ඒක තමයි මගේ ජීවිතයේ ලබපු මරණීයම අත්දැකීම-විදුරවී හංසජ



“ශ්‍රී සිද්ධාර්ථ ගෞතම” හි දේවදත්ත ලෙස රංගනයේ යෙදෙමින් පුංචි තිරයේ මුල් වරට අපගේ නෙත් පැහැරගත් ඔහු මේ දිනවල විකාශය වන “හිත ළඟ හිනැහුණා” සහ “සංසාරිණී” ටෙලි නිර්මාණයන්හි කළු – සුදු චරිත අතර ‍ෙදා්ලනය වෙමින් රසික හදවත්වල විවිධ ස්තරවලට එබිකම් කිරීමට උත්සාහ ගන්නා නව පරපුරේ රංගන ශිල්පියෙක්. ඔහු විදුරවී හංසජ කුඹුකගේ. ඔහුගේ මේ දිනවල වැඩකටයුතු සහ ලැබෙන ප්‍රතිචාර ගැන විමසමින් මෙලෙස කතාබහ ආරම්භ කළා. 


මොනවද අලුත්ම තොරතුරු?


මේ දිනවල සිරස නාළිකාවේ හිත ළඟ හිනැහුණා සහ හිරු නාළිකාවේ සංසාරිණී කියන ටෙලිනාට්‍ය දෙකේ තමයි රූගත කිරීම් සිදු කරමින් සිටින්නේ. ඒ නාට්‍ය දෙකට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන්නේ වෙනස් ආකාරවල ප්‍රතිචාර දෙකක්. හිත ළඟ හිනැහුණා නාට්‍යයේ මේ දිනවල අම්මා සහ පුතා කියන කාරණාව හා බැ¾දුණු හැඟීම්බර කතාවක් දිගහැරෙන නිසා ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර සහ ආදරය ගොඩක් මට ලැබෙනවා. ඒත් එක්කම සංසාරිණී නාට්‍යය ගැන කතා කළොත් ඒකෙ චරිතය ඇත්තටම ප්‍රතිවීර කියන නමට ගැළපෙනම චරිතයක්. ඒ නිසාම ඒ චරිතයට මිනිසුන්ගෙන් බැනුම් අහන ගතියක් තිබෙනවා.


විදුරවි අපිට බොහෝ අවස්ථාවල ප්‍රතිවීර චරිතවලින් මතකයේ රැ‍ෙ¾දනවා. වීර සහ ප්‍රතිවීර චරිත අතරින් ඔබේ පෞද්ගලික කැමැත්ත මොන චරිතවලටද?


මම වීර සහ ප්‍රතිවීර කියන චරිත දෙකටම කැමැතියි. මොකද අපි එන්ටර්ටේනර්ස්ලා. අපි කරන චරිතවලින් සමාජයට පණිවුඩයක් දෙන්න පුළුවන්. හැබැයි අපි වැඩි වශයෙන් කරන්නේ ප්‍රේක්ෂකයා වින්දනයට පත්කරන එක. එතැනදී මම හිතනවා මට ලැබෙන චරිතය හරහා ප්‍රේක්ෂකයා උපරිම වින්දනයට පත් කරන්න පුළුවන් නම් මම ලබන ජයග්‍රහණයක් කියලා. එතැනදී මම වීරයද ප්‍රතිවීරයද කියන දේ එච්චර හිතන්නේ නෑ. හැබැයි ප්‍රතිවීර චරිතවල ලොකු පරාසයක් තිබෙන නිසා ගොඩක් රඟපාන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.


ඔබ රංගනයට අවතීර්ණ වූ ආකාරය ගැන සහ රංගනය කියන විෂය මත ඔබ තුළ තිබෙන හැදෑරීම ගැන කතා කළොත්?


මම රංගනය ගැන හදාරලා නෙවෙයි රංගනයට අවතීර්ණ වෙන්නේ. මම මුලින්ම රංගනයට අවතීර්ණ වෙන්නේ 2016දී වෙළෙඳ දැන්වීම් හරහා. ඉන්පසු මම 2018 හිරු අවුරුදු කුමරා සහ කුමරිය තරගයට සහභාගි වෙලා එහිදී කුසලතා පූර්ණ කුමරා කියන සම්මානය දිනා ගැනීමට සමත් වෙනවා. එතැනින් පස්සේ තමයි මම රංගනයට අවතීර්ණ වෙන්නේ. මගේ පවුල් පසුබිම ගත්තොත් ඒ අය රංගනය සහ සංගීතය කියන අංශ දෙකටම සම්බන්ධයි. ඒ ආභාසය එක්කම මට පොඩි කාලේ ඉඳන්ම ඒ ගැන කැමැත්තක් තිබ්බා. ඒ කැමැත්ත එක්ක දැන් රංගනයට පිවිසිලා ජීවිතයේ ලැබෙන අත්දැකීම් එක්ක රංගනය පිළිබඳ අධ්‍යයනය කරමින් හදාරමින් යනවා.


ඔබගේ පවුල තුළින්ම කලා ආභාසය ලැබෙන නිසා ඔබගේ පවුලෙන් ඔබට විශාල සහයෝගයක් ලැබෙනවා ඇති. ඔබගේ පවුල ගැන මතක් කළොත්?


මගේ තාත්තා මුදිත කුඹුකගේ. ඔහු නෙකෝ ශබ්දාගාරයේ ශබ්ද පරිපාලකවරයෙක්. මගේ අම්මා ආලෝකා කුඹුකගේ. ඇය ප්‍රවීණ භරත නාට්‍යම් නර්තනාචාරිණියක්. මම රඟපානවට මගේ පවුලෙන් මුලදී නම් ලොකු කැමැත්තක් තිබුණේ නෑ. මොකද මගේ තාත්තා අවුරුදු 27ක් පමණ මේ කර්මාන්තයේ සිටි කෙනෙක්. මුලදී කැමැත්තක් තිබ්බේ නැතත් මේ වන විට මම ලබාගෙන තියෙන දේවල් එක්ක දැන් පවුලේ අයගෙන් සහයෝගය ලැබෙනවා.


විදුරවි අපි පුංචි තිරයේ නිතර දැක්කත් රංගන ශිල්පියෙක් විධියට. රිදී තිරය ගැන ඔබට ලොකු බලාපොරොත්තුවක් ඇති. සිනමාව සම්බන්ධව ඔබගේ අදහස ගැන කතා කළොත්?


මම තාම සිනමාව සමඟ සම්බන්ධ වෙලා නෑ. මම ආකාශ් තාරුක පෙරේරා සමඟ එක කෙටි චිත්‍රපටයක් කළා විලම්භීත කියලා. මම ඇත්තටම කැමැති සිනමාව පැත්තට. රිදී තිරය සහ පුංචි තිරය අතර තෝරා ගැනීමක් කරන්න වුණොත් මම හිටගන්නේ සිනමාව පැත්තේ. ලංකාවේ සිනමාව ගත්තොත් අපිට ස්වර්ණමය යුගයක් තිබුණා. ඒ කාලේ හිටපු රංගන ශිල්පීන්ට අපි අදටත් එක වගේම ගෞරව කරනවා. ඒ අය පවත්වගෙන ආපු තත්ත්වය නිසා තමයි අදටත් මේ ආකාරයෙන් හරි සිනමාව රැඳිලා තිබෙන්නේ. සිනමාවේ පොඩි පසුබෑමක් තිබෙනවා. හැබැයි අලුත් නිර්මාණ බිහි වෙනවා. අලුත් අධ්‍යක්ෂවරු, නළු නිළියෝ බිහි වෙනවා. ඉතින් මම විශ්වාස කරනවා මීට වඩා ලස්සනට ඉදිරියට යන්න පුළුවන් තත්ත්වයක් අනාගතයේ උදාවෙයි කියලා.


ශ්‍රී ලංකාව තුළ රංගන ශිල්පියාට ලැබෙන මූල්‍යමය වටිනාකම ගැන ඔබගේ අදහස?


ඕනෑම ක්ෂේත්‍රයකදී මුලින්ම අපිට ඇති වෙන්නේ මූල්‍යමය තත්ත්වයට වඩා අපිට ඒ ක්ෂේත්‍රය ගැන තියන කැමැත්ත. අපි මුලින්ම යන්නේ ඒ කැමැත්ත පස්සේ. ඊට පස්සේ ඒ කැමැත්ත අපේ රැකියාව බවට පත්වෙනවා. අපි ඒ රැකියාව වෙනුවෙන් මහන්සි වෙන්න පටන් ගන්නවා. ඒ මහන්සියට කාලයත් එක්ක අත්දැකීම් එකතු වෙද්දී අපිට අපේ මහන්සියේ ප්‍රතිඵල ලැබෙන්න ගන්නවා. ඒ දේවල් එක්ක මූල්‍යමය දේවල් ඔක්කොම අපිට හැදිලා එනවා.


රංගන ශිල්පියකු විසින් නළුවා කියන සමාජ ප්‍රතිරූපය නඩත්තු කළ යුතුයි කියා ඔබ සිතනවාද?


අනිවාර්යයෙන්ම නළුවා නඩත්තු වෙන්න ඕනි. ඒක අත්‍යවශ්‍ය දෙයක්. මම දකින දෙයක් තමයි මුල් කාලෙදි ගොඩක් අය ලස්සනට ඇවිල්ලා ඒ තැන ලැබුණට පස්සේ අපිට නඩත්තුව කියන කොටස අමතක වෙලා යනවා. නළුවෙක් කියන කෙනා සමාජයට ගියාම එයාගේ ආකර්ෂණය සමාජයට පේන්න ඕනි. ඒ ආකර්ෂණය ලබා ගන්නනම් අපි අනිවාර්යයෙන්ම නඩත්තු වෙන්න ඕනි. මම කියන්නේ නළුවා හැම තිස්සෙම ඇඟ පුම්බගෙන ඉන්න ඕනි කියලා නෙවෙයි. නළුවා හැමතිස්සෙම නම්‍යශීලී වගේම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගන කරන්න ඕනා. මොකද නළුවා මුදල් උපයන්නේ තමන්ගේ ප්‍රතිරූපය හරහා. ඒ නිසා නඩත්තුව හැම පැත්තකින්ම අත්‍යවශ්‍යයි.


ඔබට රූපගත කිරීම්වලදී සිදු වූ අමතක නොවනම සිදුවීමක් ගැන කතා කළොත්?


මම මීට අවුරුද්දයි මාස තුනකට විතර කලින් දුම්රිය අනතුරකට මුහුණ දුන්නා. ඒක තමා මගේ ජීවිතේ අමතක නොවනම සහ මරණාසන්නම අත්දැකීම. ඒක ඒ වෙලාවෙ හැටියට එතැන සිදුවුණු දෙයක්. ඒ නිසා කාටවත් ඒ දේ ගැන වැරැද්ද පටවන්න බෑ. මාව රෝහලට ගෙනියද්දී මම තුවාලේ දිහා බල බලා ගියේ. මම ඒ වෙනකොට දන්නේ නෑ මගේ කකුල කපන්න වෙයිද මගේ ජීවිතයට හානියක් වෙයිද කියලවත්. හැබැයි මම හිතුව එකම දේ මම සුමානයකින් ආයේ රූගත කිරීම්වලට එනවා කියලා. ඒක ජීවිතේ මාරම අමාරු කාලයක්. මම ඒ තරම් විඳවලා නෑ කවදාවත්. හැබැයි දවස් පහෙන් මගේ ටිකට් කැපුවා. මම එක දවසක් විවේකීව ඉඳලා එදා හිතුවා වගේම හත්වැනි දවසෙදි ආයේ රූපගත කිරීම්වලට ගියා.


ඒ අමතක නොවන අත්දැකීමත් සමඟම අවසාන වශයෙන් ඔබව අමතක නොවන්නට ඔබ ප්‍රේක්ෂකයා අතරට එන ඉදිරි නිර්මාණ ගැන සහ අනාගත බලාපොරොත්තු ගැන කතා කළොත්?


අනාගත බලාපොරොත්තුව තමයි පුංචි තිරයෙන් රිදී තිරයට එන එක. ඒ වගේම ව්‍යාපාර කටයුතුවල නියැළෙන්නත් මට අදහසක් තිබෙනවා. ඉදිරියේදී ප්‍රේක්ෂකයා අතරට එන තවත් නිර්මාණයක් ගැන මේ වන විට සාකච්ඡා මට්ටමින් වැඩ කටයුතු සිදුවෙමින් යනවා. ඒ අතර හිත ළඟ හිනැහුණා සහ සංසාරිණී නරඹලා ඔබගේ ආදරය ලබා දෙන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා.


පැතුම් මහගම





Previous Post Next Post