත වීමත් සමඟ කාවින්ද්‍යා කලාවෙන් සමුගන්නවා කියල ද කියන්නේ?


නෑ. මම කලාවෙන් සමුගන්නේ නෑ. මගේ ස්වාමි පුරුෂයාත් කලාවට සම්බන්ධයි. ඔහු ගීත රචකයෙක්. මියුසික් වීඩියෝ, කොමර්ෂල්, නිෂ්පාදකයෙක්. ඔහුටම කියල ප්‍රඩක්ෂන් හවුස් එකක් තියන හිමිකාරයෙක්.


මේතරම් පේ‍්‍රක්ෂක ආකර්ෂණයක් ලබන්න. ඔබට මිනිමුතු වන්න ලැබුණේ කොහොමද?


මම ඉස්සෝ දානව කියන එක දැකල තිබුණේ නෑ. කිසිම දවසක ඔරු පැදල තිබුණෙත් නෑ. නමුත් මට ඒ දේවල් ඉගෙන ගන්න මාදූව කියන ගමේ අය ගොඩාක් උදවු කළා. කොටින්ම කිව්වොත් මම රඟපාන්න එනකන් මාදුගඟ දැකල තිබුණෙත් නෑ. අඩුම තරමේ බෝට්ටු සවාරියක්වත් ගිහින් තිබුණේ නෑ. හැබැයි මොකක්ද වාසනාවකට මොනවහරි දෙයක් කියලා දුන්නහම මට අල්ල ගන්න පුළුවන්. ඒ නිසා එක දවසින් පැය භාගයෙන් ඔරු පදින හැටි මම අල්ල ගත්තා. ඉස්සෝ දාන එකත් මට ගමේ අංකල් කෙනෙක් කියල දුන්නට පස්සේ අල්ල ගත්තා. මෝටර් බෝට්ටුව එලවන එක නම් හරිම ආශාවෙන් ටක් ගාල අල්ල ගත්තා.


සැබෑ ජීවිතයේ කාවින්ද්‍යා රංගනයේ මිනිමුතු එහෙම නැත්තම් සුද්දි කියල ප්‍රේක්ෂකයෝ කොහේ වුණත් හඳුනගන්නවද?


මම මාස්ක් එකක් දාල හිටියත් මාව හඳුනාගන්න පේ‍්‍රක්ෂකයන්ට වැඩි වෙලාවක් යන්නේ නෑ. මගේ කටහඬ තුළින් ඔවුන් ඉවෙන් වගේ දැනගන්නවා මේ මිනිමුතු එහෙම නැත්තම් සුද්දි කියල.


පුංචි තිරයේ නිළිවරම් ලබන්නට ඔබට අවකාශ උදා වුණේ කොයි ආකාරයෙන් ද?


මගේ මුල්ම ටෙලි නාට්‍යය තමයි මේගා 2015 වසරේ මම අයි.ටී.එන් අවුරුදු කුමරිය තරඟයට ඉදිරිපත් වෙනවා. ඒ තරඟයෙන් අන්තිම දොළොස් දෙනා අතරින් එක් කෙනෙක්ට නිළිවරමක් සඳහා තෝරාගැනීමක් සිදු කරනවා. තරඟය අවසානයේ ඒ දොළොස් දෙනා අතරින් ස්ක්‍රීන් ටෙස්ට් එකක් තියල තෝරනවා මේගා ටෙලි නාට්‍යයේ බිමන්සාගේ චරිතයට කෙනෙක් ශාන්ත සොයිසා මහත්තයා එහිදී දොළොස් දෙනා අතරින් ඒ සඳහා තෝරගන්නේ මාව.


බිමන්සා වෙන්න කලින් ඔබට රංගනය ගැන අත්දැකීමක් තිබුණ ද?


කොහෙත්ම නෑ. කැමරාවක් ඉදිරියේ හිටගත්තෙත් අවුරුදු කුමරිය තරඟයට විතරයි. ඒ ඇරෙන්න වෙන කිසිම දැනුමක් රංගනය පැත්තෙන් මම ලබල තිබුණේ නෑ. අපොස සා පෙළ වෙනකන් මම ඉගෙන ගත්තේ දොම්පේ දේවිබාලිකා විද්‍යාලයේ. ඊටපස්සේ උසස් පෙළ සඳහා මම ඇතුළත් වුණේ ගම්පහ සිද්ධාර්ථ විද්‍යාලයට. රංගනය ගැන ඉගෙන ගන්න මට ගුරුවරු හිටියේ නෑ. මාව මටම ගුරුවරයෙක් කරගත්තා. මම උත්පත්තියෙන් ගෙනා හැකියාවක් තුළ මම වසර හතක් පුරාවට මේ පිළිබඳ ලබපු අත්දැකීම් ප්‍රවීණයන්ගේ ආභාසය ඔවුන්ගේ මා දකින රංගනයේ සුවිශේෂීභාවයන් මගේ ඥානයට එක් කරන් මගේ ගමන අද මම යනවා.


ඔබ තිබ්බා ගැහුවා ටෙලි නාට්‍ය හැදෙන යුගයක බිහිවන නිළියක් කිව්වොත්?


මම අහල තියන විධියට අපේ මුල් කාලයේ ටෙලි නාට්‍ය හැදිල තියෙන්නේ. කලින් පිටපත අධ්‍යයනයක් කරල නළු නිළියන් තමන්ගේ චරිත ගැන අවබෝධයක් ඇතුව කතාව මුල, මැද, අග ගැන දැනගෙන. නමුත් අපි ක්ෂේත්‍රයට එනකොට ඒ ක්‍රමය බැහැර වෙලා රඟපාන කොට පිටපත ලැබෙන තත්ත්වයට පත්වෙලා. මම හිතන්නේ දැන් තමයි නළුවා නිළිය පරිකල්පන ශක්තිය අවධි කරන්න හොඳම කාලය. ක්ෂණිකව චරිතය අවබෝධ කරගන්නත් ඒ ඒ චරිත අතර සම්බන්ධය ගොඩනගා ගන්නත් හොඳ අවබෝධතා ඥානයක් දැන් ශිල්පීන්ට තිබිය යුතුයි. ක්ෂණිකව ස්ක්‍රිප්ට් එක ලැබෙන කොට හැබැයි මම කියන්නේ නෑ ගුණාත්මක නිර්මාණයක් මෙවැනි දේකින් අපේක්ෂා කරන්න පුළුවන් කියලා. ඇට් කරන්න පෙර පිනකින් ගෙනා අවබෝධයක් නම් තිබිය යුතුමයි මේ විධියට රඟපෑමක් කරන්න අද කාලයේ.


රඟපෑ නිර්මාණයක් විකාශය වීමේදී ඔබ පසු තැවුණු අවස්ථා තියනවද?


නැතුව නොවෙයි. මට මේ චරිතය තව හොඳට කරන්න තිබුණානේ කියල හිතෙන අවස්ථා තියනවා. පිටපත කලින් ලැබිල ඒ ගැන හොඳ අධ්‍යයනයක් කරන්න තිබුණා නම් මීට වඩා දෙයක් මේ චරිතය තුළ මට ගොඩනගන්න තිබුණානේ කියල හිතෙන අවස්ථා ඕනෙ තරම්.


දැන් කියමුකෝ බලන්න මෑතකදී ඇරැඹු යුග දිවියේ තොරතුරුත්?


මගේ සැමියා මේ ක්ෂේත්‍රයේම කෙනෙක්. ඔහු බුද්ධික ජයවර්ධන බ්‍රියෝ ප්‍රඩක්ෂන් හවුස් හිමිකරුත් ඔහු. එයා ගීපද රචකයෙක්. ගීත ඇල්බම් දැන්වීම්, නිෂ්පාදකයෙක්. මේ කලා ක්ෂේත්‍රයෙන්මයි මට බුද්ධිකව හමුවන්නේ. එයා ලිව්ව ගීතයකට එයාම නිෂ්පාදනය කරන ගීත ඇල්බමයක විෂුවල්වලට මාව ගත්තා එහි නිළිය විධියට දමිත් අසංකගේ නුඹ මට සිහිවන... ගීතය සඳහා. එයා මාව එයාගේම ගීත නිර්මාණයකට තෝරාගන්න හේතුවෙලා තියෙන්නේ. අවුරුදු දෙකක විතර ඉඳලා මට කැමැත්තෙන් ඉඳල මා දිහා බලාගෙන ඉඳලා තියනවා. ඒ ගීත ඇල්බමයට මාව සම්බන්ධ කරගත්තාට පස්සේ ඇතිවෙන කතාබහ තමයි ටිකෙන් ටික ආදරයක් බවට පත්වෙන්නේ. අවසානයේ විවාහයකින් එය කෙලවර වෙනවා. බුද්ධිකගේ ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන බිස්නස් එක ක්‍රන්ස්ට්‍රක්ෂන්. නමුත් එයා තුළ කලාවට තියන ආශාව නිසා කලා නිර්මාණ වෙනුවෙන් නිෂ්පාදනයෙන් දායක වෙනවා. අපි දෙන්නාගේ විවාහය මේ වසරේ ජූනි 29 වැනිදා සිද්ධ කළා.


ඇත්ත ද මේ කාවින්ද්‍යා කලාවෙන් සමුගන්නවා කියන්නේ?


මම ලබන මාසයේ ඕස්ටේ‍්‍රලියාවට යනවා මගේ සැමියා ළඟට මින් ඉදිරියට මම ටික කාලයක් රඟපෑමෙන් ඈත්වෙලා ඉදිවී. කෝලම්කුට්ටම මගේ අවසාන ටෙලි නාට්‍ය රංගනය වේවි. ටික කාලයකට හරි ඉදිරියේදී මගේ සැමියා එයාගේ ප්‍රඩක්ෂන් හවුස් එක හරහා ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරන්න බලාපොරොත්තුවක් තියනවා. එහෙම උණොත් නැවත මම රඟපාන්නත් පුළුවන්. මේතරම් අසීමිත පේ‍්‍රක්ෂක ආකර්ෂණයක් තිබියදී රඟපෑමෙන් ටික කාලයකට හරි අයින් වෙලා ඉන්න මම අකමැත්තෙන් වුණාත් හිතහදාගත්තේ පවුල් ජීවිතය මට ගොඩක් වටිනා නිසා. එයා එහෙ මම මෙහෙ හිටියොත් අවසානයේ ඩිවෝස් කියල අහන්න වෙයි.


මිනිමුතුට මොකද වෙන්නේ?


මගේ රසිකයන්ට මම කියන්නේ මිනිමුතුට අසාධාරණයක් නොවෙන්න මම මිනිමුතුට සමුදෙනවා. ලංකාවෙන් යන්න කලින් කෝලම්කුට්ටමේ ඉතිරි මගේ චරිතය රඟපාල මිනිමුතුට සමුදෙනවා. රසිකයන්ට මම කියන්නේ දිගටම මම කලාවෙන් ඈත්වෙලා ඉන්නේ නෑ කියන එක තමයි. දෙසැම්බර් මාසයේ යළිත් ලංකාවට එනවා. මම භාරගත් පි‍්‍රයන්ත ප්‍රනාන්දුගේ නාට්‍යයක රූපගත කිරීම්වලට.


කාවින්ද්‍යා කලාවට එනවාට දෙමාපියන්ගේ අකමැත්තක් තිබුණ ද?


තාත්තා නම් කොහෙත්ම කැමැති වුණේ නෑ. මගේ ගම මල්වානේ. අපේ දෙමාපියන් තුළ තියන මතිමතාන්තර බොහෝ වෙනස් මේ ක්ෂේත්‍රය ගැන උනත් එයාල දරන්නේ නොසතුටක්. මට රඟපෑමේ අවස්ථාව උදා වුණාට අම්මා අකැමත්ත හිතේ තියාගෙන මාත් සමඟ හැමදේටම ආව ගියා මගේ තනියට. මගේ මුල්ම ටෙලි නාට්‍ය විකාශයත් සමඟ අම්මාගේ දැනුම්වත් කිරිම් මතත් තාත්තාගේ කැමැත්තත් පසුව ලැබුණා.


පවුලේ තොරතුරු ගැන කිව්වොත්?


අම්මා ඉන්දිකා කුමාරි, තාත්තා රවීන්ද්‍ර ජනක. මට නංගිලා තුන්දෙනෙක් ඉන්නවා. ලොකු නංගි ශෂිකලා එයා විවාහකයි. දෙවැනි නංගි සංසලා එයා පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබනවා. පොඩි නංගි ලිතුමි යොෂිඩා ජාත්‍යන්තර පාසලේ පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.


කාවින්ද්‍යා ඕස්ට්‍රේලියාවේ ගිහින් කරන්න හදන්නේ මොනවද?


මම අලුත් බ්‍රෑන්ඩ් එකක් පටන් ගත්තා. ඇඳුම් සම්බන්ධ දුලික් නමින්. ඒ බිස්නස් වැඩක් දැන් කරගෙන යන අතරේ තමයි විදෙස් ගත වෙන්නෙත්. එහෙ ගිහින් ප්‍රධාන වශයෙන් කරන්න බලාපොරොත්තු වන්නෙත් ඒ බිස්නස් එකේ වැඩ තමයි.


ඔබේ පාසලේ ගුරුවරු යහළු යෙහෙලියන් හමු වූ විට අද කියන්නේ ඔබ ගැන මොනවද?


මේ එදා හිටිය කාවින්ද්‍යා ද කියල අහනවා. මම පාසලේ දී ක්‍රීඩාවට දක්ෂයි. නමුත් නර්තනයට හැකියාව තිබුණාට කවදාවත් මිනිස්සු ඉස්සරහට ඇවිත් නටල කරල තිබුණේ නෑ. ඒ දවස්වල මම ලැජ්ජාශිලි යුවතියක්. එහෙම හිටිය මම අද සමාජය ඉස්සරහ මේ වගේ තැනක ඉන්නවා දැක්කම එයාලටත් හරිම පුදුමයි.


කලා ජීවිතය දෙස ආපසු හැරිල බැලුවොත් මොකද අද හිතෙන්නේ?


මම ඉන්න තැන ගැන මම මාර තෘප්තිමත්. මට අද තියන හැමදේම ලැබුණේ මම කලාව තෝරාගතග්ත නිසා. මෙතරම් පිරිසකගේ ආදරයක් ලබන්න ලේසියෙන් බැහැ. ඒ ආදරය ලබන්නට මම වාසනාවන්තයි. ආපසු හැරිල බලපුවහම මට හිතෙන්නේ මම හරිම වාසනාවන්ත කෙනෙක් කියලා. කුඩා කාලේ මගේ වගේම අම්මාගෙත් හීනයක් වුණේ මම නීතිඥවරියක් වනවා දකින්න.


කෙටි කාලයක් තුළ ඔබ පැමිණි සාර්ථක ගමන් මඟේ රහස මොකක්ද?


වැඩිහිටි පරම්පරාවට ඇහුම්කම් දීම. ඔවුන් කරන කියන දෑ පිළිබඳ අධ්‍යයනය. මගේ මුල්ම අධ්‍යක්ෂ ශාන්ත සොයිසා. කැමරා අධ්‍යක්ෂ රොෂාන් මාත් සමඟ මුලින්ම රඟ පෑ ප්‍රවීණයන් දෙපළක් වූ නෙතලි නානායක්කාර, බිමල් ජයකොඩි දෙපළ ගෙන් මට ආරම්භයේ ලැබු මඟ පෙන්වීම උපදේශනය මගේ ගමනේ සාර්ථකතාවයේ රන් සලකුණු කියල මම විශ්වාස කරනවා.







Previous Post Next Post