දැන් ඉන්න අය ෆෝන් එක ඔබ ඔබ ඉඳලා එකපාරටම ෂුට් එකට එනවා- නිරෝෂා තලගල



ශ්‍රී  ලාංකේය පුංචි තිරයෙහි සිය රංගන ප්‍රතිභාව  මැනවින් විදහා දැක්වූ ඇය වත්මනයේ ටෙලි නාට්‍යවලට නැතිවම බැරි රංගන ශිල්පිනියකි. පුංචි තිරයේ මෙන්ම රිදී තිරය තුළින්ද ප්‍රේක්ෂක හදවත් අමන්දානන්දයට පත්කළ ඇය නමින් නිරෝෂා තලගලයි. විටෙක ඇය අති දක්ෂ රංගන ශිල්පිනියකි. තවත් විටෙක ඇය අති දක්ෂ නර්තන ශිල්පිනියකි. මේ දිනවල ‘දිව්‍යාදරී’ ටෙලිනාට්‍ය මඟින් ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණෙන නිරෝෂා තලගල මෙවර ‘හදගැස්ම’ පිළිසඳර සමඟ එක්කාසු වුණේ මෙලෙසින්.


කොහොමද මේ දිනවල ජීවිතේ ගෙවන්නෙ?


මේ දිනවල නම්  නර්තන ප්‍රසංග නිසා තරමක් කාර්යබහුලයි. ඒ වගේම දිව්‍යාදරී ටෙලි නාට්‍යයේ රූගතකිරීම් සමඟ තමයි මේ දිනවල කාලය ගත වෙන්නේ.


දිව්‍යාදරී ටෙලි නාට්‍යයේ ඔබේ චරිතය ගැන කතා කළොත්?


දිව්‍යාදරී ටෙලි නාට්‍යයේ  දුලීකා  කියන චරිතය  තමයි මම නිරූපණය කරන්නේ. දුලීකා කියන්නේ අපර්නාගේ යෙහෙළිය. ඒ වගේම අපර්නා, දුලීකා සහ මොරිස් කියන්නෙ පාසල් වියේ සිටම එකට සිටින හොඳම යෙහෙළියන්. දුලීකා කියන්නේ මවකගෙ චරිතයක්. උපේක්ෂා ස්වර්ණමාලි, ප්‍රදීප් ධර්මදාස, මොරින් චාරුණි කියන රංගන ශිල්පීන් ශිල්පිනියන් සමඟ රංගනයේ යෙදීමට තිබෙන නිසා මගේ චරිතයට උපරිම නිදහස සහ සාධාරණය ඉටු කරන්න හරිම පහසුයි කියලා මට හිතෙනවා.


තරුණ රංගන ශිල්පිනියක් වශයෙන් මවකගේ චරිතය භාර ගැනීමට අකැමැත්තක් හිතුණෙ නැද්ද?


මගෙ දියණිය ලැබෙන්නත්  කලින් සිටම තමයි මම  මවකගේ චරිතය රඟපෑවේ.  මගේ වයසත් සමඟ බැලුවොත් මට මවකගේ චරිතයක් කරන්න වුවමනා නැහැ. නමුත් මම මවකගේ චරිතය භාරගත්තේ අධ්‍යක්ෂවරුන් මාව විශ්වාස කරලා මේ කැපෑසිටි එකට යන්න පුළුවන් කියන විශ්වාසයෙන් මේ චරිතය මට ලබා දුන් නිසයි. සැබෑ ජීවිතයේදී මම හොඳට ඇඳලා, පැලඳලා ඉන්න තරුණියක් නිසා ටෙලි නාට්‍යයකට මගේ කොණ්ඩය සුදු කළා කියලා සහ මොන වයස් මට්ටමක අම්මා කෙනෙක්ගේ චරිතයක්ද මට කරන්න තියෙන්න කියන දේ මම එතරම් බලන කෙනෙක් නෙමෙයි. නමුත් දිව්‍යාදරී ටෙලි නාට්‍යයේදී යම් ගැටලුවක් වුණා. මොකද මගේ දියණියට ඉන්නෙත් තරුණ දියණියක් නිසා. නමුත් දැන් ප්‍රේක්ෂකයෝ වුණත් කැමැති වයසට ගිය අපේ නිවෙස්වල සිටින අම්මලා වගේ අය ටෙලි නාට්‍යවලින් දකින්න නෙවෙයි. ඔවුන්  වුණත් කැමැතියි ලස්සනට ඇඳලා  මේකප්් කරලා ඉන්න අම්මලාට.


තරුණ වියේදීම මවකගේ චරිතයට පණ පෙවීම නිසා දිගින් දිගටම මවකගේ චරිතවලට කොටු කරන බවක් ලංකාවේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ දක්නට ලැබෙනවා. මේ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?


අපි මවකගේ චරිතයට රඟපෑවොත් දිගින් දිගටම එම රාමුවට කොටු කරන ස්වභාවයක් ඇත්තටම අපේ රටේ තිබෙනවා. මම එයට හේතුව නම් හරියට දන්නෙ නැහැ. නමුත් අධ්‍යක්ෂවරුන්ට අපි ගැන විශ්වාසයක් නැතිකමද එහෙම නැත්නම් ප්‍රේක්ෂකයන් අපිව අම්මා කෙනෙක් ලෙසම දිගටම පිළි අරගෙන තිබෙනවාද කියන්නත් මම දන්නේ නැහැ. මම හිතන්නේ මේක ක්ෂේත්‍රයේ සිටින ඇතැම් අයගේ මානසික ප්‍රශ්නයක් කියලා.


දිව්‍යාදරී ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?


ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. දික්කසාදය, යෞවනය සහ ආදරය කියන හැමදේම සමඟ තමයි මේ කතාව ගලාගෙන යන්නේ. ආදරේ කියන දේට වයස් බේදයක් නැහැ කියලා පෙන්වන වෙනස් විධියේ කතාවක් නිසා මෙය මිනිසුන්ගේ කතාබහට ලක්වෙලා තිබෙනවා. ටෙලිනාට්‍යයේ රචකයා, අධ්‍යක්ෂවරයා සහ නිෂ්පාදකවරයා වගේම අපි හැමෝම ඉතාමත් කල්පනාවෙන් තමයි මෙම ටෙලි නාට්‍යය කරගෙන යා යුත්තේ. මොකද අපේ සමාජයට දෙන්න තිබෙන පණිවුඩය හරියටම කතාවෙන් දෙන්නට අවශ්‍යයි. ඒ දේ කරන්න පුළුවන් වුණොත් අපි දිනුම්.


ඔබගේ දියණිය සමඟ ගෙවන ජීවිතේ දැනෙන්නේ මොන වගේද?


දියණිය ටික ටික ලොකු වෙනවා. ඇයගේ හුරතල්කම් අෑත් වෙලා යනවා කියලා හිතෙන නිසා පොඩි ලෝබකමකුත් දැනෙනවා. ඒ ලෝබකමත් එක්කම හිතෙනවා, එයා ඉක්මනට ලොකු වෙනවා නම් හොඳයි කියලා. ඉස්සර මම ප්‍රසංගවලට ගිහින් ආවහම එයා මගේ ඇස් දෙක අරිනව නැඟිටින්න කියලා. නමුත් දැන් එහෙම නෙවෙයි. උදේට එයා මාව ඇහැරවලා  මාව ඉඹලා කියනවා, අම්මා තව චුට්ටක් ‍ෙදායියන්න. දැන්ද අම්මා ෂෝ එකට ගිහින් ආවෙ කියලා. හුරතල්කම් අඩුවෙලා යන හින්දා පුංචි දුකකුත් දැනෙනවා. නමුත් දුවත් සමඟ ගෙවන ජීවිතේ මම හරි සතුටින් තමයි ගත කරන්නේ.


අලුත් ටෙලි නාට්‍යවල තිර රචනා පිළිබඳ ඔබේ අදහස කුමක්ද?


ලංකාව වගේම ඉන්දියාවේ ගත්තත් බොහොම පොඩි කතා තේමාවක් අරගෙන තමයි නිර්මාණ සිදු කරන්නේ. නමුත් ඉන්දියාවේ ඒ මිනිස්සු ඒ දේ හරි විධියට පැටලුම් ලිහාගෙන හදාගන්න දන්නවා. නමුත් අපේ මිනිස්සු එක එක කාලෙට එක එක ට්‍රෙන්ඩ්වල හිර වෙනවා. මේ කාලේ ට්‍රෙන්ඩ් එක ලව් එකක්  කියලා හිතපු ගමන් හැමෝම ඒ වගේ කතා තමයි ලියන්නෙ. ඒ අවදානමක්  ගන්න බය හින්දද දන්නේ නැහැ. වෙනස් දෙයක් කරන්න බොහෝ අය උත්සාහ කරන්නේ නැහැ. මම නම් හිතන්නේ මේ දේ වෙනස් විය යුතුයි. දැන් මිනිස්සු හරිම අප්ඩේට්. එකම දේ බලන්න ප්‍රේක්ෂකයා කැමැති නැහැ. ඒ නිසා ඒකාකාරීත්වයෙන් මිදුණොත් හොඳයි කියලා තමයි මගේ අදහස.


නවක රංගන ශිල්පීන් වෙනුවෙන් ඔබට කියන්න දෙයක් තිබෙනවාද?


මට නම් හිතෙන්නේ නවක රංගන ශිල්පීන් ශිල්පිනියන්ගෙන් කිසිම සපෝර්ට් එකක් නැහැ කියලා. අපිට වඩා ප්‍රවීණ අය ගොඩක් ඉන්නවා. අපි ඒ අයත් එක්ක කතබහ කරනකොට උඹ බං කියලා කතා කරන මට්ටමකටත් එනවා. නමුත් අපේ හිතේ ප්‍රවීණයන් වෙනුවෙන් ගරුත්වයක් තිබෙනවා. ඒ ගරුත්වය දැන් නවකයන්ගෙ නැහැ. ඒ වගේම එයාලා  ස්ක්‍රිප්ට් එක කියවලා පැත්තකට වෙලා ෆෝන් එක ඔබ ඔබ ඉඳලා එකපාරටම රූපගත කිරීම්වලට එනවා. ඒ විධියට චරිතයකට ආරූඪ වෙන්න බැහැ. එයාලා කොයි  වෙලාවකවත් ප්‍රවීණයන්ගෙන් අහන්නේ නෑ අපි මේක කරන්නේ කොහොමද? මම මේක මෙහෙම කළොත් හොඳයි නේද කියලා. දිව්‍යාදරී ටෙලි නාට්‍යයේ වුණත් අපිට වඩා පසු පරම්පරාව අපෙන් ගන්න ඕන දේවල් ගන්නේ නැහැ කියලා තමයි මම හිතන්නේ. එයාලා ෆෝන් එක ඔබ ඔබ ඉඳලා එකපාරටම චරිතයට ආරූඪ වෙන්න ආවහම එයාලටවත් රඟපාන්න මූඩ් එකක් නැහැ. ඇතැම් අය රූපය නිසා ක්ෂේත්‍රයේ ඉස්සරහට යන අවස්ථා තිබෙනවා. නමුත් සැබෑම දක්ෂකමින් ඉදිරියට යන්නේ කොහොමද කියලා ඒ අයට අවබෝධයක් නැහැ. එක පාරට හතු පිපෙනවා වගේ නවක රංගන ශිල්පීන් ශිල්පිනියන් බොහෝමයක් ක්ෂේත්‍රයට එනවා නමුත් කාලයක් යද්දි ප්‍රේක්ෂකයන්ට එයාලගේ නමවත් මතක නැහැ.


අලුත් සිනමා නිර්මාණවලට ආරාධනා ලැබුණේ නැද්ද?


සිනමා නිර්මාණවලට මට ආරාධනා ලැබෙන්නේ හරිම අඩුවෙන්. පසුගිය දිනවල කරපු සිනමා නිර්මාණයකුත් කල්ගියා. නිතරම අපිව ටෙලි නාට්‍යවලින් දකින නිසා සිනමා නිර්මාණවලින් අපිව දකින්න ඕන නැහැ කියලා අධ්‍යක්ෂවරුන්ට හිතෙනවාද දන්නේ නැහැ.


ඉදිරි වැඩකටයුතු ගැනත් මතක් කරමු?


මගේ නර්තන කණ්ඩායමේ වැඩ සහ ටෙලි නාට්‍යවල රූගත කිරීම් සමඟ තමයි ඉදිරි වැඩකටයුතු යෙදිලා තිබෙන්නේ. ඒ වගේම මගේ දියණියගේ වැඩවලට මුල් තැන දීලා තමයි දැන් හැමදේම කරන්නේ. එයා දැන් පෙර පාසල් යනවා. එයාගේ  අනාගතේ ගැන සැලසුම් හදන එක තමයි මට දැන් තිබෙන ලොකුම බලාපොරොත්තුව.


චමෝදි පෙරේරා





Previous Post Next Post