ඒ දවස එනතුරු නොඉවසිල්ලෙන් බලාගෙන හිටියා – කාවින්ද්‍යා දුල්ෂාණි

 


කෝළං කුට්ටමේ සුද්දී චරිතය හරහා ජනප්‍රියත්වයට පත් වුණ නව පරපුරේ රංගන ශිල්පිණියක් වන කාවින්ද්‍යා දුල්ෂාණි පසුගිය දා යුගදිවියට එළඹුණා. ඒ උණුසුම අතරෙම කාවින්ද්‍යා මේ විදිහට  පුංචි පිළිසඳරකට එකතු වුණා.


 කෝළංකුට්ටම තවත් ජනප්‍රිය වෙලා?


මේ ටෙලි නාට්‍ය පටන්ගත්ත දවසෙ පටන් හොඳ ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයක් ලැබුණා. සද්ධාමංගල සහ ශිවගුරුනාදන් යන මහත්වරු එකතුවෙලා කරන හැම නිර්මාණයක්ම ජනප්‍රිය වෙනව. කෝළංකුට්ටමත් ඒ වගේම ජනප්‍රිය වුණා. මේ වන විට ඒ ජනප්‍රියත්වය තවත් වැඩි වෙලා.


සුද්දිගේ චරිතයේත් වෙනස්කම් දකිනව?


ඔව්, ඒ වෙනස්කමට ලැබෙන ප්‍රේක්‍ෂක ප්‍රතිචාරවල හොඳ නරක දෙකම තියෙනව. සමහර අය කියනව දැන් හරි සැරයි, පිරිමියෙක් වගේ කියල. සමහරුනම් ඉතිං හොඳ විදිහටත් දකිනව. පවුලේ බර කරට අරගෙන යන ගැහැනු ළමයෙක්නෙ.


වෙනත් නිර්මාණ මොනවද?


කොළං කුට්ටම සහ අනිච්චාවත සංඛාරා යන ටෙලි නාට්‍ය දෙක තමයි දැනට මම දායක වෙලා තියෙන්නෙ.


විවාහ උත්සවය නිසා පසුගිය දිනවල බොහොම කාර්යබහුල වුණා?


ඔව්, වෙඩින් එකේ වැඩයි රූගතකිරීම් නිසායි වෙනදාට වඩා කාර්යබහුල වෙන්න සිදු වුණා.


නිර්මාණ සඳහා මනාලියක් ලෙස ඔබ බොහෝ වර හැඩගැන්වුණා. නමුත් මෙවර ඔබේම අවස්ථාව?


මනාලියක් විදිහට මම අවස්ථා ගණනාවකදි හැඩගැන්විලා තියෙනව. නමුත් මම ඇත්තටම මනාලියක් වුණ දවස ගැන කියාගන්න බැරි සතුටක් තියෙන්නෙ. ඒ දවස එනතුරු නොඉවසිල්ලෙන් හිටියා කිව්වොත් බොරුවක් නෙමෙයි. ඇත්තම කිව්වොත් පොඩි බයකුත් දැණුන. ජීවිතේ අලුත්ම පිටුවක් පෙරළුණ දවසක්නෙ.


ඔහුගේ හමුවීම කොහොමද දැනෙන්නෙ?


ඇත්තටම මේ හමුවීම සංසාරෙ බැඳීමක් වෙන්න ඇති. මගේ ජීවිතේ දුක සැප බෙදාගන්න පුළුවන් හොඳම කෙනා නියම කාලෙදි මුණගැහුණ බව තමයි මට දැනෙන්නෙ. ඒ හැමදේම හොඳ විදිහට සිදුවෙමින් පවතිනව.


 මේ ආදර කතාව ඇතුළත් වුණ ගීතයට ලැබුණෙ මොන වගේ ප්‍රතිචාරයක්ද?


ඒකට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. රූපරචනාවේ රඟපෑවෙත් බුද්ධික සහ මම. සින්දුව ලිව්වෙ බුද්ධිකමයි. ගායනා කළේ තීක්‍ෂණ අයියා.


 විදෙස්ගත වෙන්න අදහසක් තියෙනවද?


වෙඩින් එකෙන් පස්සෙ බුද්ධික ටික දවසක් ලංකාවෙ ඉන්න නිසා මම විදේශගත වෙන්නෙ නැහැ. නමුත් යම් කිසි කාලෙක මට ලංකාවෙන් යන්න වෙයි. නමුත් ඒ ගැන තවම සැළසුමක් නැහැ.


දෙන්නටම එක ටෙලියක රඟපාන්න ආරාධනයක් ලැබුණොත්?


බුද්ධික රඟපාන්නෙ නැහැ. එයා රඟපාන්න කැමති කෙනෙකුත් නෙමෙයි. නමුත් ක්‍ෂේත්‍රයේ නිෂ්පාදන කටයුතු කරනව. ඒ වගේම ගීත රචකයෙක්. ඊට අමතරව රංගන ශිල්පියෙක් විදිහට කටයුතු කරන්න එයාගේ කැමැත්තක් නැහැ.


 වෙඩින් එක ළංවෙනකොට රංගන කටයුතු තාවකාලිකව නතර කළා?


ඔව්, වෙඩින් එකට දින කිහිපයක් තිබියදී රඟපෑම් කටයුතුවලින් ටිකක් ඉවත් වුණා. බුද්ධිකත් ලංකාවට ඇවිත් හිටපු නිසා වෙඩින් එකේ වැඩකටයුතුවලට වැඩි ඉඩක් දෙන්න සිදු වුණා.


 කොහොමද ඔබේ ආරාධිතයන් තෝරාගත්තෙ?


ඇත්තටම හැමෝටම කියන්න පුළුවන්කමක් තිබුණෙ නැහැ. පවුල් දෙකේ අයට තමයි මුල් තැන දුන්නෙ. ඊට අමතරව ළඟම හිතවතුන් කිහිප දෙනකුට ආරාධනා කරල සරලව වැඩකටයුතු ටික කළා.


 ඔබේ රඟපෑම් කටයුතු ඔහු දකින්නෙ කොහොමද?


බුද්ධික මගේ රංගන කටයුතුවලට ගොඩක් කැමතියි. ඒ වගේම ඔහුත් කලාවට සම්බන්ධ නිසා ක්‍ෂේත්‍රය ගැන හොඳ අවබෝධයක් තියෙනව. මේ නිසා මට කිසිම බලපෑමක් නැහැ වගේම මගේ වැඩවලට ලොකු සහයෝගයක් ලබා දෙනව.


බිරිඳකගේ වගකීමට දැන් සූදානම්ද?


ඔව්, මම හිතනව දැන් මම විවාහ ජීවිතයට වැඩි ඉඩක් දෙන්න ඕන වගේම බුද්ධිකගෙ වැඩවලටත් පුළුවන් ආකාරයෙන් සහයෝගය දීල බිරිඳකගේ වගකීම ඉටුකරන්න ඕන කියල.


 බුද්ධිකගේ කලා හැකියාවන් ඔබ දකින්නෙ කොහොමද?


ගී පද රචකයෙක් කියන්නෙ ලෙහෙසි පහසු දෙයක් නෙමෙයිනෙ. එවැනි අදහස් හිතට එනව කියන්නෙ එයාගෙ හිත හරි ලස්සන වෙන්න ඕනනෙ. ඒ වගේ ලස්සන හිතක් තියෙන කෙනෙක් මට ලැබීම ගැන ගොඩක් සතුටුයි.


සිනමාවට ලැබුණ ආරාධනා?


උතුරු සුළඟ සිනමා නිර්මාණයෙන් පස්සෙ මම තවත් නිර්මාණයකට සම්බන්ධ වුණා. ඒකත් ළඟදීම දවසක තිරගත වේවි.


 ගෙදරින් ඈත් වෙන්න සිදුවීම ගැන දුකක් තියෙනවද?


මම නංගිලා තුන්දෙනාටත් අම්මාටත් ගොඩක්ම ලැදි කෙනෙක්. ගෙදරින් ඈත්වීමක් ගැන මම තාම හිතන්නෙවත් නැහැ. ඒක හරි අමාරුයි.


මහේෂ් එදිරිසිංහ





Previous Post Next Post