සැමියා කවදාවත් මගේ කලා කටයුතුවලට බලපෑම් කරලා නැහැ - හිමාලි සිරිවර්ධන

 


හිමාලි සිරිවර්ධන කියන්නේ නර්තනයෙන් සේම රංගනයෙන් ප්‍රේක්ෂක මතකයේ රැඳුණු ශිල්පිනියක්. මව් පදවිය ලැබීමත් සමග කලා කටයුතුවලට විරාමයක් තබා සිටියත් මේ දිනවල ටෙලි නිර්මාණ ත්‍රිත්වයකින්ම වෙනස් වූ භූමිකාවක් හරහා ප්‍රේක්ෂකයාට සමීප වෙනවා. වසර තුනක පමණ විරාමයකින් පසු අලුත් ආරම්භයේ කලා කටයුතු පිළිබඳ කතා කරන්නට ඇය අපිත් සමග එකතු වුණේ මේ විදියට.


දැන් හිමාලිගේ විරාමය අවසන් වෙලා ද?


ඇත්තටම පුතා ලැබුණට පස්සේ අවුරුදු තුනකට වඩා මම කලා කටයුතුවලින් ඈත් වෙලාම හිටියා. ඊට පස්සේ ගිය අවුරුද්දේ වගේ ඉඳලා ටික ටික කලා කටයුතු කරන්න පටන් ගත්තා. ඒත් ලොකුවට වැඩ භාර ගත්තේ නැහැ. ඉස්සර වගේ වැඩ කරන්න නිදහසකුත් නැහැ. පුතාගේ වැඩවලට බාධාවක්  නොවන විදියට තමයි මම වැඩ භාර ගත්තේ.

දැන් පුතාට අවුරුදු හතරයි. මෑතක දී තමයි මම පූර්ණකාලීනව වැඩ කරන්න පටන් ගත්තේ.


මේ දිනවල ටෙලි නාට්‍ය කිහිපයකින්ම දකින්න ලැබෙනවා. හිරු ටීවී නාලිකාවේ ලංවී, අයි.ටී.එන්. නාලිකාවේ ගගන පියවර, දායක වුණු අලුත්ම ටෙලි නාට්‍යය තමයි සිරස නාලිකාවේ විකාශනය වන චන්දෝලි ටෙලි නාට්‍යය. ඊට අමතරව හිරු TV නාලිකාවේ සුපර් ඩාන්සර් රියලිටි වැඩසටහනේ විනිශ්චය  කටයුතු කරන්න දායක වෙලා ඉන්නවා. මේ දිනවල ඒ වැඩසටහන් රූපගත කිරීම් කරගෙන යනවා. 


‘චන්දෝලි’ නිර්මාණය හිමාලි වෙනස්ම මුහුණුවරකින් ප්‍රේක්ෂකයා අතරට එන නිර්මාණයක්. කොහොමද ප්‍රතිචාර?


චන්දෝලි කියන්නේ මට කාලෙකට පස්සේ ලැබුණු හොඳ පිටපතක්. එහි අධ්‍යක්ෂවරිය තුෂාරි අබේසේකර මහත්මිය සමග මම මීට කලින් වැඩ කරලා තියෙනවා. ඇය තමයි චන්දෝලි ටෙලි නාට්‍යයටත් මට ආරාධනා කළේ. ‘වතිකා’ කියන්නේ මට ලැබුණු වෙනස් විදිහේ චරිතයක්. අත්දැකීම් ගොඩක් ඒ තුළින් මම ලැබුවා.


චන්දෝලි කියන්නේ කාන්තාවන්ට ගොඩක් සුවිශේෂි ටෙලි නාට්‍යයක් කියලා මම හිතනවා. අතීතයේ සිද්ධීන් සමුදායක් වටා ගෙතෙන කතාවක් මේක. ජීවිතේ සමහර තැන්වල වැරදුන, සමාජය විසින් වරද්දවපු, සැමියා මැරුණ, සැමියා දාලා ගිය, දූෂණයට ලක්වූ කාන්තාවන් ඉන්න මඩමක් වටා ගෙතුන කතාවක් මේක. ඒ මඩමට කියන්නේ නාරි මඩම කියලා. ඒ නාරි මඩමේ ඉන්න වතිකා කියන්නේත් සැමියෙක් නැති දරුවෙක් එක්ක තනි වුණු ගැහැනියක්. වතිකා වගේ වෙනස් චරිතයකට පණපොවන්න ලැබීම ගැන සතුටු වෙනවා. වතිකාට ලැබෙන ප්‍රතිචාරත් ඉතාම ඉහළයි.


පුංචි තිරයෙන් ඈත් වෙලා ඉඳපු කාලේ ප්‍රේක්ෂකයන්ට හිමාලිව අමතක වෙලා ද තිබුණේ?


අවුරුදු තුනක් විතර මම වැඩ  නොකර ඉඳලා එකපාරට මට ලැබෙන වැඩ ඔක්කොම භාර ගත්තේ නැහැ. කොළඹින් පිට ගොඩක් දුර යන්න තියෙන නිර්මාණ තාම භාර ගන්නේ නැහැ. මොකද පුතාව එහෙම දාලා යන්න බැරි නිසා. කාලයක්ම දකින්න ලැබුණේ නැති නිසා මෙහෙම කෙනෙක් හිටිය ද කියලත් බොහෝ ද නිර්මාණකරුවන්ට අමතක වෙලා තිබුණා. ආයෙත් නිර්මාණවලින් දකිද්දි තමයි ගොඩක් අය අහන්න ගත්තේ ආයෙම වැඩ කරනව ද කියලා. ඇත්තටම හොඳ නිර්මාණ ගණනාවක්ම මට මග ඇරුණා. සමාජ මාධ්‍ය දියුණු නිසා ප්‍රේක්ෂකයන්ට නම් මාව අමතක වුණේ නැහැ. රංගනය පැත්තෙන් බොහෝ අයට අමතක වුණත් නර්ථනය පැත්තෙන් නම් බොහෝ අය වැඩ පටන් ගත්තේ නැද්ද කියලා මගෙන් නිතර අහනවා.


හිමාලි කිව්වාම නිළියකට වඩා ඔළුවට එන්නේ නර්තන ශිල්පිණියක්. දැන් හිමාලි නර්තනයට තිත තියල ද?


නර්තනය කියන්නේ මගේ ජීවිතයෙන් කොටසක්. මම මුල් තැන දුන්නේ මගේ නර්තන කණ්ඩායමට. මම කවදාවත් නිළියක් වෙන්න හිතුව කෙනෙක් නෙමෙයි. පුතා ලැබෙන්න ඉන්න කාලෙදිම මම නර්තන කණ්ඩායම නතර කළේ පුතා ලැබුණට පස්සේ නැවත පටන් ගන්න හිතාගෙන. ඒත් ඒ වෙනකොට රටේ තිබුණ කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක නැවත නර්තන කණ්ඩායම පටන් ගන්න සුදුසු පරිසරයක් තිබුණේ නැහැ. මේ වෙනකොට මම නර්තනය පැත්තෙන් කරන සියල්ල නතර කරලා තියෙන්නේ.


නැවත නර්තන කණ්ඩායම පටන් ගන්න බලපොරොත්තුවක් නැද්ද?


දැනට නම් නැවත නර්තන කණ්ඩායම පටන් ගන්න තීරණයක නැහැ. මම නර්තන ශිල්පිනියක් විදිහට යම් කලා වැඩක දී දායක වෙනවා ඇරෙන්න සම්පූර්ණයෙන්ම නර්තන කණ්ඩායම නතර කරලා තියෙන්නේ. නර්තනය මගේ ජීවිතේ වගේ. ඒ දේවල් අත්හරින්න සිදුවීම ගැන ලොකු දුකක් තියෙනවා. ඒත් වගකීම් වැඩි වෙනකොට අපිට අකමැත්තෙන් වුණත් සමහර දේවල් අත්හරින්න සිදු වෙනවා.


මේ වෙලාවේ පුතාගේ වැඩකටයුතු ගෙදර වැඩ පවුලේ වගකීම් එක්ක නර්තන කණ්ඩායමක් කරගෙන යන්න කාලය වෙන් කර ගන්න අමාරුයි. ඒ නිසා කරපු දේවල් ගැන සතුටු වෙමින් ඉන්නවා. හැබැයි තාමත් මගේ නර්තන කණ්ඩායමට හොඳ ඉල්ලුමක් තියෙනවා. නර්තන කණ්ඩායම දැන් නැහැ කියලා නොදන්න අය තාමත් මට සංගීත ප්‍රසංගවලට ආරාධනා කරනවා. කරන්නන්වාලේ දේවල් කරන්න මම කැමති නැහැ. වගකීමක් ඇතුව මට කරන් යන්න බැරි නිසා තමයි නර්තන කණ්ඩායම නතර කළේ. හැබැයි හිමාලිට වටිනාකමක් ලැබුණේ නර්තනය නිසා.


සැමියාගෙන් කලා කටයුතුවලට නිදහසක් ලැබිල ද තියෙන්නේ?


සැමියා කවදාවත් මගේ කලා කටයුතුවලට බලපෑම් කරලා නැහැ. මම ගන්න තීරණවලට එයා මුකුත් කියන්නෙත් නැහැ. දැන් මම රඟපෑම් කටයුතු විතරයි පූර්ණ කාලීනව කරගෙන යන්නේ. පුතාව මඟ ඇරෙන්නේ නැතිව වැඩ කිරීම තමයි සැමියාට වැදගත් වෙන්නේ. සැමියාගෙන් මට මුල ඉඳලම මගේ ගමනට ලොකු සහයක් ලැබුණා. ඒ සහය ඒ විදිහටම අඩුවක් නැතුව මට ලැබෙනවා.


දැන් අලුත් නිර්මාණ තුළින් හිමාලිව ඉදිරියට දකින්න ලැබේවිද?


අලුතින් නම් මේ වෙනකොට නිර්මාණවලට ආරාධනා ලැබිලා නැහැ. ගගන පියවර, ලංවී, චන්දෝලි මේ නිර්මාණවල දිගටම වැඩ කරගෙන යනවා. මේ කාලයෙ කලාත්මක නිර්මාණ බිහි වෙනවා හරිම අඩුයි. දැන් තියෙන තරගකාරිත්වයත් එක්ක සඳගල තැන්න වගේ නිර්මාණ බිහිවේවි කියලා අපට බලා ඉන්න බෑ. ඒ වගේ නිර්මාණම සෙව්වොත් තවත් කාලයක් කලාවෙන් ඈත්වෙලා ඉන්න වෙනවා. ඒ නිසා හොඳ පිටපතක් ලැබුණොත් මම භාර ගන්නවා.


ඇත්තටම මට දැනෙන නිර්මාණ කරන්න ලැබුණේ හරිම අඩුවෙන්. රංගනය ඇතුළේ මට තව දේවල් කරන්න හැකියාව තියෙනවා කියන එක විශ්වාසයි.


නර්තනයෙන් හා රංගනයෙන් වැඩි කැමැත්ත මොකක්ද කියලා ඇහුවොත්?

දශමයක් හරි වැඩි ආදරයක් අත්හරින්න බැරි බැඳීමක් තියෙන්නේ නර්තනයට. ඒත් ඕනම දෙයක් සහ ඕනම ක්ෂේත්‍රයක ආදරෙන් කැමැත්තෙන් සතුටින් වැඩ කරද්දී ඒක සාර්ථක වෙනවා.


පුතා අම්මාගේ අඩි පාරේ යයි ද?


පුතා සචෙල් පෙරේරා. තාම පෙර පාසල් යනවා. ඒ වුණාට අම්මා වගේම නර්තනයට දක්ෂයි. පුතා කලාව හරි විදිහට ඇසුරු කරනවා නම් මම හරි කැමතියි. කොහොම වුණත් එයා කැමති පාරක යන්න සැමියයි

මමයි මග පෙන්වනවා.


නදීශා අතුකෝරළ





Previous Post Next Post