මම තාමත් තනිකඩයි-මනෝජ් දේවගේ



සූර්ය කිරණින් විකසිත, සරුසාර ගොයමින් පෝෂිත කෘෂිකාර්මික ඉතිහාසයක හිමිකරුවන් වූ අප අද පිටරට දේ අතට එනතුරු ඔහේ බලා සිටින ජාතියක් බවට පත්වී ඇත. නැවතත් ඒ ඉතිහාසය ගොඩනඟන්නට වෙර දරන මිගාර අපට හමුවන්නේ සූර්ය වංශය ටෙලි නිර්මාණයේය. ඔහු මහසෙන් ගති ඇති තරුණයෙකි. අද අපේ කතාබහට එක්වන්නේ මිගාරට පණ පොවන මනෝජ් දේවගේයි.


කල්පන රට අගතියට යවද්දි මිගාර රට ගොඩනඟන්නයි උත්සාහය. නාළිකා දෙකක, අන්ත දෙකක ඔබ ඉන්නෙ. කොහොමද ඔබට මේ වෙනස දැනෙන්නෙ?


ඇත්තටම සංගීතේ කල්පනයි, සූර්ය වංශයේ මිගාරයි කියන්නෙ අහසට පොළොව වගේ චරිත දෙකක්. කල්පන දේශපාලන බලපුළුවන්කාරකමින් ඔළුව උදුම්මගෙන වැරදි දේ කළාට, මිගාර තමන්ගෙ බලාපොරොත්තු හීන පවා ගම රට වෙනුවෙන් පරිත්‍යාග කරන තරුණයෙක්. වෙනස් අන්ත දෙකක්. කල්පනට බණින ප්‍රේක්ෂකයොම මිගාර ආදරෙන් වැලඳ ගනීවි කියල හිතෙනව. මිගාරව තාම ප්‍රේක්ෂකයන්ට දැනෙන්න පටන් ගත්තෙ නෑ. මං හිතනව ඉක්මනින්ම මිගාරට හැමෝම ආදරේ කරන්න පටන් ගනීවි කියල. ඒ වගේම තාරුණ්‍යය මිගාරව ආදර්ශයට ගනීවි කියලත්. ඒක එහෙම වෙනව නම් ඒක තමයි මට ලැබෙන හොඳම සම්මානය.


තාරුණ්‍යයට ආදර්ශ සපයන මිගාර කියන්නෙ මොන වගේ කෙනෙක්ද?


ගමක හැදිල වැඩිලා, කැම්පස් ගිහින්, ඒ ජීවිතෙත් සාර්ථකව නිමා කරල, ගමට ඇවිත්, ටික දවසක් ගමේ ඉඳල, රට ගිහින් රස්සාවක් කරල කීයක් හරි ඉතිරි කරන්, ජීවිතේ ජයගන්න බලාපොරොත්තුවෙන් ඉන්න තරුණයෙක්. මුදියන්සේ කෙනෙක් වුණත් හොඳ ගොවියෙක් වුණු තම පියාගේ කීමවත් නාහ රට යන්න සිහින මැව්ව මිගාර යම්කිසි බලවේගයක් නිසා ගමට වෙන්න යන වින්නැහිය දැකලා, ඒකෙන් ගම බේරගෙන කෘෂිකර්මාන්තයෙන් ජීවිතය ජයගන්න ආදර්ශවත් තරුණයෙක්.


 

ප්‍රේමවන්තයගෙ චරිතය අතහැරල ඇයි ඔබ මේ වගේ චරිතෙකට කැමති වුණේ?


මේ කතාවට මාව තෝරගත්ත එකට වගේම මේ වගේ කතා තේමාවක් තෝරගත්තට සූර්ය වංශය අධ්‍යක්ෂ සුධාර ගීගනගේට වගේම සිරස නාළිකාවටත් මම ගොඩක්ම ස්තුතිවන්ත වෙනව. ඇත්තටම මේක කතා කළ යුතුම කාලීන මාතෘකාවක්. අතීතයේ අපි පිටරටවලින් යැපුනෙ නෑ. අපේ නිෂ්පාදන අතිරික්තය පිටරට යැව්ව. මිගාරගෙ චරිතයෙන් පෙන්වන්න උත්සාහ කරන්නෙ මේ රට සහලින් ස්වයංපෝෂිත කරන්න වෙහෙසුණු මහසෙන් රජුගෙ ගති පැවැතුම්. මේ රටේම සම්පත්වලින්, ශ්‍රමයෙන් ප්‍රයෝජනය අරන් යළිත් මේ රට ගොඩනඟන්න එහෙම නැත්නම් ස්වයංපෝෂිත කරන්න ඕන කියන එක. අනිත් හැම වැඩේටම වඩා සුධාර මේ වැඩේට මුල් තැන දීල හරිම ඉවසීමෙන්, අපිව හොඳින් තේරුම් අරන්, ඔහුට අවශ්‍ය විදිහට අපිව හසුරුවල අපෙන් ගතයුතු උපරිමය ගත්ත කියලයි මට හිතෙන්නෙ. ඒ අතින් ඔහු දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම මේකෙ තිර රචනය ආසිරි අල්ලගේගෙ. ඔහුගෙ තිරපිටපත නිසා තමයි මේ වගේ ලස්සන නිර්මාණයක් බිහි වුණේ.


 


ඒ කියන්නෙ සූර්ය වංශය හොඳ පණිවුඩයක් දෙන්න උත්සාහ කරන නිර්මාණයක්?


හරියටම හරි. ඇත්තම කිව්වොත් අතීතයේ මේ මහ පොළොවෙම හදාගත්ත දෙයින් තමා යැපුණෙ. එදා මඬ සෝදාගත් කල රජකමට වුවත් සුදුසු ගොවියාට අද හිමි තැන ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. අපි නැවතත් ඒ තැනට එන්න ඕන. ඒකට මහා ලොකු දේවල් කරන්න ඕනේ නෑ. පිටරටවලින් පොහොර ඕන් නෑ. අපේම දේවල්වලින් අපටම පොහොර හදාගෙන, පුංචි ඉඩක වුණත් එළවළුවක්, පලතුරක්, පලාවක් වවාගන්න පුළුවන්. කෘෂිකර්ම අමාත්‍යාංශයේ අනුග්‍රහයත් ඇතුව අන්න ඒ සංකල්පය තමයි අපි මේ හරහා දෙන්න උත්සාහ කරන්නේ. මිගාරගෙ ඔළුවෙ තියෙන්නෙත් තමන් උගත් දෙයින් නවීන ක්‍රම හඳුන්වල දීල ගමේ නිෂ්පාදනවලින්ම ගොවියා ස්වයංපෝෂිත කරලා ගමේ ප්‍රොඩක්ට් පිටට විකුණන තැනට පත්කරන එක.


 

කල්පන වගේම මිගාරත් දෙසිතක් අතර අතරමං වෙන තරුණයො දෙන්නෙක්. මනෝජ්ගෙ ආදර කතාව මොන වගේ එකක් වෙයිද?


මම තාමත් තනිකඩයි කිවුවනම් හරි. ෆීල්ඩ් එකේ වැඩත් එක්ක තාම එහෙම සම්බන්ධයක් පවත්වන්න අමාරුයි මට. ආදර අත්දැකීම් තිබුණා. යම් යම් නොගැළපීම් නිසා එයාලගෙන් ඈත්වෙන්න වුණා. ඒත් කිසිම අහිතක් නැතුව අදටත් මං ඔවුන්ට රෙස්පෙක්ට් කරනවා.





Previous Post Next Post