මං චීන කාන්තාවක් නොවෙයි - කවිහාරි හපුතන්ත්‍රි

 



ජානු ටෙලි නාට්‍යයේ ජානු හෙවත් සුදුනෝනා මේ දවස්වල හරිම ජනප්‍රිය වෙලා නේද?


ඔව්, මං හිතපු නැති විදිහට ජානු හරිම ජනප්‍රිය වෙලා.


මේ දවස්වල ජානුට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ඒ ලැබෙන ප්‍රතිචාර නම් හරිම වටිනවා.පාර තොටේදි දැක්කත් මං ළගට ඇවිත් ඔයා ජානු නේද කියලා විවිධ අය අහනවා.


ජානු ඔබේ ප්‍රථම ටෙලි නාට්‍ය රංගනයද?


ඔව්, මේක තමා මගේ ප්‍රථම ටෙලි නාට්‍ය රංගනය.


ජානු මං ඒ චරිතයේ නමින්ම ඔයාට කතා කළාට ප්‍රශ්නයක් නෑ නේද?


කමක් නැ අයියේ.


ජානු චරිතයේ රංගනයට අවස්ථාවක් ලැබෙන්නේ කොහොමද?


ෆේස්බුක්වල මගේ ෆොටෝ එකක් දැකලා තමා සමීර අයියා මට මේ චරිතයට කතා කරන්නේ.


ලැබුණු ප්‍රථම ටෙලි නාට්‍යයෙන්ම ජානු අසීමිත ජනප්‍රියත්වයක් මේ වන විට ලබලා එහෙම වෙයි කියලා හිතුවද, ඒ ගැන මොකද හිතෙන්නේ?


එහෙම වෙයි කියලා නම් හිතුවේ නෑ. මම ඇක්ටින් ෆීල්ඩ් (Field) එකට අලුතෙන් ආපු නිසා හිතපු නැති විදිහට තමා මට මේ ටෙලි නාට්‍යයට අවස්ථාවක් ලැබුණෙත්.


කවුද මේ ජානු කියන්නේ අපි ඒ චරිතය ගැනත් මතක් කරමු.


ජානු හරිම ෂෝක් චරිතයක්. එයා නිදහසේ සතුටින් ඉන්න කැමති ආදරණීය චරිතයක්. අම්මගේ උවමනාවට ඒ ගමේ ඉන්න සල්ලිකාර වයසක කෙනෙක්ව ඇය කසාද බඳිනවා. ඊට පස්සේ ජානු කලකිරිලා සයිලන්ස් වෙලා ජීවත්වෙනවා. පෙර තිබුණු දඟකාරකම් නැතිවෙලා බිරිඳක් ලෙස ඒ සැමියාට තමාගෙන් ඉටු විය යුතු වගකීම් ඉටුකරන කෙනෙක් තමයි ජානු කියන්නේ. හැබැයි අර ඉස්සෙල්ලා හිටපු පෙම්වතා ගැනත් හිතනවා.


ජානු ඒ විදියට ඉදලා නැවත ඉස්සෙල්ලා තමන්ට හිටපු ඒ පෙම්වතා ගාවට යයිද මේ කතාවේ හැටියට ඉදිරියට? 


එහෙම වෙන්න නොදී එහි මගේ අම්මා ඒ පෙර පෙම්වතා ගැන විවිධ බොරු කතා වැරදි දේවල් කියලා ජානුගේ හිත නිතරම වෙනස් කරන්න තමා හදන්නේ. ඒ මේ පවුල් ජීවිතය ඉදිරියට ගෙනියන්න ඕනේ නිසා. ඉතින් අපිවත් තවම දන්නේ නෑ ඉස්සරහට ඒක කොහොම වෙයිද කියලා. ඒ ගැන ඩිරෙක්ටර් (අධ්‍යක්ෂ) පවා අපිට මොකුත්ම කියලත් නෑ තවම.


නවක නිළියක් ලෙස මෙහි රඟපෑම්වලදී ඔබට අනිත් ප්‍රවීණයන්ගෙන් ලැබුණු සහය මොනවගේද?


ඇත්තටම ඒ ගැන නම් කියන්නම ඕනේ. මේ ටෙලි නාට්‍යයේ මම හැර අනිත් අය සියලු දෙනාම මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ. ඉතින් මට බයකුත් දැණුනා වැඩ කර ගෙන යන්න අමාරු වෙයි මම කොන් වෙයි වගේ කියලා. ඒත් ඇත්තටම එහෙම වුණෙ නෑ. සියලු දෙනාම මට විවිධ දේවල් කියලා දෙමින් ලොකු සහයෝගයක් දෙනවා. ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් ඇතුළු කණ්ඩායමේ අනිත් සියලු දෙනාම විශේෂයෙන් මගේ අම්මට ඉන්න සුදර්ශනි ගැලනිගම ප්‍රවීණ රංගනවේදිනිය මට මගේම අම්මා වගේ හරිම ආදරෙන් හැමදේම කියාදෙමින් උදව් කරනවා. හරිම සතුටුයි ඒ ගැන නම්.


අපි කවිහාරිගේ පෞද්ගලික ජීවිතය ගැනත් කතා කරමු, පදිංචිය කොහෙද?


පදිංචිය නුවර. ෂූට්වලට යන්න එන්න පහසුවට මොරටුවේ තමා නැවතිලා ඉන්නේ.


එතකොට ගම නුවර කොහෙද?


කටුගස්තොට.


පවුලේ විස්තර කෙහොමද?


අම්මයි, තාත්තයි, මමයි, නංගිලා දෙන්නයි. තාත්තා ටුවරිස්ට් ගයිඩ් කෙනෙක්. අම්මි නම් ගෙදර ඉන්නේ. නංගිලා තවම ඉගෙන ගන්නවා.


ඔබ අධ්‍යාපනය ලැබුවේ?


කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා මහ විදුහලේ.


ඉගෙන ගන්න කාලේ මොනවගේ කෙනෙක් වෙන්නද හිතුවේ?


ගුවන් සේවිකාවක් වෙන්න. ඒත් මගේ තාත්තා මම ගුවන් සේවිකාවක් වෙනවට කැමති වුණේ නැ.


එතකොට තාත්තා ඔයා රඟපානවට කැමති වුණාද?


මුලින්ම ඒකටත් තාත්තා එතරම් කැමැත්තක් තිබුණේ නෑ. මුලින්ම මේ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ සමීර අයියා ගාවට මාව එක්කං ගියෙත් තාත්තා දැන් නම් ප්‍රශ්නයක් නෑ.


පවුලේ අම්මා, නංගිලා දෙන්නගෙන් ලැබෙන සහයෝගය කොහොමද?


ඒ අය ටී.වී.එකෙන් මාව දැකලා හරිම සතුටු වෙනවා. දැන් තාත්තත් එහෙමයි ඒ හැමෝම මට ලොකු සහයෝගයක් ලබාදෙනවා.


දැන් ජානුගේ ජනප්‍රියත්වයත් එක්ක වෙනත් නිර්මාණවලට රඟපාන්න කතා කරලා නැද්ද?


ටෙලි නාට්‍ය අටකට කතා කරලා තියෙනවා. ඒවායින් තුන හතරකම (3/4) ප්‍රධාන චරිතවලට නමුත් මං දැන් මුල්තැන දෙන්නේ ජානුට මොකද මම හිතනවා ජානු තව තවත් ප්‍රේක්ෂකයින් අතරට ගිහින් මාව එයින් මතක හිටින චරිතක් බවට එය පත්විය යුතුයි කියලා. අනික තමා මං මගේ මේ ප්‍රථම ටෙලි නාට්‍යය වෙනුවෙන් කැපවිය යුතුයි. එයට මුල් තැන දිය යුතුයි කියලා. ලැබුණු අනිත් වැඩවලටත් තෝරා බේරා ගෙන දායක වී කටයුතු කිරීම ගැන පසුව සලකා බලනවා.


කවිහාරිගේ වයස කීයද?


දැන් අවුරුදු විසිදෙකයි.(22)


ඔබේ ඔය ලස්සන හැඩ රුවත් එක්ක බටහිර පන්නේ කෙනෙක් වගෙයි පෙන්නේ ඇත්තටම ඔබ බටහිර ආභාසයකින් පැවත එන කෙනෙක්ද?


ඇත්තටම ගොඩාක් දෙනා ඔය ප්‍රශ්නෙ මගෙන් අහනවා. ඒ අය හිතන්නෙම මම චීන ආභාසයලත් අයෙක් කියලා නමුත් මං එහෙම කෙනෙක් නොවෙයි.මම ලංකාවේ අයෙක් මට විතරයි ඔය පෙනුම තියෙන්නේ මගේ නංගිලා දෙන්නට එහෙම පෙනුමක් නෑ. අනික තමා මම උසින් අඩු මිටි අයෙක් ලෙස තමා නිර්මාණවල පෙනී ඉන්නේ. හැබැයි මම උස කෙනෙක්. මගේ උස අඩි 05 අඩිල් 07. මේ මෑතකදී මියුසික් වීඩියෝවක රූගත කිරීමකට කතා කරලා ගියාම මට ඒ සඳහා ලැබුණු ඒ අනිත් කෙනා මිටියි. මගේ උසට ගැළපෙන්නේ නැතිව ප්‍රශ්නයක් වුණා. මොකද මං අර නිර්මාණවලත් පෙනී ඉන්නේ උසින් අඩු අයෙක් ලෙස නිසා.


කවිහාරි මේ වෙනකොට පෙම්වතියක්ද?


තාම නැ.


තවම කෙනෙක් හොයනවාද?


ඔව්


මොනවගේ කෙනෙක්ද හොයන්නේ?


සැහැල්ලුවෙන් විනෝදයෙන් නිදහසේ ජීවිතය ගත කරන මට ආදරේ ඇති. කලාවේ මගේ වැඩවලට සහයෝගය දක්වන කෙනෙක්ට තමා මම කැමති.


ඒ කියන්නේ කලා ක්ෂේත්‍රයේම අයෙක්ට ද වැඩි කැමැත්ත?


එහෙම නෑ. මම කැමති ව්‍යාපාර ක්ෂේත්‍රයේ කෙනෙක්ට. මමත් ව්‍යාපාර පැත්තට කැමැත්තක් තියෙනවා. මම ඉස්සරහට ව්‍යාපාරයක් කරන්නත් හිතාන ඉන්නවා.


ගෙදර අය මේ සඳහා ඔබට යෝජනා ගෙනාවේ නැද්ද?


ගෙදරින් එහෙම යෝජනා දෙක තුනක්ම ගෙනාවා ඒත් ඒවා එකක්වත් මට ගැළපෙන්නේ නැති නිසා හරි ගියේ නැ.


අනාගත බලාපොරොත්තු මොනවාද?


ප්‍රවීණයන් ඇතුළු සියලු දෙනාගෙන් තව තවත් ඇක්ටින් ෆීල්ඩ් එකේ විවිධ දේවල් ඉගෙන ගනිමින් මේ ෆීල්ඩ් එකේ ඉදිරියටම යනවා. මං ජානු චරිතයට ගොඩාක්ම ආදරෙයි. එය තවත් සාර්ථකව ඉදිරියට කරගෙන යන්නත් ඒ විදිහෙ හොඳ චරිතවලට ඉදිරියට තව තවත් දායක වෙන්න තමා මගේ බලාපොරොත්තුව.


හේමන්ත බණ්ඩාර 





Previous Post Next Post