මම කිසි දෙයකට හදිස්සි නැහැ-චුලක්ෂි රණතුංග




චුලක්ෂි රණතුංග කියන්නේ නිරූපණයෙන් වගේම රංගනයෙන් ප්‍රේක්ෂක ආදරය සහ ආකර්ෂණය දිනාගත්තු දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක්. ඇය රංගනයෙන් දායක වන සිනමා නිර්මාණ කිහිපයක්ම මේ වසරේ දී දැක ගන්න පුළුවන්. ඒ අතර මේ දිනවල ඇය රංගනයෙන් දායක වන සනත් අබේසේකරයන් අධ්‍යක්ෂණය කරන ලද ගුත්තිල චිත්‍රපටය තිරගත වනවා. ඒ ගැන වගේම ජුනි 22 වැනිදා සිට තිරගත වන ජයන්ත චන්ද්‍රසිරි මහතා අධ්‍යක්ෂණය කළ මිදුණු විශ්වය චිත්‍රපටය තුළින්ද චුලක්ෂි ප්‍රේක්ෂකයන් අතරට එනවා. මේ නිර්මාණ ද්විත්වය ගැන වගේම ඉදිරියට එන්න තියෙන නිර්මාණ ගැන චුලක්ෂි එක්ක කතාබහ කළා...


 චුලක්ෂි මේ දිනවල කාර්යබහුලයි වගේ...


චිත්‍රපටය රූපගත කිරීම් එක්ක තරමක් කාර්යබහුල කාලයක්. ඒ එක්කම මම රඟපෑ ගුත්තිල චිත්‍රපටය මේ වෙද්දී තිරගත වනවා. ඒවගේම මම රංගනයෙන් දායක වුණු මිදුණු විශ්වය චිත්‍රපටයත් මේ මාසෙම 22 සිට තිරගත වෙනවා. මේ සියලු කාර්යන් නිසා තරමක් කාර්යබහුල කාලයක්.


අපි මුලින්ම කතා කරමු ගුත්තිල චිත්‍රපටය ගැන...


මට ගුත්තිල චිත්‍රපටයට, චිත්‍රපටයේ අධ්‍යක්ෂ සනත් අබේසේකරයන්ගෙන් ආරාධනා ලැබෙන්නේ, තිස්ස නාගොඩවිතාන මහතාගේ පුතා හරිත් නාගොඩවිතාන මහතා සහ දිලිනි සිල්වා යන දෙදෙනා නිෂ්පාදනය කරන චිත්‍රපටයක් විදියට. එහෙම කිව්වම මට එක පාරටම මතක් වුණේ අපි පොඩි කාලේ ඉඳන් චිත්‍රපට රූපවාහිනී තිරයේ බලද්දී දකින ති.නා කියන අකුරු දෙක. මට මේ චිත්‍රපටය තුළ ලොකු දෙයක් කරන්න තිබුණේ නැහැ. නමුත් මෙය මට ලැබෙන ඉතා වටිනා අවස්ථාවක් විදියට තමයි මම දැක්කේ. ඒ නිසා මම ඉතාම කැමැත්තෙන් භාරගෙන කරපු චිත්‍රපටයක්.


අපි ඔබේ චරිතය ගැන කියමු..


මම එහි නිරූපණය කරන්නේ බ්‍රහ්මදත්ත රජතුමාගේ දියණියගේ චරිතය. මේක අපි හැමෝම දන්නා සාහිත්‍ය කතාවක්. ගුරුගෝල සම්බන්ධය, මනුෂ්‍යත්වය සහ කලාවෙ තියෙන වටිනාකම ගැන කියවෙන චිත්‍රපටයක්.


දෙබස් අඩු චරිතයක්, ඒ ගැනත් කතා කළොත්...


ඔව්. දෙබස් අඩු වුණාට මට මේ චිත්‍රපටය තුළ ලැබුණේ මට වඩා ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පින් එක්ක වැඩ කරන්න. සතිස්චන්ද්‍ර එදිරිසිංහ, අයිරාංගනී සේරසිංහ, වීණා ජයකොඩි, යශෝධා විමලධර්ම, එඩ්වඩ් ජයකොඩි ඇතුළු පිරිස එක්ක රඟපාන්න. ඒ නිසා මේ ප්‍රවීණයන් සමග මට රඟපාන්න ලැබුණු අවස්ථාව නිසා චරිතය ලොකුද පොඩිද කියන එක මට හිතන්න අවශ්‍යම වුණේ නැහැ. මේක මම දකින්නේ මගේ රංගන ජීවිතේ සුවිශේෂී අවස්ථාවක් විදියට. ඒ එක්කම මෙහි ගුණාත්මක භාවය ගැන මට දෙපාරක් හිතන්න අවශ්‍ය වුණේ නැහැ. මම හැමවෙලේම උත්සහ කරන්නේ විවිධ වූ චරිත කරන්න. ඒ නිසා මම ගත්ත නිවැරැදිම තීරණයක්.


මංගල දැක්මෙන් පසුව මේ වෙන තෙක් ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ඉතිහාස කතා පදනම් වූ චරිත අතරට මම මුලින්ම කරේ විජයබා කොල්ලයේ හනිදුම්මා කියන චරිතය. ඒක මේ චරිතයට වඩා හාත්පසින්ම වෙනස් වූ චරිතයක්. මෙහි එන බ්‍රහ්මදත්ත රජතුමාගේ දියණිය එයාගේ තරාතිරම ගැනවත් නොහිතා කලාවට සංගීතයට තියෙන ඇල්ම නිසාම ගුත්තිල ඇදුරුතුමාට ගෝලයාගෙන් සිදුවෙන අසාධාරණය නිසාම ඇය ගිහින් කතා කරනවා. ඒ දේවල් ගැන මට තිබ්බේ ඇත්තෙන්ම පැහැදීමක්. ඒ දේවල් ප්‍රේක්ෂකයන්ට දකින්න සලස්වමින් සමාජයට ආදර්ශයක් වෙන්න පුළුවන් චරිතයක් කියන එක මම දැක්කා. ඒක ඒ විදියටම ප්‍රේක්ෂකයන්ට දැනිලා තියෙනවා කියන දේ මට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් දැනෙනවා.


ගුත්තිලහි අමතක නොවන අත්දැකීම් ඇති...


අමතක නොවන මතක බොහොමයක් තියෙනවා. විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ කලාකරුවන් බොහොමයක් එක්ක වැඩ කරන්න ලැබුණු නිසා ඒ අයගේ අතීත අත්දැකීම් එක්ක මුසු වුණු රසවත් කතා බහ එක්ක ගෙවුණු කාලයක්.


ගුත්තිල තිරගත වෙලා දින කිහිපයකින් තිරගත වෙන්න නියමිත මිදුණු විශ්වය චිත්‍රපටයේත් ඔබව දකින්න ලැබෙනවා...


මිදුණු විශ්වය චිත්‍රපටයේ මට ලැබුණේ සුමද්‍යා කියන චරිතය. ඇය රූපණය හදාරන්න යන ශිෂ්‍යාවක්. මට ඒ චරිතය බොහොම සමීපයි. මොකද මමත් කාලයක් තිස්සේ මේ රූපණය කියන දේ විවිධ ආකාරයට හැදෑරීම් කරා. ඒ නිසා මට සමීප දේවල් එක්ක මට ලැබුණු චරිතයක්.


මිදුණු විශ්වය අධ්‍යක්ෂණය කරන්නේ ජයන්ත චන්ද්‍රසිරි මහතා, එතුමා එක්ක වැඩකිරීම තුළ ලද අත්දැකීම කොහොමද?


ජයන්ත චන්ද්‍රසිරි නම් ප්‍රවීණ සම්මානිත අධ්‍යක්ෂවරයා එක්ක වැඩ කරනවා කියන එක සහ ඔහු සතු දැනුම් සම්භාරය එක්ක වැඩ කිරීම ගැන මගේ හිතේ පොඩි චකිතයක් තිබ්බා. ජයන්ත අයියා කොහොමත් එයාගේ නිර්මාණ තුළ එන චරිතවල විවිධ වෙනස්කම් සිදු කරනවා. ඒ විදියට ගත්තම මේකත් ක්රැක්ටර් චේන්ජස් ගොඩක් තියෙන චරිතයක්. ඒ එක්කම ඔහුට අවශ්‍ය රූපණය ලැබෙනකම්ම ඔහු අදාළ ශිල්පියා මෙහෙයවන්නට සමත් වන අධ්‍යක්ෂවරයෙක්. ඒ ගැන ඔහු සමග වැඩ කරලා තියෙන අය හොඳින් දන්නවා. ඔහු යටතේ රඟපෑම තුළින් බොහෝ දේවල් මම මගේ ජීවිතේට එකතු කරගත්තා.


මිදුණු විශ්වය ගත්තම අමතක නොවනම මතකය මොකක්ද?


කිහිපයක්ම තියෙනවා. එක තැනකදී මම වතුර බොන ගමන් කතා කරද්දී හිනා වෙන්න ගිහින් මගේ කටේ තියෙන වතුර ටික මගේ ගුරුවරයාගේ ඇඟට විසි වෙන දර්ශනයක් තියෙනවා. මගේ ගුරුවරයාට ඉන්නේ උද්දික ප්‍රේමරත්න. ඒක මට එවලේ හරියට කර ගන්න පුළුවන් වෙයිද කියලා හිතට බය දැනුණු තැනක්. තව මට අමතක නොවන සිදුවීමක් තමයි මමත් ජයන්ත චන්ද්‍රසිරි මහතාගෙන් පවා මේ රූපණවේදය පිළිබඳව අධ්‍යයනය කරලා තියෙනවා. ඒ කාලේ අපිට කියලා තියෙනවා තමන්ගේ ශරීරයේ බර සැහැල්ලු කරගෙන කොහොමද වැටෙන්න ඕනේ කියන එක. මේ චිත්‍රපටයෙත් ඒ දේවල් තිබුණා. ඒ තැන්වලදී කලින් ලබපු පුහුණුව මෙනෙහි කරගනිමින් සිදු කර ගන්න පුළුවන් වුණා. තව එක දවසක් රෑ එක දෙක වෙනකම් ෂූටින් එක යනවා. එක දෙබසක් මම නින්දෙන් කියලා. අන්තිමේදී මොකක්ද කිව්වේ වගේ අහද්දී තමයි මට ඇහැරුණේ. එතකොට මට උද්දික අයියා කියනවා නින්ද ගිහින් කියලා. එච්චරටම මට නින්ද ගිහින් මම දෙබස් කියලා තියෙන්නේ. ඒ වගේ මතක් කරලා හිනාවෙන්න පුළුවන් දේවල් පවා සිද්ධ වුණා.


චුලක්ෂි තවමත් සිනමා නිළියක් පමණයි, පුංචි තිරයට එන්න අදහසක් නැද්ද?


සිනමාවේ මම මෙතෙක් නොකරපු දෙයක් කරලා පෙන්වන්න හැකි චරිතයක් පුංචි තිරයේ මට ලැබෙනවා නම් මම භාරගන්නවා. ඒ කියන්නේ මට මාවම විශාල අභියෝගයක් කරගෙන වෙනසක් ඇතුව කරන්න පුළුවන් චරිතයක් නම් පමණයි. හැබැයි ඒක මෙගා ටෙලි නාට්‍යයක් වෙන්න බැහැ. සාමාන්‍ය කොටස් ගණනකින් යුත් නිර්මාණයක් විය යුතුයි.


ඒ කියන්නේ චුලක්ෂි අභියෝග භාරගන්න කැමැති කෙනෙක්...


ඇත්තටම. මට අවශ්‍ය වෙන්නේ චරිතාංග නිළියක් විදියට මේ ක්ෂේත්‍රය තුළ රැඳෙන්න. නැත්නම් හැමදාම දකින විදියට චුලක්ෂි කියන්නේ ලංකාව නියෝජනය කරන්න ගිය මිස් ශ්‍රී ලංකා කෙනෙක්. මෝස්‌තර නිරූපිකාවක් කියන ලේබල් එකෙන් එහාට ගිය විවිධ වූ චරිත වලට ගිහින් ඒ චරිත තුළින් රූපණය කියන දේ පෙන්වන්න පුළුවන් චරිතයක් විදියට මතු වෙන්නයි කැමැති.


මේ දවස්වලත් චිත්‍රපටයක වැඩ කිව්වා, මොකක්ද ඒ නිර්මාණය...


ක්‍රිෂාන්ත මනම්පේරි අධ්‍යක්ෂණය කරන අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරීම් එක්ක ඉන්නේ.


ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?


සුනිල් ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ ‘ලොක් ඩවුන්’, ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කළ ‘කොරෝනා කාලේ ආලේ’, ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන ලද ‘මන්දාරා’ සහ මොහාන් නියාස්ගේ ‘ශ්‍රී වික්‍රම’ චිත්‍රපටය මේ වෙද්දී වැඩ අවසන් කරපු චිත්‍රපට අතර ඉදිරියට එන්න තියෙනවා.


මේ වෙද්දී ආදරවන්තියක්ද?

නැහැ.


කාලය ගතවෙලා යනවා කියලා හිතන්නේ නැද්ද?


කොහෙත්ම නැහැ. මම කිසි දෙයකට හදිස්සි නැහැ. මම හිතන්නේ හැමදේම හරි කාලෙට තමන්ට ලැබෙයි කියලා විශ්වාස කරනවා. ඒ තුළ ගමන් කරනවා. තමන්ගේ හිත තමයි ගොඩක්ම ශක්තිමත්ව තියා ගන්න ඕනේ. ඒ වගේම හිත තරුණ විදියට තියාගන්න ඕනේ. සමහරු හිතනවා වයසට ගියාම කරන්න ඕනේ මලක් පහනක් පත්තු කරගෙන ඉන්න ඕනේ කියලා. මම නම් කියන්නේ මලක් පහනක් පත්තු කරන්න වයසට යන්න ඕනේ නැහැ. දැනුත් ඒ ටික කරගෙනම ජීවිතේ බැලන්ස් එකකින් යන්න ඕනේ.



අවසාන වශයෙන් ප්‍රේක්ෂකයන්ට මොන වගේ ඇරයුමක්ද කරන්නේ...



මේ කාලය ගත්තම අපේ රටේ සිනමාවට හොඳ කාලයක් ඇවිත් තියෙනවා. මම කියන්න කැමැතියි මේ කාලයේ මම ඉන්න මේ චිත්‍රපට දෙක හැරුණම ආචාර්ය සුනිල් ආරියරත්න මහතා අධ්‍යක්ෂණය කළ ක්ෂිර සාගරය කැලඹිණ චිත්‍රපටය පවා ඉතා හොඳ චිත්‍රපටයක්. කරට කර යන චිත්‍රපට විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙනවා. මම විශ්වාස කරනවා මේ පටන් ගැන්ම හරහා ඉදිරියට එන්න තියෙන සිංහබාහු, කදිර දිව්‍යරාජ, එකගෙයි සොකරි, මන්දාරා වගේ දැවැන්ත නිර්මාණ තුළින් ලාංකීය සිනමාව ආරක්ෂා කර ගන්න පුළුවන් කියලා. ඒ නිසා මම ආරාධනා කරන්නේ තිරගත වන සිංහල චිත්‍රපට නරඹන්න එන්න කියලා. පසුගිය කාලේ ගොඩක් අය කිව්වේ දැන් නම් ෆිල්ම් ඉවරයි ආයේ ගොඩ ගන්න බෑ කියලා. ඒක මේ ක්ෂේත්‍රය තුළ ඉන්න රඟපාන අය විතරක් නෙවෙයි කාර්මික ශිල්පීන් පවා අහන්න අකැමැති දෙයක්. අපි මේ වෘත්තියට ආදරේ කරනවා. එතකොට අපි මේක රැකගන්නත් ඕනේ බේරා ගන්නත් ඕනේ. සිනමා කර්මාන්තය වැටිලා නැහැ. අපේ ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට තියෙන්නේ තමන්ගේ දේ අගයන්නේ නැතිකමක්. කොලිවුඩ් බොලිවුඩ් ෆිල්ම් ගැන මාර ඉහළින් කතා කරන ගමන් දේශීය දේවල් ගැන බාල විදියට කතා කරන තත්ත්වයක්. ඒ නිසා අපේ සිනමාව ගැන බලාපොරොත්තු නැති කරගන්නේ නැතුව සිනමාව එක්ක එකතුවෙන්න කියලා ආරාධනා කරනවා.






Previous Post Next Post