මම තරුවක් වෙන්න ප්ලෑන් කරපු කෙනෙක් නෙවෙයි-උදාර රාජපක්ෂ




සමහර තරු පායන්නෙ හරියට අනාගතය ගැන අනාවැකි පෙන්වමින් පායන වල්ගා තරු වගෙයි. කලා ලෝකයට රිදී තිරයෙන් පිවිසෙන ඔහුත් එවැන්නෙක්. සූරයා වීරයා චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව හොබවන ඔහු උදාර රාජපක්ෂයි.


සූරයා වීරයා චිත්‍රපටයේ ඔබගෙ භූමිකාව කෙබදුද


සූරයා වීරයා චිත්‍රපටය තරමක් වෙනස් චිත්‍රපටයක්. එහි ප්‍රධාන චරිතය වන රවීගෙ චරිතය මං රඟ දක්වනවා. රවී කියන්නෙ නූතන තාරුණ්‍ය නියෝජනය කරන්නෙක්. හදිස්සියේම රවී නොදැනුවත්ව ඔහුගෙ කාර් එකට ගොඩවන විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් නිසා ඔහුගෙ ජීවිතය උඩුයටිකුරු වන ආකාරය එයින් පෙන්නුම් කරනවා. මෙම චිත්‍රපටයේ පදනම ගොඩනැඟෙන්නෙත් එතැනිනුයි.


ඔබ කලාවට සම්බන්ධ වෙන්නෙ කොහොමද


මම කලාවට පිවිසෙන්නෙ රූපවාහිනි වෙළඳ දැන්වීම් නිරූපණ ශිල්පියෙකු ලෙසයි. ඒ අතරතුර ගොඩක් ජනප්‍රිය මියුසික් වීඩියො කිහිපයකට සම්බන්ධ වීමටත් අවස්ථාව ලැබුණා. මීට අමතරව වේදිකා නාට්‍ය දෙකකට රංගනයෙන් දායක වීමට අවස්ථාව ලැබුණා. එකී කාලයේදියි ලුවී වැන්ඩරස්ට්‍රාන්ගෙ තේරීමක් මත මට මෙම චිත්‍රපටියේ රඟපෑමට අවස්ථාව ලැබෙන්නෙ.


බලාපොරොත්තු නොවූ අවස්ථාවක් එකවර ලැබුණම ඔබට දැනුණේ කෙබඳු හැඟීමක්ද


විත්‍රපටියකට රංගනයෙන් දායකවීමට අවශ්‍යමයි කියා හැඟීමක් මට තිබුණේ නැහැ. ඒක ඇත්තටම අහඹුවක්. චිත්‍රපටය රූගත කිරීම් කර මේ වන විට වසර 4ක් පමණ ගත වී තිබෙනවා. නමුත් එකී රූගත කිරීමට සූදානම් වෙන්න වගේම එකී චරිතය අධ්‍යයනය කිරීමට මට ලැබුණු සති දෙකක පමණ සුළු කාලයක් පමණයි. එම සුළු කාලය තුළ මං මගේ උපරිමය කළා කියා මම විශ්වාස කරනවා.


ඔබ වෘත්තිමය රංගන ශිල්පියෙක් ද


මම හිතන්නේ ඒ පිළිබඳව මේ වන විට ඔව් කියා පිළිතුරු දිය හැකියි. මම මේ වන විට සූරයා වීරයා චිත්‍රපටයට අමතරව තවත් චිත්‍රපටි තුනක් කර තිබෙනවා. එකී චිත්‍රපටි තුනේම ප්‍රධාන භූමිකාව නිරූපණය කිරීමටත් මට අවස්ථාව ලැබුණා.


වෙළඳ දැන්වීම් කලාවේ සිට පුළුල් තිරයට පය තැබූ විට හිතට යම් චකිතයක් දැනුණේ නැද්ද


මුලින්ම රූගත කිරීම් අරඹන්නේ චිත්‍රපටිය මැද කොටසකිනුයි. නමුත් එය මට ගැටලුවක් නොවුණෙ මම එම චිත්‍රපටියේ කතාව වගේම මගේ භූමිකාව පිළිබඳ පුළුල්ව අධ්‍යයනය කර සිටි නිසායි. පළමු සීන් එක ෂූට් කළේ ඊට දවස් 5කට විතර පසුවයි. ඒ සීන් එක ෂූට් කරද්දි හිතට යම් චකිතයක් දැනුණත්, ටේක් තුනකින් එයත් සාර්ථක කරගන්න මට හැකි වුණා. ඇත්තටම ඒක ලොකු වාසනාවක්.‍


ඔබ රංගනය හදාරා තිබෙනවා ද


රංගනය ගුරුවරුන් කිහිප දෙනෙකු යටතේ මම හදාරා තිබෙනවා. නිෂ්පාදකතුමෙකු වන රාජ් රණසිංහ මහතා මේ වෙලාවේ මම මුලින්ම මතක් කරනවා. ඔහු අනෝජා වීරසිංහ මහත්මිය යටතේ රංගනය හදාරන්න මාව යොමු කරනවා ඉන්පසු දමයන්ති ෆොන්සේකා මහත්මිය යටතේ වේදිකා නාට්‍ය පිළිබඳ පුළුල් දැනුමක් මට ලබා ගැනීමට හැකි වෙනවා. රාජ් රණසිංහ නැවතත් K. N. රණසිංහ කියන ප්‍රවීණ අධ්‍යක්ෂකවරයාට මාව හඳුන්වා දෙනවා. ඔහුගේ අධ්‍යයන කටයුතු හා මගපෙන්වීම් තුළින් මගේ දක්ෂතා හා දුර්වලතා ඔහු මට පෙන්වා දෙනවා. රංගන කාර්යය තුළදී මාගේ ගොඩනැඟිය යුතු අංශයන් ඔහු හඳුනාගෙන එකී දුර්වලතා මගහරවා ගැනීමට ඔහු මාව මහේන්ද්‍ර පෙරේරා ගුරුතුමා යටතේ අධ්‍යයන කටයුතු සඳහා යොමු කරනවා. එකී ගුරු භවතුන්ගේ හැදෑරීම තුළ මට මාව සොයා ගැනීමට වගේම මගේ රංගන කාර්යය හඳුනා ගැනීමට මට හැකියාව ලැබෙනවා.


මෙතෙක් කල් රංගනයෙන් දායක නොවූ රඟපෑමට කැමති යම් චරිතයක් තිබෙනවාද


මම ගොඩක් වාසනාවන්ත රංගන ශිල්පීයෙක් කියා විශ්වාස කරනවා. සාමාන්‍ය තරුණයෙක්ට රඟපෑමට අවකාශ ලැබෙන දුර්ලභ ගණයේ චරිත මට රඟපෑමට ඉඩකඩ ලැබෙනවා. එසේ ක්‍රමානුකූලව ගමන් කරන විට මට මෙවැනි චරිතයක් ලැබුණොත් හොඳයි කියන හැඟීම මට කෙදිනකවත් නොහැඟෙයි කියා මම විශ්වාස කරනවා.


තරු ගුණය පවත්වාගන්න උදාර මහන්සි වෙන කෙනෙක්ද?


මම තරුවක් වෙන්න ප්ලෑන් කරපු කෙනෙක් නෙමෙයි. මම ජාතික මට්ටමේ ක්‍රීඩකයෙක්. මගේ තාත්තාත් ජාතික මට්ටමේ මලල ක්‍රීඩකයෙක්. ක්‍රිකට් හා මලල ක්‍රීඩාවලින් ලැබුණු ජවය ශක්තිය පවත්වාගෙන යනවා විනා තරු ගුණය රඳවා ගන්න මං මහන්සි වෙන්නේ නැහැ.


උදාර පෙම්වතෙක්ද


මගේ ඉදිරි අවුරුදු 10 සැලසුම් කර තිබෙන්නේ සිනමා වෙනුවෙනුයි. ඒ නිසා මගේ කාලේ ශ්‍රමය සම්පූර්ණම සිනමාවට කැප කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ කාලයෙන් පසුව ආදරයක් ගැන හිතනවා.


චිත්‍රපටි හතරම තිරගත වුණාම ආදරය සම්බන්ධ ගත්ත තීරණය කණපිට හැරෙයිද දන්නේ නැහැ


අපි තව අවුරුදු පහකින් බලමු. ඕනෑම වෙලාවක හැඟීම් වෙනස් වෙන්න පුළුවන්. ඒත් මම උත්සාහ කරනවා මගේ ප්‍රතිපත්තිය ඒ ආකාරයටම පවත්වාගන්න. මම සිනමාවට පිවිසුණේම අභියෝග භාර ගැනීමේ සූදානම් මතයි. ඒ නිසා මගේම තීරණවල ජය පරාජය මම සතුටින් භාර ගන්නවා.




Previous Post Next Post