මම මගේ අහිංසක පෙනුම වෙනස් කරගත්තා- පූජනී භාග්‍යා




මේ දිනවල සති අන්තයේ රසික හදවත් අමතන ජනප්‍රිය ටෙලි නිර්මාණයක් වන ‘මැස්සා’ ටෙලි නාට්‍යයේ පිංකිගේ චරිතයට ඉමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර රැසක් ලැබෙමින් පවතී. එතරම් රසික රසිකාවියන් පිරිසක් ආදරය කරන ඔබ කවුරුත් දන්නා ඇය පූජනී භාග්‍යා. අලුත්ම ටෙලි නිර්මාණයක් වන “රෝස” තුළින්ද ඇය මේ දිනවල ඔබ හමුවට පැමිණෙයි. ගැමි ළඳකගේ සුන්දරත්වයත්, අහිංසක බවත් මැනවින් නිරූපණය කරන්නට සමත් ඇය ඇගේ රංගන දිවියේ ආ ගිය තොරතුරු බෙදාගත්තේ මෙලෙසින්. 


කොහොමද ඉතින් ජීවිතේ?


ජීවිතේ හොඳයි. මේ දවස්වල සතුටින් ජීවිතේ ගතකරනවා.


මේ දිනවල නිරතවන කලා කටයුතු ගැන කතාකළොත්?


ගොඩක් දෙනෙක් මාව දන්නේ මැස්සා ටෙලි නාට්‍යයේ පිංකි විධියට. සති අන්තයේ විකාශය වන මැස්සා ටෙලි නාට්‍යයේ රූගත කිරීම් මේ වනවිටත් අවසන් වී තිබෙනවා. ඊට අමතරව “රෝස” නමින් අලුත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙලා සිටිනවා.


 එහි ආශා කියන චරිතයට තමයි මම දායක වෙන්නේ. මේ දිනවල රෝස ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සමඟ කාලය ගතවෙනවා.


“මැස්සා” ටෙලිනාට්‍යයේ “පිංකි” චරිතය සහ “රෝස” ටෙලි නාට්‍යයේ “ආශා” චරිතය ගැන කතා කළොත්?


“මැස්සා” ටෙලි නාට්‍යයේ මගේ චරිතය පිංකි. ඇය ගොඩක් දුප්පත්, කොළඹ පැත්තේ වතු පරිසරයක හැදෙන තරුණියක්. ඇයට ඉන්නේ අම්මා, තාත්තා සහ නංගි. පිංකි හරිම ආදරෙයි නංගිට. එයාට ඕනි කරන්නේ කවදහරි නංගි ඉහළ තැනකට යවන්න. පිංකි රැකියාව කරන්නේ සාරි කඩේක. ඇය තමන්ගේ ආත්ම ගරුත්වයත් රැකගෙන, තමන් ආදරය කළ කෙනා වෙනුවෙන්ම බලන් ඉන්න ආදරණීය, පොඩි චණ්ඩි ගතිගුණත් තිබෙන කොල්ලෙක් වගේ කෙල්ලෙක්.


“රෝස” ටෙලි නාට්‍යයේ චරිතයේ නම ආශා. ඇය කොළඹ පාසල් ගිය, ගමක හැදුණු තරුණියක්. එයාගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අක්කයි, නංගියි. ආශා තරමක් දඟකාර, කටකාර, හිතුවක්කාර චරිතයක්. ඇය හොඳ සහෝදරියක්. හොඳ මිතුරියක්. හොඳ ආදරවන්තියක්. ඇගේ එකම හීනය නිළියක් වෙන එක. හැමදේම සැහැල්ලුවෙන් හිතන චරිතයක්.


මැස්සා ටෙලි නාට්‍යයේ පිංකිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ඇත්තටම පිංකිට හිතාගන්න බැරි තරම් ප්‍රතිචාර ලැබෙනවා. මම හීනෙකින්වත් හිතන්නේ නැති රසිකයන්ගෙන් මට ප්‍රතිචාර ලැබෙනවා. මැස්සා ටෙලිනාට්‍යයට ආදරය කරන, මට ආදරය කරන රසික රසිකාවියෝ රැසකගෙන් ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඔවුන් හරිම කුතුහලයෙන් ඉන්නේ පිංකිට අවසානයේදී කුමක් වෙයිද? කියල. එතරම් ප්‍රතිචාර පිංකිට ලැබීම ගැන හරිම සතුටුයි. ඉදිරියේදී පිංකිගේ චරිතයේ පොඩි වෙනස්වීම් කිහිපයක් සිදුවීමට නියමිතයි. ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා ඉදිරි කොටස් කුතුහලයෙන් නරඹන්න කියල.


ඔබ චරිත තෝරාගැනීමේදී ගැමි චරිතවලට වැඩි නැඹුරුවක් තිබෙනවද?


පසුගිය දිනවල ගැමි චරිත තමයි මට ගොඩක් ලැබුණේ. අසංවර වැස්සක් ටෙලි නාට්‍යයේ සහ වෙනත් නාට්‍ය කිහිපයකම මට ලැබුණේ ගැමි චරිත. මගේ පෙනුම නිසා තමයි මට ගැමි චරිතම ලැබෙන්නේ. මාව කෙනෙක් දැක්කම එයාලට හිතෙන්නේ මම හරිම අහිංසක කෙනෙක් කියල. ඉතින් ඒ දකින අහිංසක පෙනුම නිසා මට නිතරම ලැබුණේ ඒ වගේ අහිංසක චරිත. දැන් නම් මම ගැමි චරිතවලින් ටිකක් අෑත්වෙලා ඉන්නවා. මොකද කාලයක් විවේකීව ඉඳල තමයි පිංකි කියන චරිතය භාරගත්තේ. ඒ වෙනකොට මම කොණ්ඩේ ටිකක් කොටට කපල කොණ්ඩෙ කලර් කරල බාහිරව ටිකක් වෙනස්වෙලා හිටියේ. ඉතින් ඒ නිසා දැන්නම් මට දිගටම ලැබෙන්නේ සාමාන්‍ය චරිත. මම වැඩ ගොඩක් භාරගෙන කරන කෙනෙක් නොවෙයි. එක පාර එක වැඩක් දෙකක් තමයි මම කරන්නේ. එහෙම නැතිව චරිත තේරීමක් කරන්නේ නැහැ.


රිදී තිරයේ ඔබේ අත්දැකීම් ගැන කතාකළොත්?


මගේ පළමු වැනි චිත්‍රපට අත්දැකීම මට ලැබෙන්නේ 2010 වසරේ “දරුවනේ” චිත්‍රපටය හරහා. එහිදී මට ලැබෙන්නේ සෙසු චරිතයක්. එය තමයි මගේ පළමු සිනමා අත්දැකීම. ඊට පසුව දැනට දවස් කිහිපයකට පෙර එළිදැක්වූ “ගුත්තිල” සිනමා නිර්මාණය තමයි මගේ දෙවැනි සිනමා අත්දැකීම. එහි මගේ චරිතය මල්මදිරා. කුමාරිකාවට රඟපෑවේ චුලක්ෂි රණතුංග. කුමාරිකාව ළඟම ඉන්න කෙනා තමයි මල්මදිරා කියන්නේ. මට තවත් සිනමා නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා. ඒ චරිත මට ගැළපෙන්නේ නැති නිසා මම ප්‍රතික්ෂේප කළා. මගේ උසත් එක්ක මම හිතනවා මට ගැළපෙන්නේ සිනමාව කියල. ඉතින් මට ගැළපෙන, මම ආසා කරන විධියේ චරිතයකට මට ආරාධනා ලැබුණොත් හරිම සතුටින් භාරගන්නවා.


උපන් දිනයත් ජයටම සැමරුවා නේද?


ඇත්තටම මෙවර උපන් දිනය විශේෂයෙන් සැමරුවේ නැහැ. මොකද තාත්තා නැතිවෙලා තවමත් ටික කාලයක් නිසා. අපි අවුරුදු සැමරුවෙත් නැහැ. වෙසක් සැමරුවෙත් නැහැ. ඉතින් උපන් දිනය සැමරුවෙත් නැහැ. රෑ 12 ට පොඩි සරල සප්‍රයිස් එකක් කළා මං වෙනුවෙන්. ඒකට මට සතුටුයි. මගේ ගෙදර අයත් මට තෑගි ගොඩක් දුන්නා. පාටි දැම්මේ නැති වුණාට එදා දවස හරිම සතුටින් ගත කළා. උපන් දිනයට හැම අවුරුද්දෙම වගේ මම ෂූට් එකක් කරනවා. ඒකට වෙනස් විධියේ කන්සෙප්ට් එකක් තමයි කරන්නේ. මේ පාරත් ලස්සනට ෂූට් එක කරගන්න පුළුවන් වුණා. ඒ වෙනුවෙන් ගොඩක් දෙනෙක් මහන්සි වුණා. ඒ හැමෝටමත් බොහොම ස්තූතියි.


සුන්දර මනමාලියක් වෙන්න අදහසක් නැද්ද තවම?


ඔව්… ඔව්… තිබෙනවා. ඇත්තටම මේ වසරේදී තමයි අපි විවාහවෙන්න අදහස් කරල තිබුණේ. නමුත් තාත්තාගේ අභාවයත් සමඟ ඒ දැනුණ මානසිකත්වයත් එක්ක අපි ඒ අදහස කල්දැම්මා. දැන් ඉතින් කාලයත් ඉක්මනට ගතවෙන නිසා ගෙවල්වලිනුත් කියනවා විවාහ වෙන්න කියල. ඉතින් ලබන වසරේ අග අපි විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.


මොනවද ඔබේ අනාගත බලාපොරොත්තු?


මේ දිනවල මට ලැබෙන නිර්මාණවලට සම්බන්ධ වෙලා ඒ චරිතවලට උපරිම සාධාරණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මම කැමැතියි දවසක ජනප්‍රියම  කියන කාණ්ඩයට වඩා දක්ෂ, නැඟී එන කාණ්ඩයට අයත් රංගන ශිල්පිනියක් වෙන්න. ඊට අමතරව විවාහවෙලා සතුටින් පවුල් ජීවිතය ගත කරන්න මම කැමැතියි. කලා ජීවිතේට වගේම මම මගේ පවුල් ජීවිතේටත් ආදරෙයි. මගේ නම රැකගෙන ආපු විධියටම ඉදිරියටත් රැකගෙන හෙමින් හෙමින් ගමනක් යන එක තමයි බලාපොරොත්තුව.


මෙතෙක් පැමිණි ගමන්මඟ ගැන ඔබ තෘප්තිමත්ද?


ඇත්තටම මම මෙතෙක් පැමිණි ගමන්මඟ ගැන මට හරිම සතුටුයි. ගොඩක් අය අපිත් එක්ක එකට ගමන් කරනවා. සමහරු අපට කලින් ගමන් කරනවා. තවත් සමහරු අපට පසුව ගමන් කරනවා. අපි හැමෝම ඉන්නේ එක එක මට්ටම්වල. ගොඩක් අයට කෙටි මාර්ග තිබුණා ඉදිරියට යන්න. එහෙම කෙටි මාර්ගවල ගිය සමහරු ඉහළම තැන්වලට ගිහින් තිබෙනවා. සමහරු මඟින් හැලෙනවා. තවත් සමහරු හිටපු තැන්වලටත් වඩා පහළට වැටෙනවා. හැබැයි මම කවදාවත් කෙටි මාර්ග තෝරගත්තේ නැහැ. මම ගියේ හරි මඟ. මට කෙටි මාර්ගවලින් ඉහළට යන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. කෙනෙක් තුළ තිබෙන දක්ෂතාව සහ වාසනාව අනුව ඉදිරියට යෑම තමයි සිදුවිය යුත්තේ. ඉතින් මම  මගේ ආත්ම ගරුත්වයත් රැකගෙන මෙතෙක් ආපු ගමන ගැන සතුටුයි.


චතුරිකා රාජපක්ෂ





Previous Post Next Post