මං කැමැතියි කියපු ගමන් චන්දිමාල් 100ක් ගැහුවා-දිනේෂ් චන්දිමාල්ගේ බිරිඳ ඉසිකා




වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට්, එක්දින මෙන්ම විස්සයි විස්ස යන තරග රටා තුනටම හැඩගැහුනු අත්දැකීම් බහුලම ක්‍රීඩකයෙක් ලෙස දිනේෂ් චන්දිමාල් හැඳින්විය හැකිය. ශ්‍රී ලංකා කණ්ඩායම අමාරුවේ වැටෙන්නට ගිය බොහෝ තැන්හි ඔහුගේ ඉවසිලිවන්ත පිතිහරඹය කණ්ඩායමට ජයග්‍රහණ රැගෙන ආ අවස්ථා ගණන බොහෝය. මේ දිනවල ටෙස්ට් කණ්ඩායමේ ලකුණු මැෂිමක් බවට පත්ව සිටින දිනේෂ් චන්දිමාල් ගැන මේ කතාබහ ඔහුගේ ආදරණීය බිරිඳ වන ඉසිකා ජයසේකර සමගිනි.


මුලින්ම කියන්න ඔයාට චන්දිමාල් මුණගැහුනේ කොහොමද?


2004 අවුරුද්දේ ලංකාවට සුනාමි බලපෑම් ඇතිවුණානේ. ඒ සුනාමියට අහුවෙලා චන්දිමාල්ගේ ගෙවල් එහෙමත් නැතිවුණා. එතකොට එයා සාමාන්‍ය පෙළ ලියන්න හිටියේ. ඉතින් එයා පාඩම් කළේ අපේ නෑදෑ ගෙදරක නැවතිලා.ඒ කාලේ තමයි මට චන්දිමාල් මුණගැහුනේ.


ඒ හමුවීම ආදරයකට පෙරලුනේ කොයි කාලෙද?


අවුරුදු හතරක් අපි යාළුවෝ වගේ හිටියා. ඒ ඉන්නකොට මට තේරුම් ගියා චන්දිමාල් කියන්නේ හොඳ ගතිගුණ තියෙන ගොඩාක් අවංක කෙනෙක් කියලා. ඊටපස්සේ මං එයාට කැමැත්ත දුන්නා. ඒ විදිහට 2009 අවුරුද්දේ තමයි අපි ආදරේ කරන්න පටන්ගත්තේ.


අපිට නම් ආරංචි ඉසිකා චන්දිමාල්ට සෑහෙන්න ගණන් ඉස්සුවා කියලා...


අපේ පවුල ගොඩාක් අධ්‍යාපනයත් එක්ක බද්ධවෙලා හිටපු පවුලක්. මගේ අම්මයි තාත්තයි දෙන්නා විදුහල්පතිවරු. ඉතින් මමත් අධ්‍යාපනයට මුල්තැන දීලමයි හිටියේ. ඒක නිසා ආදර සම්බන්ධයක් පටන්ගන්න තරම් වටපිටාවක් අපේ ගෙදර තිබුනේ නෑ. මට එහෙම දෙයක් පටන්ගන්න ලොකු බයක් තිබුණා.


හැබැයි ඔයා එයාට නිකන් හරි කැමති නොවුනොත් චන්දිමාල් ක්‍රිකට් අතාරිනවා කිව්වලු නේද?


එයා කිව්වේ ක්‍රිකට් අතාරිනවා කියලා නෙවෙයි පුහුණුවීම්වලට යන්නෑ කියලා. එයා ඒක මං බයකරන්න කියපු කතාවක්.


ඉසිකා එහෙම කියන්නේ ඇයි?


එයා ඉස්කෝලේ ක්‍රිකට් ගහපු විදිහට මං දැනගෙන හිටියා මං අකමැති කිව්වත් චන්දිමාල් කීයටවත් ක්‍රිකට් නම් අතාරින්නේ නෑ කියලා. ඒ තරමට එයා ක්‍රිකට් එක්කමයි හිටියේ. ඒකයි මං එහෙම කිව්වේ.


ඒත් කැමැත්ත දුන්නු දවසට පහුවදා චන්දිමාල් ඔයාට තියෙන ආදරේ තරම පෙන්නුවනේ නේද?


ම‍ං කැමැති වුණු දවසට පහුවදා ඉස්කෝලේ මැච් එකක් තිබුණා. එදා එයා එකසිය ගාණක් ගැහුවා. ඒ ගහලා ඇවිත් මට කිව්වා "ඔයා කැමති උන හින්දා තමයි මං සීයක් ගැහුවේ. දැන්වත් ඔයාට තේරෙනවා නේද මගේ ආදරේ තරම" කියලා.


දෙන්නගේ විවාහය සිද්ධවුණේ කොයි කාලෙද?


අපි අවුරුදු හයක් ආදරේ කරලා 2015 අවුරුද්දේ තමයි විවාහවුණේ.


විවාහ වෙන්න කලින් එයා ජාතික කණ්ඩායමට තේරුනා නේද?


විවාහ වෙන්න කලින්ම 2010 අවුරුද්දේ චන්දිමාල් ජාතික කණ්ඩායමට තේරුනා. එදා නම් මට සතුට වැඩිකමට කරන්නේ මොනවද කියලා හිතාගන්න බැරිවුණා.


දිනේෂ් චන්දිමාල්ගේ බිරිඳවීම ගැන දැන් ඉසිකාට සතුටුයිද?


ඒ ගැන නම් ලොකුම ලොකු සතුටක් තියෙනවා. ඒකට හේතුව එයා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන එකම නෙවෙයි. දිනේෂ් චන්දිමාල් කියන්නේ බිරිඳක් ප්‍රාර්ථනා කරන විදිහේ සැමියෙක්. ඒකත් එක්ක මං හිතනවා මං එයාගේ බිරිඳ උනු එක මගේ පැත්තෙන් භාග්‍යයක් වගේම වාසනාවක් කියලා.


චන්දිමාල් කියන්නේ හරි සරලව ජීවත්වෙන කෙනෙක් නේද?


ඔව් එයා ආසයි හැමවෙලේම සරලව ඉන්න. පිට්ටනියෙද ගෙදරද කියලා වෙනසක් නෑ එයා කොතැනදිත් ඒ විදිහමයි. ඒ වගේමයි එයා පිනට දහමට ලැදි කෙනෙක්. පෝය දවසකට ගෙදර එහෙම හිටියොත් අනිවාර්‌යෙන් ගෙදර සිල් සමාදන් වෙනවා.


දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කරපු තරග අතරින් ඉසිකාට අමතකම නැති තරගය මොකක්ද?


එයා මුලින්ම ශතකයක් ගහපු එක්දින තරගය,එංගලන්තයේ ලෝඩ්ස් පිටියේ ශතකයක් ගහපු එක්දින තරගය වගේම ගිය අවුරුද්දේ ද්විත්ව ශතකයක් ගහපු ටෙස්ට් තරගය අමතක වෙන්නේ නෑ.


 දිනේෂ් චන්දිමාල් ඇරුනම ඉසිකා කැමතිම ක්‍රීඩකයෙක් ඉන්නවද?


මං කැමතියි ඉන්දියාවේ විරාත් කෝලිට.


අවසාන වශයෙන් කිව්වොත් දිනේෂ් චන්දිමාල් ක්‍රිකට් නොගැහුවා නම් අද එයා මොන වගේ රැකියාවක් කරයිද?


එයාට ඒ කාලේ ලොකු හීනයක් තිබුණා නීතිඥයෙක් වෙන්න. මං හිතන්නේ ක්‍රිකට් නොගැහුවා නම් එයා අනිවාරෙන් නීතිඥයෙක් වෙන්න තිබුණා. සමහර විට එයා ක්‍රිකට්වලින් සමුගත්ත දවසක ඒ හීනයටත් යයි. 





Previous Post Next Post