දේශපාලනය නෙවෙයි මොන දේ කතා කරන්නත් වේදිකාවක් තිබිය යුතුයි -රන්දික ගුණතිලක



ඔහු ලාංකේය රංගන ක්ෂේත්‍රයෙහි තම අනන්‍යතාව සලකුණු කරගත් රංගන ශිල්පියෙකි. වේදිකාව තුළින් තම රංගන දිවිය ආලෝකවත් කරගත් ඔහු අද ටෙලිවිෂනය සහ රිදී තිරයෙන් ප්‍රේක්ෂක හද මනස කලඹා අහවරය. ඔහු රංගනයෙන් දායක වූ එකිනෙකට වෙනස් චරිත ඔහුගේ රංගන ශක්‍යතාව කවර වර්ගයේ ප්‍රබලත්වයකින් හෙබියේද යන්න විදහා දක්වයි. අද හදගැස්ම හා එක් වන්නේ ප්‍රවීණ රංගන ශිල්පී රන්දික ගුණතිලක. 


රන්දික ගුණතිලකට වේදිකා නාට්‍ය කලාව මඟහැරුණාද?


රන්දික ගුණතිලකට වේදිකා නාට්‍ය කලාව මඟහැරුණේ නැහැ. වේදිකා නාට්‍ය කලාවට රන්දික ගුණතිලකව මඟහැරුණා. එයට හේතුව ලෙස මම දකින්නේ ලාංකේය වේදිකා නාට්‍ය කලාව තවමත් පැරණි තැනම තිබීම. ටෙලිවිෂනය වගේම සිනමාව යාවත්කාලීන වී තිබුණත් වේදිකා නාට්‍ය කලාව එසේ යාවත්කාලීන වී නැහැ. මම කැමැති අලුත් දේ කරන්න සහ අලුත් විධියට සිතන්න. මම එක තැන පල්වෙන්න කැමති නැහැ. ඒ නිසා මම වේදිකා නාට්‍ය කලාව අත්හැරියා. මේ සඳහා මම හොඳම නිදසුනක් කියන්නම්. මට මෑතකදී හිරාන් අබේසේකරව හමුවුණා. ඔහු ලෝකයේ සිටින පරිණත රංගන ශිල්පියෙක්. ඔහු මට වරෙක කිව්වා මල්ලි මම දැන් තියෙටර් එකේ පියාඹනවා. උඹලා තවම පුටුවකුයි මේසෙකුයි තියාගෙන ඉවරවෙලා බෝඩිමට යාළුවෙක් එනවා ඊට පස්සෙ සෙක්ස් ප්‍රශ්නයක් ගැන කතා කරනවා කියලා.


ඇකඩමියාව සහ නන් ඇකඩමියාව පිළිබඳව ඔබේ අදහස.


යම් දෙයක් හැදෑරීමෙන් පසුව සිදුකරන විට අපිට අදහසක් තිබෙනවා ඉස්සරහට වීමට තිබෙන දෙය ගැන. එවිට අපි ඒ දෙය ගැන දැනුවත්. එවැනි හැදෑරීමකින් තොරව දේවල් සිදුකරන විට හොඳක් වෙන්නත්, නරකක් වෙන්නත් පුළුවන්. හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. අධ්‍යාපනය තුළින් අපි හදාරන විෂය සම්බන්ධයෙන් විශාල දැනුම් සම්භාරයක් ලැබෙනවා. අධ්‍යාපනය තුළින් සිදු කරන්නේ මිනිසෙක් ශික්ෂණය කිරීම. හැදෑරීම තුළින් ලැබෙන දැනුම තුළින් රංගන ශිල්පියෙක්ට හෝ ඕනෑම පුද්ගලයෙක්ට ලැබෙන අඩිතාලම වෙනම එකක්. එසේ නොවී අත්දැකීම් තුළින් අපි ගමනක් යනවා නම් සාර්ථක වීමට බොහෝ කාලයක් ගත වීමට පුළුවන්. වගේම වරදින්න තිබෙන ඉඩකඩත් වැඩියි. මෙහෙමයි රංගන ශිල්පියෙක් වෙන්න හැදෑරීමක් අවශ්‍ය වන්නෙම නැහැ. අපි ඕනෑ තරම් දැකලා තිබෙනවා සමහර ඉගෙන ගත් උදවියට රඟපාන්නත් බැහැ. හැදෑරීම තුළින් රංගනයට පිවිසෙනවා නම් හොඳයි කියන තැන මම ඉන්නවා. එහෙම වුණොත් පැවැත්මක් තිබෙනවා.


රන්දික ගුණතිලකව අභිප්‍රේරණය කළ පුද්ගලයා කවුද?


මාව අභිප්‍රේරණය කළ රංගන ශිල්පියෙක් තමයි තුසිත ලක්නාත් කියන්නේ. මම මුලින්ම ඔහුව දකින්නේ අජරාමර කියන කෙටි වේදිකා නාට්‍ය හරහා. මම එය ප්‍රේක්ෂකයෙක් ලෙස නැරඹූ මොහොතේ මගේ ඇඟේ හිරිගඩු පිපුණා. මටත් මේ විධියට රඟපාන්න ඕනෙයි කියලා සිතුණා.


ලෝක මට්ටමේ සිටින රංගධරයන් රන්දික ගුණතිලකව අභිප්‍රේරණය කළේ නැද්ද?


මම ගොඩක් වෙලාවට අපිට සමීප දේවල්වලට තමයි ළැදිකමක් දක්වන්නේ. අපි අපේ දේවල් පිළිබඳව කතා කිරීමෙන් අනතුරුව තමයි ලෝකයේ දේවල් ගැන කතා කළ යුත්තේ. ලියනාඩෝ ඩිකැප්‍රියෝ, ජොනී ඩෙප්, ටොම් හෑන්ක්, ඉර්ෆාන් කාන්, ෆහාද් ෆාසිල්, නසීරුදීන් ෂා වැනි රංගධරයන් ගැන කතා කිරීමට කලින් අපි අපේ දේවල් පිළිබඳව කතා කිරීම තමයි වැදගත් වන්නේ.


වාණිජමය සහ සම්භාව්‍ය යනුවෙන් ලාංකික සිනමාව බෙදා තිබීම පිළිබඳව ඔබ දකින්නේ කෙසේද?


රංගන ශිල්පියෙක් ලෙස කිසිදු වෙලාවක අපිට වාණිජමය සම්භාව්‍ය කියලා සිනමාව බෙදා දක්වන්න බැහැ. අධ්‍යක්ෂවරයෙක්ට හෝ වෙනත් කලාවට සම්බන්ධ පුද්ගලයෙක්ට හෝ විචාරකයෙක්ට එවැනි දෙයක් තිබෙන්න පුළුවන්. රංගන ශිල්පියෙක්ට හමුවෙන්නේ චරිතයක්. අපි ඒ චරිතය කිරීම තමයි වැදගත් වන්නේ. ලංකාව තුළ ඔය ගැටලුව තිබුණාට වෙනත් රටවල ඔය ගැටලුව නැහැ. ලියනාඩෝ ඩිකැප්‍රියෝ වාණිජමය සිනමාව තුළත් රඟපානවා. ඔහු සම්භාව්‍ය සිනමාව තුළත් සිටිනවා. ඉර්ෆාන් කාන් කියන මහ දැවැන්ත රංගධරයා හවුස් ෆුල් වගේම ජුරාසික් පාක්වලත් ඉන්නවා. ඒ වගේම ඔහු රොග්, මැක්බූල් වැනි සිනමාපට තුළත් සිටිනවා. මේකට තවත් නිදසුනක් තමයි මනෝජ් බජ්පායි කියන රංගධරයා. ඔහු වාණිජමය සිනමාව තුළත් සිටිනවා. ඒවගේම ගැන්ස්ටර් ඔෆ් වාසිපූර් වගේ සිනමාපටයකත් සිටිනවා. රංගන ශිල්පියෙක්ට එහෙම බෙදීම් තිබෙන්න බැහැ. ඒක බොරුවක්. සිනමාව කියන දෙය වාණිජමය සහ සම්භාව්‍ය ලෙස බෙදිය යුතු නැහැ. ඒ දෙක දෙකක් නෙවෙයි එකක්. බොහෝ පිරිස් මෙය වරදවාගෙන. සිනමාව පිළිබඳව හසල දැනුමක් තිබෙන රංගන ශිල්පීන් මේ අන්ත දෙකක් ලෙස බෙදූ කොටස් ද්වය තුළම රඟපාන්න ඕන. එහෙම වුණොත් තමයි කලාව පවතින්නේ.


වත්මන් ලාංකික සිනමාව වාණිජකරණය වීද?


මොන දේ කරන්නත් සල්ලි තිබෙන්න ඕනෙනෙ. ෆිල්ම් හෝල් අලුතෙන් හැදෙන්න ඕනේ. ඊට පසුව තමයි අපි කැමැති දෙය ඉටුකරන්න පුළුවන් වෙන්නේ. අපිට දේශපාලනය හරි දර්ශනය හරි මොන දෙය හරි කතා කරන්න වේදිකාවක් නිර්මාණය විය යුතුයි. මේ තැන හැදෙන්න නම් එයට අවශ්‍ය මූලික කාරණාව වන ක්ෂේත්‍රය හැදෙන්න ඕනේ. මට මේ ලංකාවේ  සිටින කිසිම කෙනෙක් සිනමාපටයක රඟපෑවා කියලා බිලියන ගාණක් ගෙවන්නේ නැහැ. මම ටෙලි නාට්‍යයක රඟපෑවා කියලා බිලියන ගාණක් ගෙවන්නේ නැහැ. මට එහෙම බිලියන ගාණක් ගෙවනවා නම් මම අවුරුද්දට කරන්නේ එක වැඩයි. එතකොට මට මගේ කැපෑසිටි එක අවුරුද්දකට හිර කරගන්න පුළුවන්. මම මට ලැබෙන ඉතිරි කාලය මගේ අධ්‍යයන කටයුතුවලට යොදවමින් හොඳින් ගත කරන්න තිබුණා. ඒ මට බිලියන ගණනක් ලැබෙනවා නම්. එහෙම දේවල් නැතුව අපි ඔය  වගේ දේවල් කතා කරන එක බොරු දෙයක්.


සමාජ මාධ්‍ය මේ ක්ෂේත්‍රයට කළ බලපෑම ගැන කතා කරනවා නම්?


ඒක අත්‍යවශ්‍ය දෙයක්. මම අහලා තිබෙන කතාවක් තිබෙනවා. ලෝකයේ පැවතුණේ ශක්තිමත් සත්තුවත් බුද්ධිමත් සත්තුවත් නෙවෙයි ඒ ඒ කාල අනුව අනුවර්තනය වුණු සත්තු. නැත්නම් ඩයිනෝසිරස්ලා තාමත් ඉන්න එපැයි. පැවැත්ම තිබෙන්නේ ඒ ඒ දේවල් සමඟ වෙනස් වෙමින් ඉදිරියට යන පුද්ගලයාට. සමාජ මාධ්‍ය මේ යුගයේදී  අත්‍යවශ්‍ය දෙයක්. එහි හොඳ වගේම නරකත් තිබෙනවා. සමස්තයක් ලෙස ගත්විට සමාජ මාධ්‍ය කියන්නේ ඉතා හොඳ දෙයක්.


ගිහාන් සචින්ත





Previous Post Next Post