බෙනා මාමා මාව තවත් ජනප්‍රිය කළා-ප්‍රියන්ත සෙනෙවිරත්න




ප්‍රියන්ත සෙනෙවිරත්න කියලා කියන්නේ අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය හාස්‍යමය හා ප්‍රහසනාත්මක චරිත නිරූපණය කිරීමෙහිලා ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය චරිතයක්. කලින් කලට පුංචි තිරයේ දිගහැරෙන කතා තුළින් ඔහුගේ චරිතය හැමදාම සුවිශේෂී චරිත බවට පත් වුණේ සියලු ප්‍රශ්න අමතක කර මොහොතකට හෝ මුවඟට සිනහවක් එක් කරන නිසාවෙනි.


මේ දිනවල සමාජ මාධ්‍යය තුළ වැඩි වශයෙන් හුවාමාරු වෙන්නේ ඔහු පබළු නාට්‍යය වෙනුවෙන් රඟපෑ බෙනා මාමාගේ චරිතයයි.


ශාන්ත සොයිසා අධ්‍යක්ෂණය කරන ලද පබළු නාට්‍යයේ එන බෙනා මාමාගේ චරිතය පුංචි තිරයට ලියන්නේ මහේෂ් රත්සර මද්දුමආරච්චි. ‘පබළු’ ටෙලි නාට්‍යය කොයිතරම් ජනප්‍රිය වුණාද.., ඒ තරමටම ‘බෙනට්’ හෙවත් ‘බෙනා මාමා’ද ප්‍රේක්‍ෂකයන් අතර අසීමිතව ජනප්‍රිය විය.


වරෙක ‘බෙනා මාමා’ කවටයෙකි. තවත් විටෙක ‘කතන්දර පිටුව’ අලංකාර කරන ‘කතන්දර මාමා’ වැනි නිරූපණයන් රඟදක්වන ඔහු ළමා ළපටීන් අතර ජනප්‍රියම මිතුරෙකු විය. සරලවම කියනවා නම් ‘ප්‍රියන්ත සෙනෙවිරත්න’ රංගනය තුළ විවිධාකාර හැකියාවන් මතු කරමින් විස්කම් මවන්නෙකි.


පබළු නාට්‍යය ස්වාධින රූපවාහිනී සේවයේ විකාශය වන්නේ 2011 වසරේදීය. එනම් මීට වසර 12කට පෙර. අදටත් පබළු හි එන බෙනා මාමා ලොකු කුඩා කා අතරත් එක සේ ජනප්‍රිය චරිතයකි.


‘පබළු’ අවසන් වී වසර 12ක් ගත වුණත් ‘බෙනා මාමා’ තවමත් මඟතොටදී ඉහළ ප්‍රේක්ෂක ආදරය ගැන දැනෙන හැඟෙන දේ ගැන දැනගන්න රසඳුන අපි ප්‍රියන්ත සෙනෙවිරත්නට කතා කළා.


“ඒක ඇත්තටම මම කරපු ටෙලි නාට්‍යය චරිත අතරින් බෙනා මාමා තමයි හොඳටම ජනප්‍රිය වුණේ. මහේෂ් රත්සර මද්දුමඅාරච්චි සහ ශාන්ත සොයිසා මාව විශ්වාස කරලා චරිතයක් මට දුන්න. පළමු වතාවට තමයි මම ඒ වගේ චරිතයක් කළේ. ඒක ජනප්‍රිය වුණාම නම් මම හිතුවා ආයේ ඒ වගේ එකක් කරන්නෙ නම් නැහැ කියලා. එක දිගටම එක වගේ චරිත කරද්දී ඒ විදිය ඇඟටම ආරූඪ වෙනවා වගේ එකක් වෙනවා. බෙනා මාමාගේ චරිතය ගොඩ නඟන්න පබළු නාට්‍යයේ අධ්‍යක්ෂක ශාන්ත සොයිසා මහත්තයාත්, නිෂ්පාදක වසන්ත කුමාරසිරිත් සෑහෙන්න නිදහසක් දුන්නා. ඒ කාලයේදීත් මේ ඔවුන් දැක්කා බෙනා මාමාගෙ චරිතය ගොඩක් ජනප්‍රිය වෙනවා. ඒ නිසා ඒ වටා ගොඩක් කරුණු කාරණා සිද්ධි මහේෂ් ලිව්වා. ඔහොම තමා ඉතින් මම බෙනා මාමා වුණේ.”


ඒ කාලේ පොඩ්ඩො දැන් තාරුණ්‍යයේ ඉන්නෙ, ඒ අය තමයි සමාජ මාධ්‍යය හරහා නැවතත් බෙනා මාමාව අරන් එන්නෙ.


“මම දන්නෙ නැහැ ඇත්තටම කවුද ඒ කොටස් ආයේ ආයේ අප්ලෝඩ් කරන්නෙ කියලා. මම හිතන්නෙ යූටියුබ් කරන කොහෙන් හරි හොයාගෙන කපලා දාගෙන යන්නෙ. ඒ තුළින් ඒ අය ආදායමකුත් ලබනවා ඇති. ඒ ගැනත් මට සතුටුයි. වෙලා තියෙන්නේ මටත් ඇත්තටම මේවා දකිනකොට හිනායනවා. මම මේ වගේ දේවල් කරා නේද කියලා. දැන් මම ඊට වඩා වයසින් වැඩියි. දැන් මට 50ත් පැනලා තියෙන්නේ. මේ නාට්‍ය කරන කාලේ මගේ ළමයි පොඩියි. එයාලටත් දැන් මේවා දැකලා හිනායනවා. තාත්තාගේ වැඩනේ කියලා. මටත් මේවා බලනකොට දැන් හිනායනවා. ඇත්තම කිව්වොත් බෙනා මාමාගේ චරිතය තුළින් මගේ ලොකූ කැපෑසිටි එකක් එළියට ආවා. ඒ ගැන ඇත්තටම සතුටුයි.“


පරම්පරා ගණනක ආදරේ ලබනවා කියන්නෙම කලාකරුවෙක්ට ලැබෙන සම්මානයක් හා සමානයි. අද වන විට ප්‍රියන්ත තමන් ලබන ප්‍රේක්ෂක ආදරේ දකින්නේ මේ විදිහට.


“පහුගිය කාලේ අලුත් අවුරුදු උත්සව වල විකට ඇඳුම් තරග විනිශ්චය කරන්න මම ගිය අවස්ථාවන් වලදී වැද්දා, පොලිස් නිලධාරීන් වගේ චරිත අතරේ පවා බෙනා මාමා විදියට සැරසුණු පොඩි ළමයි මට මුණගැහුණා. ඒ ගැන හරි සතුටුයි. ඒකම තමයි අපි කියන්නෙ යමක් හරියටම කළොත් ඒක පවතිනවා. කවදාම හරි ඒවා ඉස්මතු වෙලා එනවා ඉස්සරහට. වේදිකාවේ දී අපේ විහිළු නාට්‍යවල නම් ඔය වගේ චරිත මම කරනවා. නමුත් ටෙලි නිර්මාණයක නම් මම ආයේ ඔය වගේ චරිත කරන්නෙ නැහැ කියලා ඉන්නෙ. මොකද ඒ කළා වගේ දැන් කරන්න බැහැ. ඒ ජවය ඇත්තටම දැන් මට නැහැ. ප්‍රේක්ෂකයන්ට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා මෙහෙම යටගිය නිර්මාණ නැවත ඉස්මතු කරලා අලුත් පරම්පරාවට දකින්න සමාජ මාධ්‍යයට එකතු කිරීම ගැන. සමාජ මාධ්‍යය හරි ප්‍රබලයිනේ අද. මට හිතාගන්න බැරි අපේ මේ සහෘද නළු නිළියන් පවා බෙනා මාමා ගැන මට කතා කරලා කියනවා. ප්‍රියන්ත අයියේ අපි ඔයාගෙ ලොකු ෆෑන් කෙනෙක් වෙලා ඉන්නෙ මරු අනේ, ඔයා කොහොමද එහෙම කරන්නෙ කියලා...අපේ මේ ක්ෂේත්‍රයේ ඉන්න අයම කියන එක මට ලොකු සතුටට කරුණක්. මගේ ෆෝන් එකටත් එක එක කොටස් එනවා. කොහෙන් හොයාගෙනද මම දන්නෙ නැහැ ඉතින්. කොහොම නමුත් මේ ලැබෙන ප්‍රේක්ෂක ආදරේ ගැන ලොකු සතුටක් දැනෙනවා. මගේ ජීවිතේට අලුතින් සේලයින් ටිකක් ලැබුණා වගේ.“


අතීත නිර්මාණයක් අලුත් වෙමින් යළිත් ප්‍රේක්ෂකයන් අතර සැරිසරණ මේ යුගයේ ඔහු දායක වූ අලුත්ම ටෙලි නිර්මාණ කිහිපයක්ම මේ දිනවල විකාශය වෙනවා.


“සිරස නාළිකාවේ විකාශය වන “කියාදෙන්න ආදරේ තරම්” ටෙලි නාට්‍යයේ “රෙදිමෝලවත්තේ ලින්කන් අයියා” ලෙසත් ප්‍රේක්ෂක ආදරේ ලබනවා. ඒ වගේම හිත ළඟ හිනැහුණා ටෙලි නාට්‍යය තුළිනුත් ප්‍රේක්ෂකයන් අතරට එනවා. එම නාට්‍යය දෙකේම රූගත කිරීම් සහ හිරු සුපර් ඩාන්සර් සීසන් ෆෝ නර්තන රියැලිටි තරගාවලියේ වැඩකටයුතුත් නිසා යම් තරමක කාර්යබහුල කාලයක්. මම රඟපෑ නිර්මාණ කිහිපයක් විකාශනය වෙන්නත් තියෙනවා. ඒ හැරුණාම රංගනයෙන් දායක වූ ගිරිරාජ් කෞෂල්‍යයගේ “කතුරු මිතුරු“, සමීර නාඔටුන්නගේ “සිහින නෙළුම් මල්“ සහ උදයකාන්ත වර්ණසූරියගේ අලුත්ම චිත්‍රපටය එන්න තියෙනවා.


 

අනුෂා රණසිංහ





Previous Post Next Post