හැමදේම සිද්ධ වුණේ අහම්බෙන්-උමා අසේනි



උමා අසේනි ක්ෂේත්‍ර ගණනාවක දක්ෂතා තිබෙන චරිතයක්. ඇය අපට මුලින්ම හමුවන්නේ දක්‍ෂ නිවේදිකාවක් ද මෙන්ම ගී පද රචිකාවක් ලෙසිනි. සනුක වික්‍රමසිංහගේ "පෙරවදනක්", නදීමාල් පෙරේරාගේ "නුරා වසන්තේ" ආදී අතිශය ජනප්‍රිය වුණු ගීත කිහිපයක් අලුත් පරම්පරාවට ඇය තිළිණ කරන්නට විය. ගී පද රචනයට නිවේදනයට පමණක් නොව උමා දක්‍ෂ රංගන ශිල්පිනියක්.


 උමා කාර්යබහුල කාලයක් නේද ගත කරන්නේ


මේ දවස්වල නම් ටිකක් වැඩ වැඩියි. මේ දිනවල විකාශය වන ටෙලි නිර්මාණ දෙකකම ෂුටින් යනවා. මෙවර රාජ්‍ය නාට්‍යය උළෙල සැප්තැම්බර් මාසේ තියෙනවා. ඒ වෙනුවෙන් සුදානම් වෙනවා. මේ දිනවල වේදිකා නාට්‍යය 5ක වැඩ කෙරෙනවා. "සුපර්ණකා", "ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය", ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ ධවල භීෂණ, විකෘති සහ ඉන්ද්‍රජාලික පෙම්වතිය. ඔය වැඩ ටික නිසයි කාර්යබහුල කාලයක් වෙලා තියෙන්නේ.


මේ කාලයේ පුංචි තිරයේ නිර්මාණ වෙන්නේ..


ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන ලක්මිණි අමරදේව අධ්‍යක්ෂණය කරන "මේක තමයි ජීවිතේ" සහ ස්වාධින රූපවාහිනී සේවයේ විකාශය වන සුපුන් රත්නායක අධ්‍යක්ෂණය කරන "ෆෝචූන් රෙසිඩන්සි"


ඒ නිර්මාණ දෙකේ චරිත ගැන කතා කළොත්


එක සැරේට පිටින් බැලුවම එක සමාන චරිත දෙකක් විදියට පේනවා. නමුත් චරිත දෙකක් විදියට ගත්තම වෙනස් චරිත දෙකක්. මම මෙතෙක් කරපු චරිතවලට වඩා වෙන හැඩයක චරිත දෙකක්. "ෆෝචූන් රෙසිඩන්සි" නාට්‍යයේ චරිතය රුක්ෂලා. රස්සාවක් බලාපොරොත්තුවෙන් ඉන්න, වැඩිය ෆැෂන් කරන්නේ නැති කොල්ලෙක් විදියට අඳින කෙල්ලෙක්. "මේක තමයි ජීවිතේ" නාට්‍යයේ මගේ භූමිකාව වෙන්නේ හරිනි. හරිනි කියන්නේ නිළියක් වෙන්න බලාගෙන ගමෙන් කොළඹට ආව ගැහැනු ළමයෙක්. එයාගේ තියෙන රිලේෂන්ශිප් අතර තියෙන යම් යම් ප්‍රශ්න සහ ඒවාට මුහුණ දෙන විදිය අපි දකින සාමාන්‍යය ගැහැණු ළමයෙකුට වඩා වෙනස්.


මේ චරිත දෙක භාර ගන්න හේතු වුණේ ඇයි?


ඇත්තටම හේතු වුණේ මාණික්කාවතේ ‘පිච්චි’ චරිතය රඟපෑවට පස්සේ මට ගොඩක් ඇරයුම් ලැබුණේ එහි මම කළ චරිතය හා සමාන චරිත. වෙ‍ෙළඳ දැන්වීම්වලත් කතා කරන්නේත් බබාලා හම්බෙන්න ඉන්න අම්මලාගේ චරිත වලට. මම කැමැති නැහැ එකම විදියේ චරිත වලට කාස්ට් වෙන්න. ඒ අතරේ තමයි සුපුන් අයියා ෆෝචූන් රෙසිඩන්සි" නාට්‍යයේ රුක්ෂලා චරිතයට කතා කරන්නේ. ඒ චරිතය මාව මෙතෙක් දැකලා තියෙන විදියෙන් සම්පූර්ණයෙන්ම වෙනස් චරිතයක් වුණා.


කොහොමද ලැබෙන ප්‍රතිචාර?


"මේක තමයි ජීවිතේ" නාට්‍යයට ටිකක් වැඩිපුර ප්‍රතිචාර ලැබෙනවා. "ෆෝචූන් රෙසිඩන්සි" නාට්‍යයේ චරිතයට වඩා මාව පේන්නේ "මේක තමයි ජීවිතේ" නාට්‍යය තුළින්. සමස්තයක් විදියට දෙකටම ලැබෙන ප්‍රතිචාර හොඳයි. මෙතෙක් මාව හඳුනාගෙන හිටිය විදියට වඩා වෙනස් චරිත නිසා ඒ වෙනස්කමටයි ප්‍රතිචාර ලැබෙන්නේ.


උමාට සිනමාවට තියෙන ඇරයුම කොහොමද?


මගේ පළවෙනි චිත්‍රපටය මේ වෙද්දී කරලා ඉවරයි. ශ්‍යාම් ප්‍රනාන්දු අයියාගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වන සන් කරමි (TEACH ME). එය මේ වෙද්දී ඉතාලියේ නාපෝලි වල ෆිල්ම් ෆෙස්ටිවල් එකක පෙන්වනවා. කෙටි චිත්‍රපට 8ක් හෝ 10කට සම්බන්ධ වෙලා තියෙනවා. මේ වනවිට My Better Half කෙටි චිත්‍රපටය අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙල රැසක් නියෝජනය කළා. තව චිත්‍රපට දෙකක් කරන්න කතා වෙලා තිබුණත් කොරෝනා කාලයත් එක්ක ඒ දේවල් කල් ගියා.


උමා සමාජ මාධ්‍යය එක්ක වැඩිය නැති කෙනෙක්, සීමාවන් පනවාගෙන ද ඉන්නේ?


අනේ නැහැ. එහෙම සීමාවන් පැනවීමක් නෙවෙයි. එකම දේ සමාජ මාධ්‍යය ගනුදෙනුව පිළිබඳ මොකක් දෝ කම්මැළි කමක් තියෙනවා. ඒ වගේම මට වෙන වැඩවල යෙදෙන්න වේලාවත් නැහැ. ඒ හැර මට මම අනවශ්‍ය සීමා දාගෙන නැහැ. ජිවිතේ විඳින්න ඕනේ තැන උපරිම ජීවත් වෙනවා. මම බොහොම සාමාන්‍යය ගැහැණු ළමයෙක්. කැමරාව ඉදිරියේදී විතරයි රංගනය හෝ නිවේදනය කියන දේ යෙදෙන්නේ. මම කරන ඒ වැඩවලට පමණක් අවධානය ලැබුණාම ඇති. අනිත් වෙලාවට මගේ ජිවිතේ මට ඕනේ විදියට ගෙනියන්න නිදහස තියෙන්න ඕනේ. ඒ නිසා අනවශ්‍ය අවධානයක් ලැබෙනවාට මම කැමැති නැහැ.


නිවේදන කටයුතු මගහැරිලා ද?


ඇත්තටම ඔව්. ඒකට යෙදෙන්න තියෙන වෙලාව හරිම අඩුයි. මම ගොඩක්ම කාර්යබහුල වෙලා තියෙන්නේ වේදිකාව එක්ක. ටෙලි නාට්‍යයවල වැඩ කරනවා වගේ නෙවෙයි වේදිකාව එක්ක වැඩ කරද්දී. පුරුදු පුහුණුවීම්වලට කාලය වෙන් කරන්න ඕනේ. ඒ නිසා නිවේදන කටයුතු හඬ කැවීම් කටයුතුවලින් පොඩ්ඩක් ඈත් වෙන්න වෙලා තියෙනවා.


උමා නිළියක් වෙන්න ආස කළ කෙනෙක් ද?


කොහෙත්ම නැහැ. පොඩි කාලේ මගේ මුළු ජීවිතේම වෙලා තිබ්බේ සංගීතය. එක්තරා තැනකදී සංගීතය අතහැරිලා රංගනය කියන එක මගේ ඇඟට එනවා. ඒ කැම්පස් එකේ නාට්‍යය තරගයකදී මම හොඳම නිළියට හිමි සම්මානය ගන්නවා. අවුරුදු ගාණකට පස්සේ අපේ කැම්පස් එකට සම්මානයක් ලැබෙන්නේ. එතැනදී මට හිතෙන්න ගන්නවා රංගනය ගැන ඉගෙන ගන්න ඕනේ කියලා. ඔය අතරේ ලක්ෂාන් අයියා ලියපු අවි කඳුළු ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. 2017 වසරේ තිළිණ බොරලැස්ස අයියාගේ අධ්‍යක්ෂණය යටතේ මුලින්ම රඟපෑවේ. එතැන තමයි මගේ පටන් ගැන්ම.


සංගීතය මගහැරිලා රංගනයට යොමු වීම ගැන අද මොකද හිතෙන්නේ


සතුටක් තියෙනවා මේ හැමදේම අහම්බෙන් සිද්ධ වුණු දේවල් නිසා. පොඩි දුකක් තියෙනවා සංගීතය මගහැරීම ගැන. අද වෙද්දී මම සැලකිය යුතු කාලයක් මේ ක්ෂේත්‍රයේ ඉන්නවා. ඒ කාලය තුළ ලොකු වැඩ ප්‍රමාණයකට දායක වෙලා නැහැ. මේ කාලය තුළ මම ආවේ හෙමින් ගමනක්. ඒ හෙමින් ගමන මගේ ජීවිතේට ගොඩක් දේවල් කියා දීපු සහ ස්ථාවරව අඩිය තියාගෙන ආව ගමනක්.


උමා ආදරේට කොයි වගේ ඉඩක් ද වෙන් කරලා තියෙන්නේ


මම ආදරේ දකින්නේ බොහොම නිදහස් බැඳීමක් විදියට. ඒ නිදහස මම මටත් දීලා තියෙනවා.


උමාට තියෙන්නේ මොන වගේ බලාපොරොත්තුද?


මට Ultimate Goal එකක් තියෙනවා. මම දන්නේ නැහැ මේ රටේ තියෙන තත්වය එක්ක කොයි අතට පෙරළෙයිද කියන එක. එකම දේ මට ඕනේ වුණේ මගේ නම බ්‍රෑන්ඩ් එකක් කළ යුතුයි කියන එක. ඒ වෙනුවෙන් මම මගේ ගමන හදා ගන්නවා. මට තියෙන Ultimate Goal එක ගැන මම කතා කරන්නේ ඒ තැනට මම ආවට පස්සේ.





Previous Post Next Post