මම හැමදාමත් ඒ ආදරේට ආදරේ කරන කෙනෙක්-තාරුකා වන්නිආරච්චි




තාරුකා වන්නිආරච්චි කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. විවාහයෙන් පස්සේ පුංචි පුතු ලැබීමත් එක්ක කලා ලොවේ නිර්මාණවලින් මදකට ඈත් වුණු තාරුකා නැවත ප්‍රේක්ෂකයින් අතරට එනවා. ඒ මේ දිනවල හිරු නාලිකාවේ විකාශය වන “අකුරට යන වෙලාවේ“ නාට්‍යය තුළින්. ඒ ගැන වගේම කලා ලොවේ ඉදිරි කටයුතු ගැන අපි තාරුකා සමඟ කතා කළා.


තාරුකා මේ දවස්වල වැඩකටයුතු කොහොමද?


මේ දවස්වල “අකුරට යන වෙලාවේ“ නාට්‍යයේ රූපගත කිරීම් වලට සහභාගි වෙනවා. ඊට අමතරව පුංචි පුතා එක්ක කාලය ගත කරනවා.


අපි අකුරට යන වෙලාවේ හි චරිතය ගැන කතා කරොත්,


මේ නාට්‍යය නිර්මාණය වෙන්නෙ අඹ යාළුවො කතාව තේමා කරගනිමින් එය අධ්‍යක්ෂණය කරපු සුදත් දේවප්‍රිය මහතා විසින්ම කරන මෙගා නාට්‍යයක්. මට එහි ලැබිලා තියෙන්නේ අනුලා කරුණාතිලක මහත්මිය එදා අඹ යාළුවො නාට්‍යයේ කරපු අම්මගෙ චරිතය. අඹ යාළුවො කතාවට තව දේවල් එකතු වෙලා තියෙනවා මෙගා නාට්‍යයක් නිසා.


තාරුකා රඟපෑමෙන් ඈත්වෙලා ඉඳලා ආයේ රංගනයට එන්නෙ මේ චරිතයෙන්නේ. කාලෙකින් රඟපාද්දි මොකද හිතෙන්නේ?


මුලදී නම් හිතුණා දිගටම සූටින් යන්න ගියාම එපා වෙයිද කියලා. හැබැයි පටන් ගත්තට පස්සෙ හරිම ආසාවෙන් අපේ කෲ එකත් එක්ක වැඩ කරගෙන යනවා. කාලෙකින් මට ලැබුණු හොඳ චරිතයක්.


කාලෙකට පස්සෙ පුංචි තිරයට එද්දි අම්මා කෙනෙක්ගෙ චරිතයක් ලැබුණු එක ගැන මොකද හිතුණේ


ඒක මට ප්‍රශ්නයක් වුණේ නැහැ. අම්මගෙ චරිතය මම මීට කලිනුත් කරලා තියෙනවා. හැබැයි දැන් පොඩි වෙනසක් තියෙනවා. ඒ තමයි දැන් මම සැබෑ ජීවිතෙත් අම්මා කෙනෙක් නිසා දෙබස් කියද්දි දැනෙනවා වැඩියි.


කාලෙකින් රඟපාන චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. පහුගිය ටිකේ බොහෝදෙනෙක් ඇහුවා දැන් වැඩ කරන්නෙ නැද්ද? රඟපෑමට සමුදුන්නද කියලා. ඒ අය දැන් ප්‍රතිචාර දක්වනවා නැවත නාට්‍යය තුළින් මාව දැකීමත් එක්ක. ඒ ගැන මට ගොඩක් සතුටුයි.


සිනමාවට සම්බන්ධ වුණේ නැද්ද?


සිනමා නිර්මාණ දෙකකට ඇරයුම් ලැබිලා භාර අරගෙන තියෙනවා. නමුත් තවම විවිධ හේතු නිසා රූපගත කිරීම් ආරම්භ වුණේ නැහැ. ඉදිරියට ඒ දේවල් පටන් ගනීවි. එතකම් මේ නාට්‍යයේ විතරයි වැඩ කරන්නෙ.


දැන් කොහොමද පුංචි පුතා?


එයාට මේ ජූලි මාසේ වෙද්දි අවුරුදු තුනක් සම්පූර්ණ වෙනවා. හරිම හුරතල් දඟකාර පුතෙක් මට ඉන්නෙ. එයාගෙ දඟ වැඩ දිහා හරිම ආසාවෙන් බලන් ඉන්නවා.


සූටින් යන්න කාලය වෙන් කර ගන්නෙ?


මගේ මහත්තයත් ව්‍යාපාර කටයුතු නිසා කාර්‍යබහුල ජීවිතයක් ගෙවන්නෙ. සූටින් තියෙන්නේ මතුගම නිසා උදේ ගියාම රෑ වෙලා තමයි එන්නෙ. ඒ නිසා මම සූටින් යද්දී පුතාව බලාගන්නෙ මගේ අම්මා. ඒ එක්කම ගෙදර අපේ උදව්වට ඇන්ටි කෙනෙක් ඉන්නවා.


මෙතනින් පස්සෙ දිගටම තාරුකා රඟපානවද?


මට ගොඩක් ටෙලිනාට්‍ය වලට කතා කළා. නමුත් මේ නාට්‍යය මේ කාලේ විකාශය වන එකක් නිසා මේකට ප්‍රමුඛත්වය දුන්නා. ඒ නිසා සමහර නිර්මාණ මඟ හැරුණා. හැබැයි ඉස්සරහට හොඳ නිර්මාණ වලට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.


යම්තාක් දුරකට හෝ කලාවෙන් ඈත්ව ඉන්න වීම ගැන මොකද හිතෙන්නෙ?


පුතා නිසා ලැබුණු ජීවිතේ අලුත්ම අත්දැකීමක්. ඒ නිසා පුතාගෙ ලෝකය තුළ තමයි මම හිටියේ. රඟපාන්න ඕනේ කියන එක චුට්ටක් ඔලුවෙන් ගියා. මේ නාට්‍යයට කතා කරාම අඹ යාලුවො කතා තේමාවම නිසා ආස හිතුණා. ඒ නිසා භාර ගත්තා. ඒ හැර ගෙදර ඉන්න කාලෙදි පුතා එක්කම හිටිය මිසක් ඉක්මනින් නැවත වැඩ කරන්න එන්න ඕනේ කියලා හිතුණේ නැහැ. හැබැයි කවදාවත් කලාවෙන් ඈත්වෙන්නෙ නැහැ හොඳ නිර්මාණයක් ලැබුණොත් කරන්න ඕනේ කියන එක හැමදාම ඔලුවෙ තිබුණා.


තාරුකා රඟපෑවේ නැති කාලය තුළ ගොඩක් අලුත් මුහුණු මේ ක්ෂේත්‍රයට ඇවිත් තියෙනවා, ඒ ගැන මොකද හිතෙන්නෙ?


මම නොහිටිය කාලෙට ගොඩක් අය ඇවිත් තියෙනවා. ඒක ඇත්තටම ගොඩක් හොඳයි. ඒ වගේම ඒ අයගෙ දක්ෂතා මම දකිනවා. හරි විදියට මේන්ටේන් කරගෙන ගියොත් හොඳ අනාගතයක් තියෙන අලුත් පිරිසක් ඉන්නවා. ඒ හැර මම හිතන්නෙ නැහැ ඒ අය මට ප්‍රශ්නයක් වෙයි කියලා. හැමදාම මේ ක්ෂේත්‍රයේ ඉන්න ඕනේ කියන අදහසක මම නැහැ. මට ලැබෙන්න ඕනේ ගොඩක් දේවල් මේ වෙද්දිත් ලැබිලා තියෙනවා.


එදා ඉඳන් ලැබෙන ප්‍රේක්ෂක ආදරේ ගැන මොකද හිතෙන්නේ?


ඇත්තටම ඒ අය ගැන කියන්නම ඕනේ. දැන් මම නැවත වැඩ කරනවා කියලා දැනගත්තම සමහර අය ලොකේෂන් එකට ඇවිත් මාව හම්බෙලා කතා කරලා යනවා. ඒ සමහර අය මම කරන චරිතවලට වඩා මම සැබෑ ජිවිතේ ජිවත් වෙන විදියට අඳින පලඳින විදියට තමයි ආස කරන්නේ. ඒක මම දකින්නේ භාග්‍යයක් විදියට. මමත් හැමදාමත් ප්‍රේක්ෂක ආදරේට ආදරේ කරන කෙනෙක්.


ඒ එන අය කියනවා නේද එන්න එන්නම තාරුකා ලස්සන වෙනවා කියලා, මොකක් ද රහස


ඇත්තෙන්ම ඔව් එහෙමත් කියනවා.


මොකක් ද ඒ රහස


අනේ රහසක් නම් නැහැ. සමහරවිට මම ඉස්සර එක දිගටම වැඩ කරන කාලේ මම මගේ ගැනවත් හිතන්න වෙලාවක් තිබ්බේ නැහැ. දැන් එහෙම නැහැ. මම ආහාර ගත්තත් සෞඛ්‍ය ගැන හිතනවා. ඒ වගේම ඉස්සරට වඩා මම දැන් නිදහසේ ජිවත් වෙනවා. මානසික සුවය ගොඩක් වටිනවනේ. ඒ දේ මගේ මුහුණින් පවා පෙනෙන නිසා මාව ලස්සනට පේනවා ඇති.





Previous Post Next Post