අද වෙනකොට ඇය මගේ මුළු ලෝකයම වෙලා - අශේන් සිරිවර්ධන




මනීෂා චංචලා ගායිකාවක්, රංගන ශිල්පිනියක්, නිවේදිකාවක් ලෙස ආදරය දිනූ කලා ශිල්පිනියක්. පුංචි තිරයේ ආදරවන්තිය වුණ ඇය සැබෑ ජීවිතයෙත් පෙම්වතියක්. ඇයගේ හිතගත් සහ ජීවිතයේ ඉදිරියට හිත් බැඳිලා දුර යන්න හීන දකින ඔහු රංගන ශිල්පී අශේන් සිරිවර්ධන. ආදරණීය ජීවිතයකට මුල පුරන්න සූදානමින් ඉන්න මනීෂා සහ අශේන් ඔවුන්ගේ ජීවිතය ගැන කතා කළේ මේ විදිහට.


කොහොමද මනීෂා වැඩ කටයුතු. රංගන කටයුතු එක්ක කාර්යබහුල වෙලාද?


ඉතාමත් සතුටින්, හොඳින් වැඩ කටයුතු කරගෙන යනවා. දැනට දෙරණ නාළිකාවේ විකාශය වන “අපි එක රෑනේ” ටෙලි නාට්‍යයේ රූගත කිරීම් කරගෙන යනවා. සංගීත විශාරද විභාගයේ පාඩම් වැඩ කටයුතු එක්කත් පසුගිය දවස්වල ටිකක් කාර්යබහුල වුණා. මේ දවස්වල අවුරුදු වැඩසටහන් එක්ක තමයි ගොඩක්ම කාර්යබහුල වෙලා ඉන්නේ.


ඇත්තටම මනීෂා කියන ගායිකාව දැන් කෝ? ඇය වැඩසටහන්වලට විතරක් සීමා වෙලාද?


එයා මගේ ඇතුළේ ජීවත් වෙනවා. ඒ ගායිකාව කියන භූමිකාවට නියම වටිනාකමක් දෙන්න ඕන නිසාම තමයි මම ටික කාලයක් අරගෙන සංගීත විශාරද විභාගයත් හෙමින් හෙමින් අවසන් කළේ. සංගීත නිර්මාණ කිහිපයක් වෙනුවෙන් මේ දවස්වල ලෑස්ති වෙනවා.


ගායිකාවක් වෙන්න පාර කපන් ආපු මනීෂා රංගන ශිල්පිනියක් වීම ගැන අද සතුටින්ද?


ඒ ගැන ගොඩක් සතුටින් ඉන්නේ. රංගනය කියන්නේ ගායනය නිසා මට ලැබුණු වරප්‍රසාදයක් කිව්වොත් හරි. රංගනය, ගායනය, නිවේදනය කියන ක්ෂේත්‍ර තුන ගැනම මට තියෙන්නේ අසීමිත ආදරයක් සහ ගෞරවයක්. ඒ නිසා හැම දෙයක්ම මම වටිනාකමක් දීලා කරගෙන යනවා.


රංගන ශිල්පිනියක් වීම නිසා, ජනප්‍රියත්වය නිසා ඔබේ පෞද්ගලිකත්වය නැති වෙලා තියෙනවද?


කලාකරුවෙක් හෝ කලාකාරිනියක් වෙනවා කියන්නෙම අපි අයිති වෙන්නේ ප්‍රේක්ෂකයාට. ඉතින් ඔවුන් අපේ කලා ජීවිතේ ගැන වගේම පෞද්ගලික ජීවිතේ ගැනත් වැඩි අවධානයක් ලබාදෙනවා. ඔවුන්ගේ ආදරය පරිණත ආදරයක් නම් මේ භූමිකා දෙකේදීම ඔවුන් අපිව බොහෝම හොඳින් තේරුම් ගන්නවා. එහෙම අවස්ථාවක පෞද්ගලිකත්වය නැති වෙනවා කියන්න හොඳ නැහැ.


ඔබ දැන් පෙම්වතියක්. ඔහු ගැන කියන්න අකැමැති නෑ නේද?


ඔහු අශේන් සිරිවර්ධන. ඔහු කරාතේ ගුරුවරයෙක් වශයෙන් කටයුතු කරනවා. ඊට අමතරව ඔහු රංගන ක්ෂේත්‍රයෙත් කැපී පෙනෙන චරිතයක්.


කොහොමද මේ ආදර කතාව පටන් ගත්තේ?


අපි මුණගැහෙන්නේ මේනක රාජපක්ෂ අධ්‍යක්ෂණය කළ


“ගුග්ලි” ටෙලිනාට්‍ය හරහා. ඇත්තටම අපි හොඳ යාළුවෝ වෙන්නෙත් ටෙලිනාට්‍ය අවසන් වෙන්න ළං වෙලා. ටික කාලයක් හොඳ යාළුවෝ වෙලා ඉන්නකොට අපිටම තේරුණා අපිට අපිව මුණගැහිලා තියෙන්නේ ආදරණීය හේතුවක් නිසා කියලා.


රංගන ක්ෂේත්‍රයන්ම පෙම්වතාව තෝර ගන්න විශේෂ හේතුවක් තියෙනවද?


මුල් කාලයේ බලාපොරොත්තුවක් තිබුණේම නැහැ මේ ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් එක්ක විවාහ වෙනවා කියලා. නමුත් පසුකාලීනව තේරුණා දෙන්නම එකම ක්ෂේත්‍රයේ වුණොත් තේරුම් ගැනීම පැත්තෙන් රැකියාව වගේම ජීවිතෙත් පහසු වෙයි කියලා.


සමහර අය කියනවා එකම ක්ෂේත්‍රයෙන් සහකාරිය හෝ සහකාරයා තෝරා ගැනීම තේරුම් ගැනීමේ ප්‍රශ්න මතුවෙන්න හේතු වෙනවලු. ඔබට එහෙම දැනිලා නැද්ද?


ඇත්තටම නැහැ. අපි දෙන්නාට ක්ෂේත්‍රය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. අපි දෙන්නාම ක්ෂේත්‍රය ඇතුළේ එක විදිහක් පෞද්ගලික ජීවිතය ඇතුළේ එක විදිහක් නෙමෙයි. දවස අවසානයේ අපි හැමදේම කතා කරනවා. අපි වෙන් වෙන් වශයෙන් කටයුතු කරන සහ නොකරන හැම අවස්ථාවකම අපේ සම්බන්ධයේ වටිනාකම ආරක්ෂා කරනවා. ඉතින් තේරුම් ගන්න අමාරු ප්‍රශ්න නැහැ.


ඔබ පෙම්වතෙක්ගෙන් විශේෂයෙන් බලාපොරොත්තු වුණ දේවල් තියෙනවද?


ඔව්. යටි හිතේ තිබුණ පුංචි දෙයක් තමයි රූප‍යෙන් මගේ අප්පච්චි වගේ වුණා නම් හොඳයි කියලා. අද ඒක ඇත්තක් වෙලා තියෙනවා. අශේන් මගේ අප්පච්චි තරුණ කාලයේ වගේමයි. මවුපියන්ට ආදරය කරන, පොළවේ පය ගහලා ඉන්න අවංක චරිතයක්, බොරු ආටෝප නැති, මානුෂීය හැඟීම් තියෙන හරිම සාමාන්‍ය මනුස්සයෙක් තමයි මම බලාපොරොත්තු වුණේ.


අශේන්ට හිත දෙන්න ඒ කාරණා ඔහු තුළ තිබ්බද?


අශේන්ව මම මුලින්ම දකින්නේ මවුපියන්ට හරිම ආදරය කරන, ගෞරව කරන කෙනෙක් විදිහට. තමන්ගේ මවුපියන්ට ආදරය, ගෞරවය කරන්න දන්නේ නැති කෙනෙක් තව කෙනෙක්ට ආදරය ගෞරවය කරන්නේ නැහැ කියලා මම හිතනවා. ඒ පැත්තෙන් අශේන් හරිම පොහොසත්. ඒ වගේම හරිම අහිංසක, ඉවසිලිමත්, බුද්ධිමත් චරිතයක් එයා.


පෙම්වතා තෝරා ගනිද්දි රූපයටත් මුල් තැනක් දුන්නද?


රුපය කියන්නේ හරිම අස්ථීර දෙයක්. ඒ ගැන මම චුට්ටක්වත් හිතන්නේ නැහැ. රූපය නෙමෙයි, හිතන පතන විදිහයි ලස්සන සහ ප්‍රියමනාප විය යුත්තේ. නමුත් මගේ වාසනාවට එයාගේ හදවතයි රූපයයි දෙකම එක වගේ ලස්සනයි.


ඔය ආදර කතාවට පවුලේ අයගේ කැමැත්ත කොයි වගේද,?


ඒක හරිම පුදුම හිතෙන දෙයක්. සාමාන්‍යයෙන් සම්බන්ධතාවයක් වෙනුවෙන් මගේ ගෙදරින් කැමැත්ත ගන්න හරිම අමාරුයි. නමුත් අශේන් ගැන කියපු ගමන් සහ අශේන් ගෙදර හැමෝම එක්ක කතා කරපු මුල් අවස්ථාවේ ඉඳලාම මගේ අම්මා අප්පච්චි අක්කිලා දෙන්නා හරිම ආදරෙන් අශේන්ව පිළිගත්තා. අද වෙනකොට ගෙදර චූටි පුතා එයා. ඉතින් අපේ පුංචි පවුල දැන් සර්ව සම්පූර්ණයි.


ඔබේ තෝරා ගැනීම් විවේචනය කරන පිරිසක් ඉන්නවා. ඔබ ඒ විවේචනවලට මුහුණ දෙන්නේ කොහොමද?


විවේචන වුණත් හොඳ නරක දෙපැත්තෙන්ම ලැබෙනවා. ගත යුතු දේ අරගෙන අනෙක් දේවල් බැහැර කරන්න අපිට හොඳ අවබෝධයක් තියෙනවා. සමහර විවේචන සත්‍ය නොදැන එල්ල කරන දේවල් නිසා බොහෝම ඉවසීමෙන් බුද්ධිමත්ව ඒ දේවල්වලට මුහුණ දෙනවා. කතාවක් තියෙනවානේ “ප්‍රශ්නය තමන්ගේ වෙනතුරු පිළිතුර දාර්ශනිකයි” කියලා..


අශේන් සහ ඔබ විවාහ වෙන දවසක් ගැන හිතලද තියෙන්නේ?


බොහෝම ඉක්මණින් අපි අපේම වෙනවා.


ඒ දවස බොහෝම ළඟයි.


අශේන් ඔබත් මේ දවස්වල රංගනයට කාර්යබහුල කෙනෙක්ද?


මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. ස්වාධීන රුපවාහිනියේ විකාශයවන “දිව්‍යාදරී” ටෙලි නාට්‍යයේ රූගත කිරීම් එක්ක සහ තවත් ටෙලි නාට්‍ය තුනක රූගත කිරිම් මේ දිනවල සිදුවෙනවා.


ළඟදීම කරපු තවත් ටෙලි නාට්‍යයක් විකාශය වෙන්න නියමිතයි. ඒ නිර්මාණයේ අධ්‍යක්ෂ ඉරේෂ් ලොකු බණ්ඩාර සහ සහය අධ්‍යක්ෂ අකලංක කලුආරච්චි මේ වෙලාවේ මතක් කළ යුතුමයි.


ඔබේ හීනය හැබෑ කරගන්න පාර කැපුණේ කොහොමද?


මුලින්ම මේ ක්ෂේත්‍රයට එන්න මට ලොකු උත්සාහයක් දරන්න වුණා. ගණන් කරන්න බැරි තරම් සම්මුඛ පරීක්ෂණවලට මම ගිහින් තියෙනවා. ඒවායින් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. නමුත් මම සටන අතහරින කෙනෙක් වුණේ නැහැ. ඔය අතරේ තමයි මගේ විශ්වවිද්‍යාලයේ හොඳම යාළුවෙක් වුණ පරිස්තා ස්මිත් හරහා මට වෙළඳ දැන්වීමකට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ. එතැනින් පටන්ගත්ත ගමනෙන් පස්සේ වෙළඳ දැන්වීම් බොහෝමයක ප්‍රධාන චරිත නිරුපණය කරන්න අවස්ථා ලැබුණා.


ඉන් පසුව තමයි මම ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙක් විදිහට සිරස නාළිකාවේ විකාශය වුන “රැස්” ටෙලිනාට්‍ය එක්ක සම්බන්ධ වෙන්නේ. හිරු නාළිකාවේ විකාශය වුණු “අහස් මාළිගා” ටෙලිනාට්‍යයේ “තේජාන්” කියන ප්‍රධාන චරිතය නිරුපණය කරන්න අවස්ථාව ලැබුණා. ඒ පටන්ගත්ත ගමන අද සාර්ථකව පියවරෙන් පියවර ඉදිරියට යමින් ඉන්නවා.


නළුවෙක් වෙන්න ඕන වුණේ ජනප්‍රිය වෙන්නද? නැත්නම් වෙනත් හේතුවකටද?


ඇත්තම නම් ජනප්‍රිය වීම නෙවෙයි මගේ මූලික අරමුණ වුණේ. පුංචි කාලේ ඉඳලා කරාතේ සටන් ශිල්පය ඉගෙනගන්න කෙනෙක් විදිහට මට ඕන වුණේ සටන් පිළිබඳ විශේෂ රංගන ශිල්පියෙක් වෙන එක. ඒ හරහා ප්‍රේක්ෂක ආදරය ලැබීම මම භාග්‍යයක්, ගෞරවයක් විදිහට සලකනවා.


නළුවෙක් නොවුණා නම් ඔබ හොඳ සටන් ශිල්පියෙක් වෙන්නද ඉඩ තිබුණේ?


රංගන ශිල්පියෙක් නොවුණා නම් මම ගුවන් නියමුවෙක් විදිහට කටයුතු කරන්න තිබුණා. ඒ දේ වෙනුවෙන් මට තිබුණේ දැඩි කැමැත්තක්. ඒ වෙනුවෙන් මම උසස් අධ්‍යාපන කටයුතු එක්කත් සම්බන්ධ වෙලා හිටියා. දැන් මම රංගන ශිල්පියෙක් වෙන හීනය හැබෑ කරගෙන තියෙනවා. සටන් ශිල්පය පිළිබඳ ගුරුවරයෙක් වශයෙනුත් මම කටයුතු කරගෙන යනවා.


රංගන ක්ෂේත්‍රයට ඇවිත් එයින්ම පෙම්වතියත් තෝරාගන්න හීනයක් තිබ්බද?


මුල් කාලයේ පෙම්වතිය ගැන සැලසුමක් ඇත්තටම තිබුණේ නැහැ. නමුත් ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරගෙන යද්දී තේරුණා සහකාරිය ක්ෂේත්‍රයේ කෙනෙක් වුණොත් හැමදේම තේරුම් ගන්න එක, ජීවිතේ බෙදාගන්න එක ලේසී වෙයි කියලා. ඉතින් නොහිතපු විදිහට අද ඒක ඇත්තක් වෙලා.


මනීෂා ළඟ ඔබේ හිත නැවතුණේ කොහොමද?

මම මුලින්ම ඇයව ටෙලිවිෂනයෙන් දකින අවස්ථාවේ ක්ෂේත්‍රයට එන එක මට හීනයක් වෙලා තිබුණේ. නමුත් මම හිතුවා රඟපාන්න ගිය කාලේක එක දවසක එක තත්පරයකට හරි මනීෂාව මුණගැහෙනවා කියලා. ක්ෂේත්‍රයට ඇවිල්ලත් මට ඇයව මුණගැසුනේ අවුරුදු කිහිපයක් ගිහින්. ඒක හීනයක්. මේනක රාජපක්ෂ අධ්‍යක්ෂණය කළ “ගුග්ලි” ටෙලි නාට්‍යයේ මගේ පෙම්වතියට ඉන්නේ මනීෂා කියද්දි මට ඇත්තටම කියාගන්න බැරි සතුටක් දැනුණා. රූගත කිරීම්වලදී ඇයව මුණගැසුණ වෙලාවේ මට තේරුණා ඇය බොහෝම සුන්දර චරිතයක් කියලා. ඉතින් අපි හොඳ යාළුවෝ වුණා. අද වෙනකොට ඇය මගේ මුළු ලෝකෙම වෙලා.


ඇයගේ විශේෂත්වයක් ඔබ දකිනවද?


ඇය බොහෝම සාමාන්‍යයි. අවංකයි. ආදරණීයයි. ඇය තමන්ගේ පවුලට ලොකු වටිනාකමක් දෙන කෙනෙක්. මවුපියන්ට ආදරය කරන හරි ලස්සන හිතක් තියෙන කෙනෙක් සහ ඇය හැමෝටම හුඟක් උදවු කරගෙන ජීවත් වෙන කෙනෙක්. අද වෙනකොට මගේ ජීවිතේ ඇතුළෙත් බොහෝමයක් දේවල් ඇය නිසා මම හරිම පිළිවෙළින් සිදු කරනවා.


ඔබ ඇයගේ කැමැතිම ගති ගුණ මොනවද?


ඇය හරිම පිරිසිදු කෙනෙක්. ගෙදර දොර වුණත් හරිම පිළිවෙලට තියාගන්න ඇය හරිම කැමති කෙනෙක්. ඒ වගේම ඇය මට ගොඩක් ගෞරව කරනවා. නිතරම මගෙන් ආරක්ෂාව, අවධානය ඇය බලාපොරොත්තු වෙනවා. ඒ දේවල්වලට මම හරිම කැමති‍යි.


ඔබ ඇගේ ජීවිතයට සීමා දාලා නැද්ද?


කොහෙත්ම නැහැ. මගේ ළඟ ඇය ඇය විදිහටම ජීවත් වෙනවා. ඒක තමයි මගේ එකම සතුට.


සීමා දාන්න හිතිලත් නැද්ද?


නැහැ. මම ඇය එක්ක ජීවිත කාලේම ඉන්න තීරණය කරන්නේ ඇය මගේ වෙන්න කලින් හිටපු චරිතයට මම ආදරේ කළ නිසානේ. ඉතින් මගේ වුණාට පස්සේ ඇයි සීමා දාලා ඇයව හිර කරන්නේ. එතකොට ඉන්නේ මම ආදරේ කරන්න පටන් ගත්ත චරිතය නෙවෙයිනේ. ඇය මට සීමා දාන්නෙත් නැහැ. ජීවිතය, ආදරය, වගකීම් එක්ක අපි අපිම හිතලා කතා බහ කරලා වෙනස් වෙන එක වෙන දෙයක්. නැතුව සීමා පනවලා ඇයට ඇයව නැති කරන්න මම කැමති නැහැ.


ඔය ආදරේ කතාවේ නොගැළපීම් ඇත්තෙම නැද්ද?


නොගැලපීම් නැති ආදර කතා නැහැනේ. අපෙත් නොගැලපීම් ඇති. නමුත් අපි ඒ දේවල් ගැන වැඩි අවධානයක් දෙන්න යන්නේ නැහැ. අපි බොහෝම සමාන්‍ය විදිහට ජීවත් වෙනවා. ඉතින් අපි ආදරෙන් සතුටින් ඉන්නවා.


නොගැළපීම් තිබුණොත් මොකද කරන්නේ?


අපි දෙන්නාගේ නොගැළපීම් නම් හුඟක් නැහැ කියන එක අපි දෙන්නාම දන්නවා. තිබුණත් කතාබහ කරලා විසඳගන්න පුළුවන් හරිම පුංචි පුංචි දේවල් තමයි තියෙන්නේ. එහෙම අවස්ථාවල අපි කතා කරලා ඒවා විසඳගන්නවා. ආදරේ කරද්දි සන්නිවේදනය කියන දේ ඉතාමත් වැදගත්. ඇත්තටම අපි දෙන්නට ආදරෙන් ජීවත් වෙන්න ඕන කරන හැමදේම අපි දෙන්නාගේම දෙමව්පියෝ හරි ආදරෙන් කියලා දෙනවා. ඒ නිසා ඇත්තටම ජීවිතේ පහසුයි.


 





Previous Post Next Post