එයා තමයි කිව්වේ දිගටම රඟපාන්න මට ඔයාව විශ්වාසයි කියලා- ඉරේෂා රණසිංහ




ඉරේෂා රණසිංහ කියන්නේ බොහෝ ආදරේ කරන රංගන ශිල්පිනියක්. ‘උදුලාවතී’ ලෙසින් මීට වසර කිහිපයකට උඩදී ‘හැන්දෑව’ ටෙලිනාට්‍ය වෙනුවෙන් කළ රංගනය උදෙසා ඇයට හොඳම නිළියට හිමි සම්මානයද හිමි වුණා. පුංචි තිරයේ විවිධ චරිත තුළින් ප්‍රේක්ෂක ඔබ හමුවන ඉරේෂා රණසිංහ සමඟ කළ සොඳුරු කතාබහයි මේ.


 

ඉරේෂා, කාලයකට පස්සේ ඔබව දකින්න ලැබෙන්නේ. ඇයි ඒ?


ඇත්තටම පහුගිය කාලේ අඩුවෙන් තමයි දකින්න ලැබුණේ. මම දිගටම වැඩ කළා. ඒත් ඒ නිර්මාණ තවම විකාශය වුණේ නැහැ. හැබැයි මම කරපු ගොඩක් ටෙලි චිත්‍රපට හිරු නාලිකාවේ විකාශය වුණා. සියත නාලිකාවේ විකාශය වන ඉරේෂ් ලොකුබණ්ඩාර අධ්‍යක්ෂණය කරන “විදූ“ සහ


“ආයෙමත් ආදරෙන්“ කියන නාට්‍යය දෙකේ වැඩ කරනවා. කොහොමත් මම ගොඩක් කාර්යබහුල වෙලා වැඩ කරන්න කැමති නැහැ.


චරිත තෝරා ගනිද්දී ඔබේ සීමාවන් කොහොමද?


මම එදා ඉඳලා චරිත තෝරා ගනිද්දි සීමාවන් ගැන හිතලා වැඩ කළේ. මම කොහොමත් ඇඟ පේන ඇඳුම් අඳින්නේ නැහැ. මගේ ප්‍රතිරූපයට හානියක් වුණොත් එය මගේ පවුලට වගේම මගේ දරුවන්ටත් බලපානවා. මේ කාලයේ නම් අම්මාගේ චරිත තමයි වැඩි හරියක්ම රඟපාන්න ලැබෙන්නේ.


 

පුංචි තිරයෙන් සිනමාවට ආරාධනා ලැබුණේ නැද්ද?


සිනමාවට ආරාධනා නම් ලැබුණා. නමුත් මම තෝරාගත් චරිත පමණක් කරන නිසා සමහර ඇරයුම් භාර ගත්තේ නැහැ. ඒ එක්කම මගේ පොඩි පුතා ලැබුණට පස්සේ ඇරයුම් ලැබුණත් බබා පොඩි නිසා මට ඒවාට සම්බන්ධ වෙන්න බැරි වුණා.


 

තමන්ව එහෙම මඟහැරුණු එක ගැන දුකක් නැද්ද?


හොඳ චරිතයක් ලැබිලත් එහි රඟපාන්න බැරිවෙන කොට පොඩි දුකක් ඇතිවෙනවා. ඒක එහෙම වුණත් නැවතත් ඊට වඩා හොඳ අවස්ථාවක් එයි කියලා හිත හදාගන්නවා.


 

ඔබ විවාහ වෙන්නේ කලාවෙන් බාහිර කෙනෙක් සමඟ. කොහොමද ඔහුගෙන් ලැබෙන සහයෝගය?


මගේ මහත්තයා චරිත රුබේරු. ඔහුගෙන් තමයි මට ලොකුම සහයෝගය ලැබෙන්නේ. මම ෂූටිං යන දවසට එයා තමයි ගෙදර ඉඳලා පුතාලා දෙන්නගේ වැඩ කටයුතු ටික කරන්නේ. මම හිතන් හිටියේ කවදා හරි විවාහ වුණාට පස්සේ පවුල් ජීවිතයටම මුල් තැන දීලා රංගනයට සමුදෙන්න. ඒත් මගේ සැමියා කැමැති වුණේ නැහැ මගේ ඒ තීරණයට. එයා තමයි මට කිව්වේ “දිගටම රඟපාන්න, මට ඔයාව විශ්වාසයි” කියලා. ඇත්තටම මම හරි වාසනාවන්තයි ඔහු වැනි කෙනෙක් ලබන්න. මම උයන පිහන කටයුතුවලට එයා මට උදවු කරනවා.


 

පුතාල දෙන්නත් කලාවට ළැදි ද?


ලොකු පුතා ෂයොන් නම් පොඩ්ඩක්වත් කලාවට ළැදි නැහැ. පොඩ්ඩා යයෝන් නම් මාත් එක්කම මගේ පුතාටම නාට්‍යය දෙකක විතර රඟපෑවා. පොඩ්ඩා සංගීතයට බොහෝම ළැදියි. දරුවෝ දෙන්නම ඉගෙනීම පැත්තට තමයි අපි යොමු කරලා තියෙන්නේ.


 

රංගනයට ඇවිත් කෙටි කාලයකදී විවාහ වෙනවනේ, ඒ ගැන අද මොකද හිතෙන්නේ?


මම අවුරුදු 20න් විවාහ වුණේ. ඒ කාලය තමයි මගේ රංගන ජිවිතේ හොඳම කාලය. ඒ කාලේ ගොඩක් අය කිව්වා අපරාදේ දැන්ම විවාහ වුණේ කියලා. ලොකු පුතාට දැන් අවුරුදු 13ක්. පුළුවන් වෙලාවට මම මගේ නිර්මාණ කටයුතුත් කර ගත්තා. මම කොහොමත් ඕනෑවට වඩා ප්‍රසිද්ධියට කැමති කෙනෙකුත් නෙවෙයි. ඒ නිසා මට සතුටුයි මගේ ජීවිතේ ගැන.


රංගනයට ආ අතීතය මතක් කළොත්...?


2005 තමයි මම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ. මම මුලින්ම සම්බන්ධ වුණේ ආරියරත්න ඇතුගල අධ්‍යක්‍ෂණය කළ ‘සමනල කඳවුර’ ටෙලිනාට්‍යයට. ඒ එක්කම ෂර්ලි පී. දෙලංකාවල මහතාගේ ‘හැන්දෑව’ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කළ ‘උදුලාවතී’ චරිතය උදෙසා 2010 හොඳම රංගනය වෙනුවෙන් ජූරියේ සම්මානය මට ලැබුණා.


මම කොහේ හිටියත් මට දැනෙන හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් මම ඒක භාර ගන්නවා. මම හිතාගෙන ඉන්නේ වයසට ගිහිනුත් පුළුවන්තාක් කල් මේ රංගනය තුළ නියැළෙනවා කියලා.


 

එදා වගේම අදටත් නොඅඩුව ලබන ප්‍රේක්ෂක ආදරේ ගැන මොකද හිතෙන්නේ?


ඇත්ත. ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් නම් කිසිම අඩුවක් නැහැ. හැමෝම මට හරිම ආදරෙයි. මේ ළඟදී අපි අනුරාධපුරේ ගිහින් කිරි බත් දානයක් දුන්නා. එතැනදි බොහෝ අය ආවේ කිරිබත් කන්න නෙවෙයි මාත් එක්ක ෆොටෝ ගන්න සහ කතා කරන්න. ඒ ආදරේට මමත් හරි ආදරෙයි. ඒ අයගේ ආදරේ නිසයි අපි රැඳිලා ඉන්නේ.





Previous Post Next Post