බැඳීම් කියන එක ජීවිතේට සංකීර්ණ වැඩියි- අශාන් ඩයස්



අභියෝගාත්මක රංගනයට වැඩි කැමැත්තක් දක්වන අශාන් ඩයස් මේ දිනවල අපට හමුවන්නේ රංජන් ප්‍රසන්නගේ විසංගමනය සිනමා සිත්තමෙනි. ඔහු ඔබට නුපුරුදු කෙනෙකුත් නොවෙයි. දෙරණ නාළිකාවේ විකාශය වෙන The cookout වැඩසටහන මෙහෙයවමින් ඔබට රසවත් කෑම වට්ටෝරු හඳුන්වා දෙන්නෙත් ඔහුමයි. අද අපේ කතාබහට ඔහු සම්බන්ධ කරගන්නේ අලුත්ම සිනමා අත්දැකීම ගැන කතා කිරීමේ අදහසින්. මුදල් පසුපස හැල්මේ දුවන ජීවිතවලට මඟහැරෙන ආදරණීය බැඳීම්වල අගය හොඳින්ම වටහා දෙන ‘විසංගමනය’ ප්‍රේක්ෂකයාට සමීප අත්දැකීමක් ලෙසින් විඳගත හැකියි.


අශාන් කියන්නේ අභියෝගාත්මක රංගනයට කැමැති කෙනෙක්. විසංගමනය මොන වගේ අත්දැකීමක් වුණා ද?


විසංගමනය තිරපිටපත ලැබුණම මට හිතුණා මේක මට යමක් කරන්න පුළුවන් නිර්මාණයක් කියලා. ඒක කළු චරිතයක් වුණාට ඒකෙ දෙපැත්තක් තියෙනවා. හැමදේටම හේතුවකුත් තියෙන නිසා නිර්මාණය වගේම චරිතයක් ඉන්ටරෙස්ටින් වුණා. අපි ඕනෑම වෘත්තියක් පැත්තට වැඩිපුරම ගියොත් ටාගට් පස්සෙම ගියොත් ජීවිතේ වැදගත්ම දේවල් අපට මඟහැරෙනවා. ඒක අපට තේරුම් යද්දි පරක්කු වැඩියි. විසංගමනය අපට ඒ පාඩම කියල දෙන්නේ පවුලත් එක්ක තියෙන බැඳීමත් සම්බන්ධ කරගෙන. වෛද්‍ය ක්ෂේත්‍රය තමයි මෙතනදී වැඩිපුරම ෆෝකස් වෙලා තියෙන්නේ. ඖෂධ ජාවාරම, අවයව ජාවාරම වගේ නීති විරෝධී දේ වෙන්න පුළුවන්. සල්ලිවලට තියෙන කෑදරකම නිසා සල්ලි පස්සෙ හැල්මේ දුවල අන්තිමේ හැරිල බලද්දි තමන්ට වැදගත්ම දේ වුණු පවුල් සංස්ථාව බිඳවැටෙන හැටි තමයි මේකෙන් කියවෙන්නේ. රංජන් ප්‍රසන්නගේ කුලුඳුල් අධ්‍යක්ෂණය විදිහට මේක සමාජයට ලොකු පණිවුඩයක් දෙන හොඳ නිර්මාණයක්.


 


විසංගමනය කියන්නේ මිනිස් ජාවාරම සම්බන්ධ නිර්මාණයක්. ඒක ඔබට දැනුණෙ කොහොමද?


අපි සල්ලි හොයන්න වෙහෙසෙන්නෙ බොහෝ විට අපේ ආදරණීයයන්ට හොඳ ජීවිතයක් දෙන්න වෙන්න පුළුවන්. ඒත් අපි ඒ පාරට වැටුණට පස්සෙ අපිටම අමතක වෙනව අපි මේ දේට යොමු වුණේ ඇයි කියලා. අන්තිමට සල්ලි ටිකක් එක්ක තනි වුණාට පස්සෙ තමයි තේරෙන්නෙ ඔක්කොම නැති වෙලා කියලා.


 


අරුණ ජයවර්ධනගේ මාරියා සිනමා පටයත් ජාත්‍යන්තර සම්මානලාභී නිර්මාණයක්. ඔබත් එහි කොටස්කරුවෙක්. ඒ අත්දැකීම සිහිපත් කළොත්?


මාරියා කියන්නේ බලාපොරොත්තු තබා ගත හැකි නිර්මාණයක්. ලංකාවේ පළවෙනි වතාවට සිද්ධ වෙන දේවල් ගොඩක් ඒකෙ තියෙනවා. දින විසි ගණනක් තිස්සේ සම්පූර්ණයෙන්ම මහ මුහුද මැද කරපු ෆිල්ම් එකක්. ඒ වගේම කාන්තා චරිත එකක්වත් නැතුව පිරිමි චරිත 7ක් පමණක් යොදාගෙන කරපු නිර්මාණයක්. ක්ෂේත්‍රය තුළ මං රෙස්පෙක්ට් කරන චරිත ටිකක් එක්ක කළ අභියෝගාත්මක වැඩක්.


 


මාරියා කණ්ඩායමට මුහුද අභියෝග කළා කියල ආරංචියි?


ඒක නම් කවදාවත් අමතක වෙන්නෙ නැති අත්දැකීමක්. අපි මුහුදට බහින සීන් ටික කරන්න හිටියෙ අන්තිමට. කොහොමහරි ෂූට් එක පොඩ්ඩක් පරක්කු වෙලා මුහුද සන්සුන් කාලෙ බෝට්ටුවේ ඇතුළෙ සීන් කරල, වාරකන් කාලෙ තමයි අපිට මුහුදට බහින්න වුණේ. රැල්ල හොඳටම සැරයි. ආරක්ෂාවට නාවුක හමුදාව හිටියත් දෙතුන් පාරක්ම කට්ටිය ගිලෙන්න ගියා. එක පාරක් අපේ බෝට්ටුව යටට අපිව ගහගෙන ගියා. ලේසි නෑ ඒක නම්. කොයිවෙලාවෙ මැරෙයිද කියල හිතුණා.


 


දර්ශන් ධර්මරාජ් එදා ඔබ ළඟ හිටියා. ඔහු ගැන මතකය අවදි කළොත්?


දර්ශන් කියන්නේ කවදාවත් අමතක කරන්න බැරි චරිතයක්. කවදාවත් ඔහු මුහුදට බැහැල තිබුණෙ නෑ. ඒ චරිතෙ වෙනුවෙන් ඔහු මුහුදට බැස්සා. එක පාරක් ගිලෙන්න ගියා. ඒත් කමක් නෑ තව පාරක් ගමු කියල ආයිම ගියා. ඇත්තටම ඔහු වගේ කැපවීමක් තියෙන දක්ෂ කෙනෙක් මං නම් දැකල නෑ.


 


සුපර්ණා කියන්නේ ඔබව වෙනස් පැත්තකට ගෙන ගිය නිර්මාණයක් කිව්වොත්?


ඔව්, ඒ නිසාමයි මං ඒක භාර ගත්තෙත්. ඒ වෙනුවෙන් මට මාස 3ක් විතර පහත රට නැටුම් හදාරන්නත් වුණා. ඒක සුජීව ප්‍රියලාල් සහ දුලීකා මාරපනගේ පර්යේෂණාත්මක චිත්‍රපටයක්.


 


ඔබ වඩාත් කැමැති අභියෝගාත්මක චරිතවලට. ඒ නිසාද ඔබ ප්‍රේමවන්තයා නොවන්නේ.?


මට බොහෝවිට ලැබෙන්නෙ දුෂ්ටයා හෝ ඊට සමගාමීව යන චරිත. සාමාන්‍යයෙන් බොලිවුඩ්, හොලිවුඩ්, කොලිවුඩ්වල සුළු චරිතයක් වුණත් අභියෝගයක් වෙන්න පුළුවන්. හීරෝගෙ චරිතය කියන්නේ හරිම සංකීර්ණ අභියෝගාත්මක එකක්. විලන්ගෙ එක වුණත් එහෙමයි. ලංකාවෙ ලියන්නෙ නැද්ද? එහෙම නැත්නම් ලියන ඒව නිෂ්පාදනය කරගන්න වත්කමක් නැති නිසා එහෙම ඒව ලියවෙන්නෙ නැද්ද මන්ද?. සාමාන්‍යයෙන් හොඳ ප්ලෑන් එකකට ෆිල්ම් එකක් කරද්දි හැමදේ ගැනම අධ්‍යයනය කරලා හොඳ ස්ක්‍රිප්ට් එකක් ලියන්න සෑහෙන කාලයක් ගත වෙනවා. ඒ වගේම ඒක ෆිල්ම් එකකට නඟද්දි තවත් කාලයක් ගතවෙන්න පුළුවන්. මාව එක්සයිට් වෙන එහෙම චරිතයක් ලැබුණෙ නෑ කාලෙකින්. ඒ ගැන නම් පොඩි කලකිරීමක් තියෙනවා.


 


අශාන් පුංචි තිරයේ දකින්න ලැබෙනව අඩුයි. ආරාධනා නැතුව ද? කැමැති නැතුවද?


මේ අවුරුදු ගානටම හේලි සහ පියාඹන මූනිස්සම් කියන ටෙලි නිර්මාණ දෙකට විතරයි මං සම්බන්ධ වෙලා තියෙන්නේ. මට දෙයක් කරන්න පුළුවන් ස්ක්‍රිප්ට් එකක් ලැබුණොත් මං අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා.


 


ඔබ හැදෑරුව වෘත්තියෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නෑ නේද?


ඔව්. මං ආකිටෙක්චර් මාස්ටර් එක කරන්න තමයි විදෙස්ගත වුණේ. ඒත් මගේ වැඩි කැමැත්ත තිබුණෙ රංගනයට. දැන් මං රංගනය අතාරිනව කියන්නේ මගේ ගමන ෆේල් කියන එකනේ. ඒ නිසා මං මගේ වැඩි කැමැත්තට ඉඩ දුන්නා.


 


ආදරය ගැනත් අදහසක් ඇති?


බැඳීම් කියන එක ජීවිතේට සංකීර්ණ වැඩියි. ඒ නිසා රංගනය වෙනුවෙන්ම කැපවෙලා, තනිකඩ, සරල ජීවිතයක් ගත කරනවා.


 නාමලී ගමගේ





Previous Post Next Post