නයෝමි තක්ෂිලා මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේදී ‘සුබ සන්ධ්‍යාවක්’ වේදිකා නාට්‍යය වෙනුවෙන් හොඳම නිළිය සම්මානයට හිමිකම් කියනව. මින් පෙර ඇය ‘අඳුන් ගිර’ ටෙලි නාට්‍යය වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානය දිනාගන්නව. තම උපාධිය වෙනුවෙන් කොළඹ ආපු නයෝමි අද සම්මානනීය නිළියක්. ඒ වගේම ඇයගේ උපාධියත් සම්පූර්ණකොට අවසන්. නයෝමි ලැබූ ජයග්‍රහණය ගැන මීවිත ඇය සමග මේ විදිහට කතාබහක යෙදුණා.
‘සුබ සංධ්‍යාවක්’ හි ලීසා නිසා නයෝමි මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේදි අගැයීමට ලක්වෙනව?
මම ඩග්ලස් සර් එක්ක ඩ්‍රාමා ස්කූල් එකේ අවුරුදු ගාණක් වැඩකරල තියෙනව. මම ඉගෙනගත්තෙ එතුමාගෙන්. මේ ඩ්‍රාමා එක අධ්‍යක්ෂණය කළෙත් ඩග්ලස් සර්මයි. ඉතිං රාජ්‍ය නාට්‍ය උළෙලේදි එතුමාගේම නාට්‍යයක් වෙනුවෙන් සම්මානයට පාත්රවීම ගැන ඇත්තටම ගොඩක් සතුටුයි.
හොඳම නිළිය සම්මානය ලබද්දි දැනුණ හැඟීම මොන වගේද?
ගොඩක් වෙලාවට මිනිස්සුන්ගෙ ජීවිතවල තියෙනව තමන් මැරෙන්න කලින් ඉටුකරගන්න ඕන කියල හිතන හීන. ඉතිං මටත් තිබුණ ඒ වගේ හීනයක්. ඒක තමයි රාජ්‍ය නාට්‍ය උළෙලේදී සම්මානයට පාත්‍ර වීම.
මම උපාධිය සම්පූර්ණ කළා - නයෝමි තක්ෂිලා
සම්මානයක් ගැන බලාපොරොත්තුවක් තිබුණද?
ඇත්තටම එහෙම බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ. ලීසා කියන චරිතයට හොඳ සාධාරණයක් වන විදිහට පිටපත ලියල තිබුණ. මේ නිසා චරිතයේ ප්‍රබල බවක් තිබුණා. නමුත් හිතුවෙ නැහැ මේ තරම් ඉක්මනට මට මේ සම්මානය ගන්න පුළුවන් වෙයි කියල.
සම්මානය ලබාගත්තට පස්සෙ ඔබේ ගුරුවරයා මොකද කිව්වෙ?
සර් මට කිව්වෙ ඔහුට සම්මානය ලැබුණට වඩා මට ලැබුණ එක ගැන සතුටුයි කියල.
මින් පෙර ලීසාට පණපොවන්නෙ දේවිකා මිහිරානි සහ රත්නා ලාලනී. මේ චරිතය භාරගන්නකොට මොන වගේ හැඟීමක්ද ඔබට දැණුනෙ?
ඔවුන් දෙදෙනාම ක්ෂේත්රයේ ප්‍රවීණයන්. ඇත්තටම බයක් දැනුණා ලීසාට මගේ අතින් වරදක් වෙයිද කියලත්. දර්ශනවාරය අවසානයේ මම ඔවුන්ට කිව්වා ලීසාට අසාධාරණයක් වුණානම් සමාවෙන්න කියල. ඒ මොහොතෙ ඔවුන් කිව්වෙ, එහෙම දෙයක් වුණේ නැහැ, ඔයා ලීසාව හරියට තේරුම් අරගෙන තිබුණා කියල. ඇත්තම කිව්වොත් මේ චරිතය මට අභියෝගයක් වුණා.
ඔවුන් දෙපළගෙන් ලැබුණ සහයෝගය මොන වගේද?
ඔවුන් දෙපළ ආදරෙන් මට සුබපැතුව චරිතය සාර්ථකව කරගන්න. ඒ වගේම පුළුවන් හැම වෙලාවෙම මට උදව් කළා. මේ වෙලාවෙ ඔවුන් දෙදෙනාව මතක් කරන්නම ඕන.
ඔවුන් දෙදෙනාටම හිමි නොවුණ අවස්ථාවක් ඔබට හිමි වෙනව?
ඔව්, නමුත් මම හිතන්නෙ ඔවුන් දෙදෙනා චරිත නිරූපණය කරද්දි මට කලින් රාජ්‍ය නාට්‍ය උළෙලට ඉදිරිපත් කළානම් ඔවුන්ට තමයි මේ සම්මානය හිමි වෙන්නෙ. නමුත් මොකක්දෝ වාසනාවකට මම චරිතය කරන කාලෙ තමයි මේ නාට්‍යය උළෙලට ඉදිරිපත් කරන්නෙ.
නයෝමි, ලීසාව දකින්නෙ කොහොමද?
ලීසා කියන්නෙ හරිම එඩිතර, සාධාරණ, තමන්ගෙ අම්මට ආදරෙන් ඇයගේ කටයුතු කරගෙන ජීවත් වන කෙනෙක්. ඇය වෘත්තියෙන් ගණිකාවක් වුණත් එහෙම තැනකට පත්වෙන්න තරම් හේතු සාධක ඇයට තිබුණා. මේ දේවල් එක්ක හැලහැප්පීම් ගොඩක් මැද තමයි ඇයගේ ජීවිතේ ගෙවෙන්නෙ.
මෙවැනි චරිත සමාජයෙන් ඔබට මුණගැහිල තියෙනවද?
පෞද්ගලිකව ලීසා වැනි චරිතයක් මට මුණගැහිල නැතත් අද සමාජයේ ඇය වැන්නියන් ජීවත් වෙනව. ගණිකා වෘත්තිය අපි ප්‍රතික්ෂේප කළාට අපි හොයල බලන්න ඕනා ඇයි ඔවුන් ඒ තැනට වැටිල තියෙන්නෙ කියල. බොහෝ විට ඔවුන්ගේ වරදකට වඩා සමාජයේ, සමාජ ක්රමයේ වරදක් හේතුවෙලා තියෙන්න පුළුවන්.
වේදිකාවේදී ලැබුණ ප්‍රතිචාරය මොන වගේද?
ඇත්තටම ඉතාමත් හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. කලින් මේ නාට්‍යය නරඹල තියෙන අය කිව්වා සමහර තැන් ඊට වඩා හොඳට තිබුණ කියල. ඒ වගේම අඩුපාඩු තිබුණ තැන් පෙන්නල දුන්නා.
මේ දවස්වල රඟපෑම් වැඩකටයුතු කොහොමද?
අයි ටී එන් නාළිකාවෙ මගේ ‘රැට්’ ටෙලි නාට්‍යය විකාශය වෙනව. ඒකට තමයි මේ දවස්වල ගොඩක් බරදීල කාලය වෙන්කරල තියෙන්නෙ. ඊට අමතරව වේදිකා නාට්‍යයක් භාරගෙන තියෙනව. ඒ වැඩකටයුතු තමයි මේ දවස්වල කරගෙන යන්නෙ.
රැට් නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
මේක අතීත සහ වර්තමාන කතාව මික්ස් වෙලා යන ටෙලි නාට්‍යයක්. ඒතැනදි මට එරන්දිගේ චරිතයට අභියෝගයක් තියෙනව. මොකද අතීතයේ ඉන්න විදියයි වර්තමාන කතාවයි වෙනස්නෙ. චරිත දෙකක් රඟපාන්න ඕන.
එරන්දි ගැන රසිකයො මොකද කියන්නෙ?
ඇත්තටම හොඳ ප්‍රතිචාර තියෙනව. බොහෝ දෙනෙක් මේ නාට්‍යය බලන බව ලැබෙන ප්‍රතිචාරවලින් දකින්න පුළුවන්.
අලුත් ආරාධනා ලැබිල තියෙනවද?
ඔව්, අලුතින් ආරාධනා ලැබිල තියෙනව. ඉදිරියේදී රූගතකිරීම් ආරම්භ කරන්න කටයුතු යොදාගෙන තියෙනව.
විදේශීය අධ්යක්ෂවරයකු යටතේ වැඩකළා කියල ආරංචියි?
ඔව්, ඉන්දීය අධ්යක්ෂවරයකු යටතේ මම සහ කලණ අයිය චිත්‍රපටයකට සම්බන්ධ වුණා. ඒක ඉදිරියේදී තිරගත වේවි.
මේ අත්දැකීම මොන වගේද?
මමයි කලණ අයියයි සම්බන්ධ වුණේ මෙහි ප්‍රධාන චරිතයට. ඔවුන්ගේ ෂොට්ස් වගේම ඩිරෙක්ට් කරන විදිහත් වෙනස්. ටිකක් ඉන්මනට වැඩඩකරනව. වෙනස් වෙනස් අධ්යක්ෂවරු යටතේ වැඩකරන එක වෙනස්ම අත්දැකීමක්.
ඉගෙනගන්න කොළඹ ආපු නයෝමි අද සම්මානනීය නිළියක්?
මම ඉගෙන ගන්න ඇවිත් ඉගෙනගන්නෙ නැතිව නිළියක් වුණානම් අද මට දුක් වෙන්න තිබුණ. නමුත් මම හරි අමාරුවෙන් කට්ටක් කාල මහන්සිවෙලා ඉගෙනගන්න කටයුතු කරනගමන්, වේදිකාවට ටෙලි නාට්‍යයට සම්බන්ධවෙලා අත්මගරුත්වයත් රැකගෙන සම්මානයට පාත්රවෙද්දි ඇත්තටම ගොඩක් සතුටුයි.
ගුරුවරියක් වීමේ ආසාව අතහැරියද?
නැහැ. මම උපාධිය සම්පූර්ණ කළා. තවම රජයේ පත්වීම ගත්තෙ නැහැ. ඒ අතරතුර ළමයින්ට පංති කරනව, වර්ක්ෂොප් කරනව.
මේ වන විට නයෝමිගෙ වෘත්තිය?
වෘත්තියක් හැටියට රඟපානගමන් ව්‍යාපාර කටයුතු දෙකතුනක් කරගෙන යනව. දැනට එහෙම තමයි.
‘අඳුන් ගිර’ ටෙලි නාට්‍යයේ පද්මා ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක්?
ඔව්, පද්මා මට හොඳම නිළිය සම්මානය අරගෙන දෙනව. ඒ ලැබුණ වටිනාකම මගේ රංගන ජීවිතයේ ලොකු හැරවුම් ලක්ෂ්‍යයක්.
මහේෂ් එදිරිසිංහ