මට බැනුම් අහන්න වෙලා තියෙන්නේ හොඳින් රඟපාන නිසා- ධනංජි ආලෝකා





සිරස ෆිල්ම්ස්ටාර් හරහා රංගන කලාවේ ඇයගේ ගමන ආරම්භ වූවාය. එදා සිට අද දක්වාම ඇය දායක වූ සෑම නිර්මාණයක් තුළින්ම ඉහළ ජනප්‍රියත්වයක්ද මේ වන විට හිමිකරගෙන ඇත. එය එදා මෙන්ම අදටත් එක ලෙස රඳවා පවත්වාගෙන යාමට තරම් ඇය සමත්ය. රංගන කලා ලොව මැද මාවතේ ගමනක නිරත වන ඇය මේ දිනවලද අපේ ආලින්දයට ගොඩවන්නීය. ඒ සතියේ දින පහේම ස්වර්ණවාහිනී රූපවාහිනි නාලිකාවෙන් රාත්‍රී 7.30 ට විකාශය වන Key (කී) ටෙලිනාට්‍යයේ රයන්ගේ බිරිඳ ලෙස බොරුවට රංගනයක නිරත වන සමදරා ලෙසයි. මෙවර අපේ කතාබහ ජනප්‍රියතම යොවුන් රංගන ශිල්පිනී ආලෝකා ධනංජි සමඟයි.


 ක්ෂේත්‍රයට ඇවිත් දැන් කොච්චර කල් වෙනවද?


අවුරුදු හතක් (07) ක් විතර වෙනවා.


දායක වූ නිර්මාණ ප්‍රමාණය කියන්න පුළුවන්ද?


තිස් පහක් (35). ඉන් වැඩි හරියක් ටෙලිනාට්‍ය. චිත්‍රපට කිහිපයකුත් ඒවා අතර තියෙනවා. ඒ සනත් ගුණතිලක මහතාගේ ගැහැනු, සනත් අබේසේකර මහතාගේ ගුත්තිලය ආදිය.


ප්‍රථම රංගනය ගැන මතක් කළොත්.


හිරු රූපවාහිනියෙන් විකාශය වුණු අහස් මාළිගා ටෙලි නාට්‍යය.


ආලෝකා වේදිකා නාට්‍ය වලටත් දායක වුණාද?


ඔව් අයියේ, මෑතකදී මාතර, ඒකාධිපති වේදිකා නාට්‍යවල රඟපෑවා.


රඟපෑ නිර්මාණවල ඔබේ දිවියේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වූ නිර්මාණ මොනවාද?


සිරස රූපවාහිනී සේවයෙන් (සිරස TV)) විකාශය වුණු සක්කාරං, අඩෝ, ගරුඬ මුහුර්තය, මෑත කාලයේ ස්වාධීන රූපවාහිනි සේවය (ITN) තුළින් විකාශය වුණු අඳුන්ගිර, මානික්කාවත ටෙලි නාට්‍යයන්ද ඒවා අතර වෙනවා.


ම්ඥර (කී) ටෙලි නාට්‍යයෙන් මේ දවස්වල ඔබ අප අතරට එනවා?


ඔව් අයියේ මේ දවස්වල ඒ ටෙලි නාට්‍යයෙන් තමා මං ප්‍රේක්ෂකයින් හමුවන්නේ.


එහි ඔබ රඟපාන චරිතය ගැන මතක් කළොත්.


ජීවත් වෙන්න සල්ලි හම්බකරන්න එක එක විදිහෙ වැඩ කරන චරිතයක්. රයන්ගේ වයිෆ් (බිරිඳ) ලෙස සල්ලි වලට බොරුවට තමා මම එහි රඟපාන්නේ. සමදරා තමා ඒ චරිතයේ නම. කොටට අඳීන සෙල්ලක්කාර චරිතයක්.


මේ ටෙලි නාට්‍යයේ රඟපාන්න ඔබට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?


එහි සහය අධ්‍යක්ෂක (Assistant Director)  නිරුක්ෂාන් අයියා තමා මට ඒ සඳහා කතා කරන්නෙ.


ඒ චරිතයට මේ දවස්වල ලැබෙන ප්‍රතිචාර කොහොමද?


කොතනකට ගියත් මට ඒ සඳහා ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් අය  Key  (කී) ටෙලිනාට්‍යයේ අහවලා නේද කියලා අහනවා. ගොඩක් ඒ අය මේ චරිතයට බනිනවා. ඒ බැනීම තුළින්ම මට තේරුම් යන දේ තමා මම ඒ චරිතය හොඳට කළා කියන එක.


මෙහි රඟපෑමේදී ඔබට අමතක නොවන දේවල් එහෙමත් වෙලා තියෙනවද?


රඟපෑ‍මේදී සිදුවන හැම දෙයක්ම ඒ වගේ තමා අයියේ. අපි උදේ පාන්දර ඉඳලා රෑ ඇතැම් විට පසුවදා එළිවෙනකල් ෂූටින්. කොළඹ, ඒ අවටත් විශේෂයෙන්ම කොළඹින් පිටත අනුරාධපුර, පොළොන්නරුව, ඇළහැර යන ප්‍රදේශවලත් කරන වැඩ හැමදෙයක්ම වගේ ජීවිතේට හොඳ අත්දැකීම්. අමතක වෙන්නෙ නෑ ඒ දේවල් සියල්ලම වගේ.


 


ඉදිරියේදී අපිට ඔබව දකින්න ලැබෙන්නේ?


අප්‍රේල් මාසයේදී විතර තවත් අලුත් ටෙලි නාට්‍යයකින් මාව දැකගන්න පුළුවන් වේවි. ඒක දෙරණ නාලිකාවෙන් තමයි විකාශය වෙන්න නියමිතව තිබෙන්නේ.


ආලෝකා රඟපාන්න ආසාවෙන් ඉන්න චරිත තියෙනවද?


ගොඩක් නිර්මාණවල පෙම්වතියක් ලෙස රඟපෑවත් මම කැමති ඊට වඩා හාත්පසින්ම වෙනස් චරිත කරන්න. විශේෂයෙන් අන්ධ අයකුගේ චරිතයක් කරන්න කැමැත්තෙන් ඉන්නවා.


ඔබේ වයස කිව්වොත්.


අවුරුදු විසි පහයි.(25)


ආලෝකා දැන් විවාහකයි නේද? මහත්තයා ගැනත් කියමු.


දැන් එන්ගේජ් (Engaged) වෙලා ඉන්නෙ. මේ එන මැයි මාසෙ 06 වෙනිදට හරියටම අවුරුද්දයි. ඔහු නමින් නාමල් සඳුසේන.


ඔහු කලාවට සම්බන්ධයි නේද?


ඔව්. 2019 දෙරණ සිටි ඔෆ් ඩාන්ස් සෝලෝ විනර්. (Derana City of Dance Solo Winner)


වෙඩින්ග් (එඥඤඤඪදඨ) එක ගන්නෙ කවද්ද?


ඒකට නම් තව කල් තියෙනවා. තව පොඩි කාලයක් යාවි.


අවසාන වශයෙන් ආලෝකාට කියන්න තියෙන්නෙ මොනවාද?


කලාවේ තව තවත් ඉදිරියටම ගිහිල්ලා ඉදිරියේදී ජනප්‍රිය නොව දක්ෂතම රංගන ශිල්පිනිය ලෙස සම්මානය ලබාගන්න තමා මම බලාපොරොත්තු වෙන්නේ. පසුගියදා එනම්, පෙබරවාරි 08 වෙනිදා මගේ තාත්තා අපිව දාලා ගියා. ඒ කනගාටුවත් දුකත් හිතේ දරාගෙන තමා මම වැඩ කරගෙන යන්නේ. මොකද මගේ අම්මා, තාත්තා නිසා තමා අද මම මේ තැන ඉන්නෙ. ඔවුන්ගෙන් විශාල සහයෝගයක් ලැබුණා මගේ මේ ගමනට. ඉතින් ඒ සිද්ධිය ගැන දුක්වෙවී පසුතැවෙමින් ඉන්නෙ නැතිව ඒ සියල්ල මගේ මේ ගමනට තව තවත් ශක්තියක් කරගනිමින් මම මගේ අරමුණ කරා යනවා.


 




Previous Post Next Post