ඒ ප්‍රේමය නිසා මම අදටත් තෘප්තිමත් මාව වෙනස් කළ ප්‍රේමය තමයි සංගීතය-බාචි




බාචි කියන නම ඇහුව ගමන් හැමෝම දන්නවා කවුද කියලා. ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි අපූරු ගායන පෞරුෂයක් හිමි බාචි ගැන ඔබ නොදන්න, බොහෝම රසවත් තොරතුරු රැසක් රසඳුන සමඟ බෙදා ගත්තේ මේ විදිහට


බාචි ඒක වෙනස් ආකාරයේ නමක්. මුලින්ම එතැනින් පටන් ගමු


“බාචි“ කියන නම මම මීට අවුරුදු 25කට විතර කලින් සංගීත ක්ෂේත්‍රයට ආව කාලයේ එක සංගීත කණ්ඩායමක හිටපු මගේ සහෝදර සාමාජිකයෙක් විහිළුවට වගේ මට බාචි කියලා කතා කළා. ඒක එතැනින් නැවතුණේ නෑ. මුළු කණ්ඩායමම ඊට පස්සේ මට කතා කළේ බාචි කියලා. ටිකක් අමුතු ආකාරයේ නමක් නිසා මමත් ඒ නම භාවිතා කරන්න ගත්තා. ඇත්තටම මගේ නම සුසන්ත. හැබැයි දැන් හැමෝම හඳුනන්නේ බාචි සුසාන් කියන කොට. මම ඒ වෙනසට කැමතියි.


අද අපි දකින ජනප්‍රිය ගායකයා වෙන්න සෑහෙන කට්ටක් කන්න ඇති නේද?


ඒක එහෙම තමයි. මට සුන්දර ගමනක් තිබුණේ නෑ. මම ආවේ සෑහෙන දුෂ්කර ගමනක්. ඒක දැන් ඉවරයි කියලා මම හිතන්නේ නෑ. තවමත් මම ඒ කට්ට කනවා. මගේ පවුලේ සහෝදරියන් 4ක් හිටියා. අඟ හිඟ කම් බොහොමයක් තිබුණා. ඒ අතරේ මේ කණ්ඩායම් සංගීතයට එන්න දුර බැහැර ගෙවා ගෙන ඉතාම අමාරුවෙන් මම සහභාගී වුණා. මම අද ඉන්න තැනට ආවේ සෑහෙන කට්ටක් කළා. ඒ ගැන කතා කරන්න ගියොත් කියන්න ගොඩක් දේවල් තියනවා. මම විශ්වාස කරන දෙයක් තමයි අපි ජීවිතය පටන් ගන්න විදිහ නෙමෙයි වැදගත්, ඉවර කරන විදිහ කියලා. ඒ නිසා ඒ අමාරුකම්, දුෂ්කරකම් මට අදටත් අශිර්වාදයක්.


 

ජීවිතය එපා වෙලා, කලකිරුණු අවස්ථාවක් මතක් කළොත්?


එහෙම එක අවස්ථාවක්, එක කාලයක් කියලා නෑ. අපි මිනිස්සු විදිහට ඒ වගේ කලකිරීම් එක්ක තමයි දිගටම ජීවත් වෙන්නේ. හැබැයි මම ඔය ප්‍රශ්න සහ කලකිරීම් ජීවිතය නැති කරගන්න තරම් බරපතළ දෙයක් විදිහට භාර ගත්තේ නෑ. දුකක් නැතිව ජීවිතයක් නෑනේ. කලකිරිම් කියනවා ඒවා පාලනය කරගෙන ජීවත් වෙන්න උත්සහ කරනවා.


 

ආදරය, ප්‍රේමය කොහොමද බාචිට බලපෑම් කළේ?


ආදරය මගේ ජීවිතයට මම ගත්තේ නිතරම වෙනස් වන දෙයක් විදිහට. මම අවුරුදු 20දි ආදරය කරපු දේවල් වලට මට අවුරුදු 40 ඒ විදිහටම ආදරය කරන්න පුළුවන් ද කියන ප්‍රශ්නය මට තියනවා. ඒ නිසාම මම ආදරය දකින්නේ අපේ ජීවිත වගේ නිතර වෙනස් වෙන දෙයක් විදිහට. මගේ ජීවිතයට ආදරය ඇතුළු වෙන්නත් එළියට යන්නේත් මම ආදරය දකින්නෙත් ඒ ආකාරයට.


 

බාචිව වෙනස් කරපු ප්‍රේමය මොකක්ද ?


ප්‍රේමය ගත්තාම වෙනස් ආකාරවලින් අපිට හමුවෙනවා. දෙමවුපිය ප්‍රේමය, ස්ත්‍රී ප්‍රේමය , එක එක දේවල්වලට දක්වන ප්‍රේමය වගේ නොයෙක් විදිහට අපිට ප්‍රේමය හමුවෙනවා. හැබැයි මේ සියල්ලම අතරින් මාව වෙනස් කළ ප්‍රේමය වෙන්නේ සංගීතය. මම සංගීතයට ප්‍රේම කළා. ඒ ප්‍රේමය තුළින් මම ඉතාම තෘප්තිමත් අදටත්.


 

ජීවිතයේ ලබපු අමිහිරිම පරාජය සහ මිහිරිතම ජයග්‍රහණය මොකක්ද ?


කනගාටුවට කාරණාව වෙන්නේ ඔය දෙකම මට තාම හම්බෙලා නැති එක. ඇත්තටම තාමත් කල්පනා කරලා බලන්න ඕනේ මම මගේ ජීවිතයේ මිහිරක් වින්ඳාද කියලා. පරාජය වෙලා තියනවා හැබැයි හැම පරාජයක්ම මම ජයග්‍රහණයට මඟ පෙන්වන දෙයක් විදිහට වෙනස් කර ගත්තා. පරාජය තුළ වැටිලා, සංකා වෙලා, දුක්වෙලා ඒ ගැනම තැවි තැවී ඉඳලා නම් නෑ. ඒ නිසා මේ කාරණා දෙකම මගේ ජීවිතයේ තියනවා. හැබැයි ඒ හැම එකක්ම මම සාමන්‍ය විදිහට භාර ගත්තා. ඒ නිසා කිසිවක් විශේෂ නෑ.


 

අනාගත සිහින මොනවාද?


මම ගොඩාක් වෙලාවට හීන මවන එකෙන් ඈත් වෙලා ඉන්නේ. පොඩි කාලේ අපිට හීන තිබුණ. ඒවා හීන. ඒ නිසා දැන් මගේ හීන කියලා එකක් නෑ. මං ළඟ තියෙන්නේ අරමුණු, බලාපොරොත්තු, ඉලක්ක වගේ දේවල්. තව අවුරුදු 5කින් මට යන්න ඕනේ තැනක් තියනවා නම් මම ඒ වෙනුවෙන් අද දවසේ ඉඳන් වෙහෙසෙනවා, කැපවෙනවා. ඒ නිසා මට දැන් හීන නෑ. මං ළඟ තියෙන්නේ අනාගත ව්‍යාපෘති..


 

බාචිව හඳුන්වන්න ඕනේ කොහොම කෙනෙක් කියලද ?


මම ඇත්තටම සතුටු වෙනවා දන්න හඳුනන හැමොම සමාන්‍ය විදිහට ඉන්න මනුෂ්‍යත්වයෙන් ආමන්ත්‍රණය කරන කෙනෙක් විදිහට මාව දකිනවා නම්. බාචි කියන්නේ කකුල් දෙකෙන් මේ පොළොවේ පය ගහලා ඉන්න, දුක සැප හැම දේම හොඳින් දන්න, හැම මනුස්සයෙක්ගේම හදවතේ ගැස්ම හඳුනන ගායකයෙක් විදිහට මාව දකිනවා නම්.


  මොහාන් සුරවීර





Previous Post Next Post