වනිඳුටයි නංගිටයි රහස් නෑ - වනිඳුගේ මව සමන්ති

 


මංගල උත්සවයට සහභාගී වූ කොයි කාගෙත් නෙතට කඳුළක් ගෙනාවේ මේ අයියා හා නංගීගේ ආදරණිය බැඳිමයි. තම ආදරණීය නැගණිය තුරුලු කර ගනිමින් “මගෙ නංගි ඔයා සතුටින් ඉන්න. එච්චරයි මේ අයියා ඔයාගෙන් ඉල්ලන්නේ“ කියමින් අයියාත් නංගිත් හඩා වැටුණු ඒ මොහොත කාගේත් නෙතට කඳුළක් එක් කළේය. මුහුණු පොතේ දුටු මේ අයියා නංගීගේ කතාව අද කාගේත් කතාබහට ලක් වී ඇත්තේ මේ සංසාරගත බැඳීම නිසා ය. සිය එකම නංගීගේ විවාහය දා හඬා වැටුණු මේ ආදරණීය අයියා රටක් ලොවක් දන්නා හද බැඳි ක්‍රීඩකයෙකි. පසුගිය වකවානුව පුරා වනිඳු ගැන කතාබහ ඇති වූයේ තුන්ඉරියව්වෙන්ම කැපීපෙනෙන නවක ක්‍රීඩකයකු වශයෙනි. ඔහුට කුඩා කල සිටම නංගී ගැන තිබුණේ පුදුමාකාර බැඳීමකි. 


අයියලා නංගිලා අතර ඇත්තේ මහ පුදුමාකාර බැඳීමකි. ඒ බැඳීම ගැන හරියටම කියන්න දන්නේ ද එවන් බැඳීම් ඇති අයියලා නංගිලාම පමණි. අද පමණක් නොව අතීතයේ පටන්ම හිත රිදවු හිත සැනසු එවන් බැඳීම් අප අතර තිබිණි. ඒ කොහොම වුණත් නැගණියගේ මංගල අවස්ථාවේ සිය නැගණිය තුරුලු කර ගනිමින් කඳුළු සැලූ ඒ අයියා රටක් ලෝකයක් දන්නා කෙනෙක් වීම විශේෂයකි. සාමාන්‍ය ජීවිතයේ ඉතාම නිහඬ කෙනෙක් වන ඔහු පිටියේ දඟකාරයෙකි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව්වෙන් දස්කම් පාන අති දක්ෂ ක්‍රීඩකයකු වන වනිඳු හසරංගේ නැගණියගේ විවාහය සමාජ මාධ්‍ය කලඹන්නේ මේ බැඳීමේ තරම ගැන මීට පෙර ද මාධ්‍ය ඔස්සේ කතා වී ඇති නිසාය. විවාහ දිවියට එළැඹුණු ඔහුගේ එකම නැගණිය වන චතුරි හසරංගී ද සිල්වා ගැන මතක් කරද්දි පවා ලොවක් දන්නා මේ අයියාගේ දෙනෙත් දිලිසෙන්නේ ඒ නිසාය.


දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලේ දෙවැනියා වනිඳුය. වනිඳුගේ වැඩිමල් සහෝදරයා වන්නේ චතුරංගය. ඔහු ද ක්‍රිකට් ක්‍රීඩකයෙකි. පවුලේ බඩපිස්සි චතුරිය. දරුවන් අතර ඇති බැඳීම දන්නේ ඒ පවුලේ අම්මාය. තාත්තාය. සිය දියණිය විවාහ වන අවස්ථාවේ මවුපිය සහෝදර සහෝදරියන්ගෙන් පවුලේ ඥාතීන්ගෙන් සමුගන්නා මොහොතේ කාගෙත් දෑස් තෙත් කළ ඒ මොහොත සංවේදීය.


චතුරි හසරංගීගේ මංගල උත්සවයේ අවසන් පරිච්ඡේදය කාගෙත් දෑසට කඳුළක් එක්කරන්නට සමත් විය. ඒ අවස්ථාවේ වනිඳු සිිය නැගණිය සිප වැලඳ ගනිමින් කඳුළු සලන දෙස බලා සිටි කාගෙත් දෑසට කඳුළක් නොනැඟුණා නම් පුදුමයකි.


“පුංචි කාලේ ඉඳලම වනිඳු පුතා පවුලේ කාටත් හරිම ආදරෙන් හිටිය අහිසංක දරුවෙක්. ඒ වගේම වනිඳු පුතා හරිම නිහඬ කෙනෙක්. එයා ගෙදර ඉන්නකොට හැමෝම එක්ක විනෝදෙන් ඉන්නේ. දුවයි පුතයි හරිම ලෙන්ගතුයි. ඒ දෙන්නාගේ රහස් නෑ. අයියයි නංගියි අතර පුදුම එකමුතු කමක් තියෙන්නේ. ලොකු පුතත් එහෙම තමයි. දුවගේ විවාහ මංගල උත්සවය පසුගියදා පැවැත්වුණා. ඇත්තටම අපි කාටවත් හිතුණේ නැහැ වනිඳු පුතාට ඒ තරම් දුකක් දැනේවි කියලා. මගේ පුතා පවුලේ අයට හරිම ලෙන්ගතුයි. ඒ මොහොතේ කාටත් දුක හිතුණා. පුතා කවදාවත් කැමැති වුණේ නැහැ දුවව රස්සාවකට යවන්නවත්. පුතා කොයිතරම් ප්‍රසිද්ධ වුණත් එයා ආඩම්බරකාරයෙක් නෙමෙයි. පුංචි කාලෙ ඉඳලම එකට හිටපු නංගි එයාගෙන් වෙන් වෙලා යුගදිවියට එළැඹිලා පිට වෙන අවස්ථාවේ පුතා ඒතරම් සංවේදි වෙයි කියලා අපිට හිතුනෙම නැහැ. මගෙ දරුවෝ අතර පුදුම බැඳීමක් තියෙන්නේ. ඒ මොහොතේ එතැන හිටපු හැමෝගෙම ඇස්වලට කඳුළු පිරුණා... මට මගෙ දරුවෝ ගැන හරිම ආඩම්බරයි.... “


වනිඳුගේ මව සමන්ති පවසන්නීය.


අයියලා නංගිලා අතර ඇති ඒ ආදරණීය බැඳීම සංසාරගතය.





Previous Post Next Post