මට තාම කෙල්ලෙක්වත් නැහැ-කුසල් මධුරංග



පාර දිගේහී බණ්ඩා, ඒ ඔහු රටක් ලෝකයක් හඳුනාගත් නමයි. අඩු ටෙලිනාට්‍ය ප්‍රමාණයකින් ජනප්‍රිය නළුවා ලෙස සම්මානනීය වූ ඔහු කුසල් මධුරංගයි.


කොහොමද මේ දවස්වල ජීවිතේ..?


මේ දිනවල වේදිකා නාට්‍ය රූගත කිරීම එක්ක කාලය ගත වෙනවා. උදයසිරි වික්‍රමරත්නයන්ගේ සුද්දෙක් ඔබ අමතයි, හරිම බඩු තුනක්, ගරු කථානායකතුමනි, 361, පෙම් යුවළක් ඕනෑ කර තිබේ වැනි වේදිකා නාට්‍යවල රූගත කිරීම් කරනවා. මීට අමතරව ධර්මප්‍රිය ඩයස්ගේ මම නොවෙයි වෙන කෙනෙක් වේදිකා නාට්‍ය වගේම සඳුදා වැටෙන්නේ සිකුරාදට , හිතට වැදුණු ශෛලිය කෙටි නාට්‍ය ප්‍රසංගය වැනි වේදිකා නාට්‍ය බොහොමයක් සමඟ කාර්යබහුල වී සිටිනවා. මීට අමතරව ටෙලි නාට්‍ය දෙකකත් රූගත කිරීම් සිදු කරනවා


ඔබ වේදිකාවට අත්පොත් තබා කලාවට පිවිසුණු අතීතය ගැන කිවුවොත්?


මං වේදිකාවට පිවිසෙන්නේ පාසල් වේදිකාවෙන්. සමස්ත ලංකා රාජ්‍ය ළමා නාට්‍ය උලෙළවල් හා නාට්‍ය තරග වැනි දේවල්වලිනුයි මම නාට්‍ය කලාවේ අයනු ආයනු කියවන්නේ.


 

පාර දිගේ බණ්ඩාගෙ චරිතය එක්ක කුසල් මධුරංගගෙ චරිතය ගොඩනැඟුණු ආකාරය ගැන අපි කතා කරමු


ඊට කලින් ටෙලි නාට්‍ය දෙක තුනකට රංගනයෙන් දායක වුණා . නමුත් පාර දිගේ ටෙලිනාට්‍යය හරහායි මම ජනතාව අතරට ගියේ, ඒ වගේම ජනප්‍රිය නළුවා බවට පත් වුණේ. එය මගේ රංගන ජීවිතය ප්‍රධාන සලකුණක්.


 

ෆැන්ටසි චරිතවලින් ජනප්‍රියත්වයට එසවෙනවා කියන කල්පිතය ඔබ බණ්ඩාගේ චරිතයෙන් සුනු විසුනු කළා. කොහොමද එහෙම පෙරළියක් කළේ?


යථාර්ථය දකින්න මිනිස්සු කැමැතියි. ෆැන්ටසිවලට මිනිස්සු ආදරය කළාට මිනිසුන්ගේ ඇතුළාන්තය ප්‍රිය කරන්නේ යථාර්ථයට. නමුත් මිනිස්සු යථාර්ථයට කැමැති බව පෙන්නන්නෙ නැහැ. බස් එකේදි, කෝච්චියේදි, කඩ සාප්පුවල මිනිස්සු අපිට හරිම ළඟයි. එකී ළබැඳි මිනිසුන්ගේ චරිත මිනිසුන් වැලඳ ගැනීමේ ප්‍රවණතාව වැඩියි. බොරු ආටෝප දානවට වඩා ඇත්ත ඇති සැටියෙන් පෙන්වීමටයි මම බණ්ඩාගෙ චරිතයෙන් උත්සාහ කළේ. ඊට සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මයාගේ පිටපත බොහෝ සෙයින් බලපෑවා. ඒක විචිත්‍රවත් කළ ශිවගුරුනාදන් අධ්‍යක්ෂකුමාත් එකී චරිතයට සාධාරණයක් කරන්න උදවු කළා. ඒ වගේම අපේ කණ්ඩායමේ සෑම දෙනාගේම සහයෝගය වගේම ප්‍රේක්ෂක ප්‍රතිචාර බණ්ඩාගේ චරිතය නිර්මාණය කිරීමට උදව් වුණා.


 

කුසල් මධුරංග යථාර්ථවාදී චරිතවලට පමණක් කොටු වෙන්නට ද බලාපොරොත්තු වෙන්නේ..?


රංගන ශිල්පීන් විදිහට ඕනෑම චරිතයක් නිරූපණය කිරීමේ හැකියාව තිබිය යුතුයි කියා මම විශ්වාස කරනවා. ආටෝප විචිත්‍රවත් චරිතෙකට මට ආරාධනා ලැබුණොත් මම ඒ අභියෝගයත් බාර ගන්නවා. මම නිර්මාණවලට දායක වන්නේ බෙදා ගැනීමකින් තොරවයි. නළුවෙක් වුණාම යථාර්ථවාදී චරිතවල වගේ ෆැන්ටසි චරිතවලත් වැඩ දාන්න පුළුවන් වෙන්න ඕන. රංගනය තුළ මම රාමු හදාගෙන නැහැ.


 

ඔබ, අමරසිරි කලංසූරිය ප්‍රවීණ රංගධරයාගේ පුතා කියලා කට කතාවක් පැතිරුණා නේද?


අමරසිරි කලංසූරිය මහත්මයා එක්ක මම ඡායාරූපයකට පෙනී සිටියා. ඒ හරහා ඔහුගේ පුතා කියලා කටකතා පැතිරුණා. ඒක ගොසිප් එකක්. අමරසිරි කලංසූරිය කියන්නේ මම ගොඩක් ආදරේ කරන, ගෞරව කරන කලාකරුවෙක්. ඒ නිසා ඔහුගේ අවසන් කටයුතුවලට පවා මම සහභාගි වුණා. විවිධ ඡායාරූප පළ කරමින් පළ වූ ගොසිප් දෙපාර්ශ්වයේම අපහසුතාවට පත් කළා. මම අදින පලඳින විදිහ මගේ බාහිර ස්වරූපය එවැනි කටකතාවක් පැතිරෙන්න හේතුවක් වෙන්න ඇති. නමුත් අමරසිරි කලංසූරිය මහත්මයා සමඟ මගේ කිසිම ඥාති සම්බන්ධයක් නැහැ.


 

රිදී තිරය තුළ ඔබගේ ගමන්මඟ කොහොමද?


චිත්‍රපටි දෙකක රූගත කිරීම් නිම කර තවත් චිත්‍රපටයක රූගත කිරීම් පටන් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. එම චිත්‍රපටය රූගත කිරීම සිදු කරන්නේ ඔස්ට්‍රේලියාවේදීයි.


 

කුසල් හොර රහසේම විවාහ වුණා කියලත් රාවයක් පැතිරුණා ඒක ඇත්තද?


අපොයි නැහැ... නැහැ... ඒක ගොසිප් එකක්. වේදිකා නාට්‍යයක පෝස්ටරයට ගත්ත ෆොටෝ එකක් තමයි එහෙම වයිරල් ගියේ. වසන්ති රන්වල මහත්මියගේ දුව මිහිඳු රන්වලයි ඒ ඡායාරූපය පෙනී සිටින්නෙ. ඇය මගෙ සහෝදර රංගන ශිල්පිනියක්.


 


ඔබ පෙම්වතෙක්ද


දැන්ම කසාද බඳින්න බලාපොරොත්තුවකුත් නැහැ. මට තාම කෙල්ලෙක්වත් නැහැ.


 

ආදරය සම්බන්ධයෙන් කලකිරීමක ද ඉන්නේ


එහෙම කලකිරීමක් නැහැ. නමුත් මගේ අධ්‍යාපන කටයුතු නිම කර ඒ ගැන හිතුවොත් හොඳයි කියලා මම හිතනවා. දැන් නම් කසාද බඳින්න හොඳ වයස කියලා ගෙදරිනුත් කියනවා. හිත නතර වෙන වෙලාව කියන්න බැහැනෙ...බලමුකො


විශ්මි ප්‍රනාන්දු






Previous Post Next Post