ආදරවන්තයෙක් වෙලත් තියෙනවා නැති වෙලත් තියෙනවා-චතුර රාජපක්ෂ



චතුර රාජපක්ෂ කියන්නෙ නව පරපුරේ දක්ෂතා සපිරි රංගන ශිල්පියෙක් බව මේ වෙද්දි ඔහු කළ චරිතයන් තුළින් මනාවට පෙන්නුම් කරන්නට සමත් වූ රංගන ශිල්පියෙක්. අද මේ කතාබහ චතුර රාජපක්ෂ සමඟ.


 මේ දවස්වල දකින්න ලැබෙන සහ ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවාද?


හිරු නාලිකාවේ රැල්ල වෙරළට ආදරෙයි නාට්‍යය විකාශය වෙනවා. ස්වර්ණවාහිනීයේ විකාශය වන මැස්සා නාට්‍යයේ රූපගත කිරීම් අවසන් කළා. ස්වාධීන රූපවාහිනීයේ සෙනසුරාදා රෑ 10ට විකාශය වෙන්න නියමිත “ප්ලීස් ෂෙයාර් දිස්“ කියන මිනි සීරියස් එකටත් මම රංගනයෙන් දායක වුණා. ඒ එක්කම සික්ස් පැක් කියන අලුත්ම නාට්‍යයට කතා කරා. එහි වැඩකටයුතු මේ ටිකේ කරගෙන යනවා.


රැල්ල වෙරළට ආදරෙයි සහ මැස්සා හි චරිත දෙකට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ප්‍රතිචාර නම් ගොඩක් තියෙනවා. ඒ බව දැනෙනවා බොහෝ ප්‍රේක්ෂකයන් ඒ ඒ චරිත වල නම්වලින්ම කතා කරද්දී. රැල්ල වෙරලට ආදරෙයි හි ජූඩ් සහ මැස්සා හි දිගා කියන්නෙම මේ වෙද්දි ප්‍රේක්ෂකයන් අතරට ගිය චරිත දෙකක්. ජූඩ් කොහොමද සුදු මැණිකේ බඳිනවද කියලා එහෙම අහනවා. ඉතින් ඒ චරිත වල නමින්ම රසිකයන් කතා කරද්දී ගොඩක් සතුටුයි.


 


අපි කතා කරොත් "ප්ලීස් ෂෙයා දිස්" නාට්‍යය ගැන?


‍මේක එපිසෝඩ් හතක මිනි සීරියස් එකක්. ස්වාධීන රූපවාහිනීයේ සෙනසුරාදා රෑ 10ට විකාශය වෙනවා. ඒ එක්කම යූටියුබ් අවකාශයෙන් දැක ගන්න පුළුවන් විදියේ වෙනස්ම වැඩක්. මේක අධ්‍යක්ෂණය කරන්නෙ ධනුශ්ක රේමන්ඩ්. පිටපත සුපුන් රත්නායකගේ. මාත් එක්ක ශ්‍යාම් ප්‍රනාන්දු, පූජන දංදෙණිය, තරින්දි ප්‍රානාන්දු, චානු දිසානායක මෙහි රඟපානවා.


 


චතුර කොච්චර කාලයක් වෙනවද මේ ක්ෂේත්‍රයට ඇවිත්?


මෙහෙමයි මම උසස් පෙළින් පස්සෙ මහේන්ද්‍ර අයියාගෙ ක්ලාස් එකේ හිටියේ. රඟපාන්න වැඩිය ආවේ නැහැ වෙළෙඳ දැන්වීම් කිහිපයක් කරමින් රංගනය ගැන හදාරමින් තමයි වැඩි කාලයක් හිටියේ. දැන් තමයි විවිධ චරිත රඟපාන්නේ සහ රංගනයට ඇරයුම් ලැබෙන්නෙ. රඟපාන්න පටන් අරන් නම් දැන් අවුරුදු හතරක් පහක් වෙනවා.


 

කවදා හරි නළුවෙක් වෙන්නමද සිහින මැව්වෙ?


ඔව්, මට පොඩිකාලේ ඉඳන්ම හීනයක් තිබ්බා නළුවෙක් වෙන්න ඕනේ කියන එක. ඒ ඔස්සෙ මම හොයන් ආවා. මම මහේන්ද්‍ර පෙරේරා අයියා ගැන මම අහල තිබ්බා. මහේන්ද්‍ර අයියාගෙන් බිහිවුණ නළුවන් ගැන මම අහල තිබුණා. රොෂාන් රවීන්ද්‍ර අයියා දසුන් පතිරණ වගේ මහේන්ද්‍ර අයියාගෙන් බිහිවුණ නළුවන් ගැන අහල තිබුණා. ඒ අයට මම ආස කළා. ඒ නිසා ඒ ඔස්සෙ මමත් මහේන්ද්‍ර අයියාගෙ ඇකඩමියට ගියා.


අවුරුදු කීයක් හිටිය ද?


අවුරුදු 5ක් විතර ඉගෙන ගත්ත. අදටත් ඉඩක් ලැබුණු විගස යනවා.


 


මෙතෙක් ලැබුණු ආරාධනා ගැන තෘප්තිමත් ද?


ඔව් තෘප්තිමත්. හැබැයි මගේ ආසාව තියෙන්නේ චරිතාංග නළුවෙක් වෙන්න. මට මේ වෙද්දිත් එවැනි චරිත කිහිපයක් ලැබුණා. රාවණ එකේ මම කළා ධූමරක්ක කියන රාවණගේ ලොකු මාමගෙ චරිතය. ඒ එක්කම රැල්ල වෙරළට ආදරෙයි එකේ විලන් චරිතය ලැබුණේ. ඒ නිසා දැනට මම ලැබුණු චරිත ගැන සතුටුයි. නමුත් මම හිතනවා තව චරිත මට කරන්න පුළුවන් කියලා.


 

සිනමාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණද?


සිනමාවට වැඩක් කරන්න හිටිය අතුල ජයසිංහ එක්ක. නමුත් කොරෝනා නිසා ඒක කල් ගියා.


 

චතුර රාජපක්ෂව කොතනටද ඔබ අරන් යන්නෙ?


ජීවිත කාලය පුරා රඟපානව කියන තැන මම ඉන්නෙ. ඒ ගමන තුළ මම කැමතියි මිනිස්සුන්ගෙ හදවතේ තැන්පත් වෙන නළුවෙක් වෙන්න.


 


කලාවම පමණක් කරලා ජීවත් වෙන්න පුළුවන් ද?


ලංකාව ඇතුළේ වෘත්තීය මට්ටමින් නළුවෙක් වෙලා ජීවත් වෙන්න අමාරුයි. අපේ රටේත් ඉන්ඩස්ට්‍රි එකක් තිබ්බා. නමුත් අද වෙද්දි ඒක නැතිවෙමින් පවතින්නේ. ඒක තමයි ඕකට ප්‍රශ්නය. නැත්නම් අපේ රටේත් කලාවට හරි කර්මාන්තයක් තියෙනවා නම් වෘත්තීය වශයෙන් නළුවෙක් වෙන එක කිසි ප්‍රශ්නයක් නැහැ.


 

චතුර චරිත තුළ නම් හිතුවක්කාර දඟ චරිතයක්. සැබෑ ජීවිතේ කොහොම කෙනෙක්ද?


මම හිනාවෙලා ඉන්න කැමති කොල්ලෙක් සහ ඔය කියන දඟකාර නපුරුකමත් තියෙනවා. යාලුවො එක්ක විනෝදයෙන් සිංදු කියලා සෙල්ලම් කරලා ඉන්න කැමති කොල්ලෙක්. නිදහසේ ජීවත් වෙන්න කැමති නිදහස් සිතුම් පැතුම් තියෙන කෙනෙක් මම.


 

කොහොමද ගෙදරින් ලැබෙන සහයෝගය


ලොකු සහයෝගක් ලැබෙනවා. ඇත්තටම මගේ අම්මා තාත්තා ගොඩක් සතුටු වෙනවා මම ඉන්න තැන ගැන. ඒ අය දන්නව මගේ හීනේ තිබ්බෙ රංගනය තුළ කියලා. ඒ අය උපරිම මට සහයෝගය දුන්න. මගෙ අයියාගෙනුත් සහාය ලැබුණා. ජොබ් එකක් නැතුව මේ ක්ෂේත්‍රයට එන්න අවුරුදු 10ක් විතර කට්ටක් කෑවා. ඒ කාලේ ඉඳලම මාව දරාගෙන හිටිය. මගේ හීනෙට යන්න උදව් කළා. එදා අම්මා තාත්තා මාව දරා ගත්ත නිසා යි අද මෙහෙම නළුවෙක් වෙලා ඉන්නෙ.


 


ජීවිතේ ම කලාවට කැප කළා කිව්වාට ආදරේටත් ඉඩක් ඇතිනේ, ඔබ ආදරවන්තයෙක් ද?


ආදරවන්තයෙක් වෙලත් තියෙනවා. නැතිවෙලත් තියෙනවා. අපි බලමු ඉස්සරහට ඉතින්.


 

අනාගත බලාපොරොත්තු අතර තියෙන්නේ මොනවාද?


කවදාහරි හොඳම නළුවා සම්මානය ගන්න ආසාවක් තියෙනවා. මම හරි ආසයි ප්‍රේක්ෂක හදවතේ ඉන්න කකුල් දෙකම පොළොවේ තියලා ජීවත් වෙන නළුවෙක් වෙන්න. ඒ එක්කම මම බලාපොරොත්තු වෙනවා මම කරන චරිතවලින් සමාජයට පණිවිඩයක් දෙන්න සහ මේ කලා ක්ෂේත්‍රයට දෙයක් කරන්න.





Previous Post Next Post