මගේ පවුල දෙකඩ වෙලා නැහැ - උදාරි වර්ණකුලසූරීය




බොහෝ සම්මාන උලෙළ සඳහා ඇගේ නම නිර්දේශ වී තිබුණේ නම් ඇයට කෙසේ හෝ ඒ සම්මානය හිමි වෙනවා. සම්මාන ලබා ගැනීමට තරම් ඇය කැමරාව ඉදිරියේ විවිධ චරිත රැගෙන එනවා. ඈ තමයි උදාරි වර්ණකුලසූරීය. සිනමාවෙත් පුංචි තිරයෙත් ඉඳහිට දකින ඈ දැන් වැඩිපුරම ඉන්නේ සිංගප්පූරුවේ. මේ දිනවල ලංකාවේ සිටින උදාරිට කටකතාවක් පැතිරිලා. ඒ ඇගේ පවුල් සංස්ථාව බිඳ වැටිලා කියලා. නමුත් ඇය ඒ කතාව ප්‍රතික්ෂේප කරනවා. චරිතාංග නිළියක් හැටියට හැමෝම ආදරේ කරන ඇය ගැන අලුත් තොරතුරුයි මේ.


උදාරි මේ දවස්වල සම්මානයක් බලාපොරොත්තුවෙන්ද හිටියේ, ?


නැහැ. මම රඟපාපු නිර්මාණ තිබුණෙ නැහැ. ගියවර සුමති හා රයිගම් සම්මාන දෙකෙන්ම මට සම්මාන හිමි වුණා. ඒ “සංසාර අසබඩ” නාට්‍යයේ ළමාතැනීගේ චරිතයට. මම අවුරුදු දෙකක් විතර ටෙලිනාට්‍ය භාර ගත්තේ නැහැ. මම සිනමා නිර්මාණ සඳහා සම්බන්ධ වුණ නිසා දින ලබා දෙන්න බැරි ප්‍රශ්නයක් තිබ්බා. ඒ නිසා මේ පාර සම්මානයක් බලාපොරොත්තුවෙන් නිර්මාණයක් තිබුණෙ නැහැ.


 


ඒ කියන්නේ උදාරී රඟපාන්නෙම සම්මාන බලාගෙන…?


අනේ නැහැ. ඕනම රස්සාවක් හරියට කරනවා නම් අගයන තැන්වල අගය කරනවා. රංගන ක්ෂේත්‍රය කියන්නෙත් ඒ වගේ එක රැකියාවක් විතරයි. මට ලැබෙන චරිතය කොහොමහරි කරන්න තමා මම උත්සාහ ගන්නේ. ඒ චරිතයට පුළුවන් තරම් සාධාරණයක් හා හැඩතලයක් ලබා දෙන්න තමයි මම බලන්නේ. මා මගේ රාජකාරිය හරියට කරන නිසා මගේ රසිකයින් මට ආදරේ කරනවා. සම්මාන හිමි වෙනවා. මේ වෙද්දී මම සම්මාන හයක් ලබා ගෙන තියෙනවා .


 

උදාරී වාසනාවන්ත නිළියක් නේද ..?


අනේ ඔව්. මම හරිම වාසනාවන්ත නිළියක්. මට ලැබෙන හැම චරිතයක්ම එකිනෙකට වෙනස්. අති දැවැන්තයින් අධ්‍යක්ෂණය කරන සිනමාපට අටක් ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. ඒ චිත්‍රපටි අටේම විවිධ චරිත කරන්නේ. කොයිම වෙලාවකවත් එකම රාමුවකට කොටු වෙලා නැහැ. ඉතිං මම කොච්චර වාසනාවන්තද. ඒ වගේම මට ගොඩක් ආදරණීය ප්‍රතිචාර ලැබෙනවා. ඒක කොච්චර වාසනාවක් ද


 


ඔබ හරිම ආසාවෙන් රඟපාන ඔය නිර්මාණ ඔබේ සැමියා සහ දියණිය නරඹනවද ..?


ටෙලි නාට්‍ය නම් දෙන්නම බලන්නේ නැහැ. චිත්‍රපට නම් හස්බන්ඩ් බලන අවස්ථා තියෙනවා . නැත්තං ඉතිං මෙන්න මම රඟපාන නිර්මාණයක් කියලා එයාලට පෙන්නුවොත් ඒ අවස්ථාවේ බැලුවොත් තමයි. දුවට නම් ඒ හැටි අවබෝධයක් නැහැ.


 

සැමියා ඉන්නේ විදේශ රටක නිසා උදාරී චරිත රඟපෑවට පස්සෙද සැමියාට කියන්නේ, නැත්තම් මුලින්ම අවසර ගන්නවද..?


චිත්‍රපටයකට හෝ ටෙලි නාට්‍යයකට ආරාධනා කළාට පස්සේ මම සැමියාට කියනවා මට මෙහෙම චරිතයක් ලැබුණා මම රඟපානවා කියලා. එහෙම නැත්නම් මම ඒකට සම්බන්ධ වුණාට කමක් නැද්ද කියලා අහනවා. එයා සාමාන්‍යයෙන් අකමැති වෙන්නේ නැහැ. මට නිර්මාණයක් ලැබිලා මං ඒකට අකැමැති වුණොත් මම සුමිත්ට කියනවා මට මෙහෙම චරිතයක් ලැබුණා මම ඒකට අකැමැති වෙන්න මෙන්න මේකයි හේතුව කියලා. එයා මට ඉස්සර ඉඳලම පූර්ණ නිදහස දීලා තියෙන්නේ මට කැමැති දෙයක් කරන්න. මොකද එයා දන්නවා මම නරක දෙයක් කරන්නේ නැහැ කියලා.


 


එතකොට විලාසිතා කරන්නත් තහනම් තහංචි දාන්නේ නැද්ද?


තහංචි දාන්නේ නැහැ. මට කවුරුහරි ගොඩේ කිවුවත් කමක් නැහැ මම කැමැති විලාසිතා තමයි මම කරන්නේ. කොටට වගේම කර පේන්න අඳිනවා. නමුත් හිරට, කලවා පේන්න, අනවශ්‍ය විදිහට ශරීරය නිරාවරණය කරන විලාසිතා කරන්නේ නැහැ. ඒ වගේ විලාසිතා මම කරා නම් අනිවාර්යයෙන්ම එයා මට ඒවගේ අඳින්න එපා කියනවා. එයා කැමැති අකැමැති දේ මම තේරුම් අරන් ඉන්නේ. එයා එපා කියනකල් ඉන්නේ නැහැ. නොකර ඉන්න වග බලාගන්නවා.


 

ඒ නිසාද ප්‍රේක්ෂකයින් මේ තරම්ම උදාරීට ආදරේ කරන්නේ..?


මම කරන දේවල්වලට කිසිම කෙනෙක් මට බණිනවා නම් ඇහිලා නැහැ. ප්‍රතිචාර දක්වනවා මට දැනිලා නැහැ. පෙනිලා නැහැ. මම නිළියක් වෙන්න කලින් නළු නිළියන් දිහා බලලා මමත් සාමාන්‍ය කෙනෙක් විදිහට ජීවත් වෙලා මම නිළියක් වුණේ. ඉතින් මම දන්නවා මම කොහොමද ඉන්න ඕන කියලා. මම අඳින්න පලඳින්න ඕන විදිහ මම දන්නවා. ඒ නිසා මට කිසිම කෙනෙක් දොස් කියනවා ඇහිලා නැහැ.


 

එතකොට කටකතා.?


කටකතා හැදිල තියෙනවද කියල මම දන්නේ නැහැ. මම දැනුම්වත්ව නම් මට කටකතා හැදිලා නැහැ.


 

මේ දවස්වල රාවයක් යනවා, උදාරි වර්ණකුලසූරියගේ පවුල් ජීවිතයත් බිඳිලා කියලා..?


මගේ දුව අවුරුදු හතක් හිටියේ මාත් එක්ක ලංකාවේ. දැන් එයා ඉන්නේ එයාගේ තාත්ත ළඟ සිංගප්පූරුවේ. ඒ නිසා මම වැඩිපුරම ඉන්නේ සිංගප්පූරුවෙ. මම ලංකාවට ආවේ ගිය සතියේ. දැන් ආයෙමත් එහේ යනවා. යන්න ටිකට් බුක් කරලත් ඉවරයි. මම හරි ලස්සන පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක්. විවාහ වුණ දවසෙ ඉඳලම අද වෙනකල් හෙටටත් මගේ පුංචි පවුල සුරක්ෂිතව තියේවි. ඒක කැඩිලා බිඳිලා යන පවුලක් නෙවෙයි.


 

සැමියා වෛද්‍යවරයෙක් නිසා බොහෝ දෙනෙක් සිතනවා ඔහු සැර පරුෂ කෙනෙක් වෙන්න ඇති කියලා ..?


මෙහෙමයි එයා ගෙදරට නීතිකාරයා . ඒත් පිටට හොඳ කෙනෙක් ගොඩක් අය කැමැති කෙනෙක්. මමයි දුවයි කියනවා, අපිට තමයි නපුරු වෙන්නේ කියලා. කියන්න ඕන දේ කෙළින් කියනවා. ඒ වුණාට එයා හරි සුන්දර සැමියෙක්. අපි තුන්දෙනා ආදරෙන් ඉන්නේ ඒකනේ.


 සමාජ මාධ්‍ය අවභාවිත කරලා මඩ ප්‍රචාර එල්ල කරන අවස්ථා ඕන තරම් තියෙනවා, ඒ නිසා මානසිකව වැටෙන උදවිය ඉන්නවා, උදාරී ඒ ගැන මොකද හිතන්නේ..?


සාමාන්‍ය කෙනකුට වඩා කලාකරුවෝ හෝ ජනප්‍රිය පිරිසට කතා හැදෙනවා වැඩියි. ඒවගේමයි ඒවා ප්‍රසාරණය වෙනවා වැඩියි. ඒ වගේම කතා ඇහිලා ශක්තිමත් වෙන අයත් ඉන්නව. ඒවා ගනන් නොගෙන ඉන්න අවස්ථා වගේම මානසිකව වැටෙන අවස්ථා ඇති වෙනවා ඕනෑම කෙනකුට. මම නම් ඒක හෙළා දකින කෙනෙක්. සමාජ මාධ්‍ය හරි ප්‍රයෝජනවත් වෙන අවස්ථා තියෙනවා. ඒක හරියට පාවිච්චි කරන්න ඕන. මගේ සැමියා මට වඩා ෂෝශල් මීඩියා භාවිත කරන කෙනෙක් . ඒත් අපි කවදාවත් තව කෙනෙකුට මඩ ගහන්න පාවිච්චි කරන්නේ නැහැ. අපි හැමෝම මිනිස්සු.





Previous Post Next Post