වෙනස් ක්ෂේත්‍රයකින් ලයිෆ් පාට්නර් කෙනෙක් තෝරා ගන්න එක හොඳයි - ෆැලන් ඇන්ඩ්‍රියා



රියැලිටි වේදිකාවෙන් කරළියට පැමිණි ෆැලන් ඇන්ඩ්‍රියා මේ වෙද්දී තමන්ටම අනන්‍ය වූ තැනක් ක්‍ෂේත්‍රයේ ගොඩනගා ගනිමින් ඉන්නවා. ප්‍රසංග වේදිකාවට වෙනස්ම හැඩයක් ගෙන එන ෆැලන්ගෙ අලුත්ම විස්තර මොනවද කියල දැනගන්න අප ඇයට කතා කළා.


මේ දවස්වල මොකද වෙන්නේ?


ඇත්තම කියනවා නම් ඇත්තටම මේ දවස් කාර්යබහුලයි. ඒ ගැන දොස් කියනවා නෙවෙයි. මං ආසයි කාර්යබහුල වෙන්න. නමුත් මහන්සියි. මේ දවස් වල ලංකාවේ ප්‍රසංග සහ විදෙස් සංචාර තියෙනවා. ඒ එක්කම ඩ්‍රීම් ස්ටාර් 11 නිවේදන කටයුතු කරන්නෙත් මම.


කාලෙකට කලින් තමන් තරග කරපු වේදිකාවේම අලුත් භූමිකාව ගැන මොකද හිතෙන්නේ?


ඒක මට අලුත්ම අත්දැකීමක්. මිට කලින් මම වැඩසටහනක් මෙහෙයවලා නැහැ. මම තරග කරපු වේදිකාව මතම අලුත් තරගකරුවන් තරග කරද්දී, එදා හිටිය විනිශ්චය මණ්ඩලය ඉදිරියේ, මටත් වෝට් කරපු ප්‍රේක්ෂකයන් ඉදිරියේ වැඩසටහනක් මෙහෙයවන්න ලැබීම මට ලැබුණු හොඳ අවස්ථාවක් විදියට දකින්නේ. වැඩසටහනක් මෙහෙයවන එක ලෙහෙසි පහසු දෙයක් නම් නෙවෙයි. ඒක වැඩසටහනක් කරන කොට තමයි තේරෙන්නේ. ඉතින් මම මේ කාලේ ඒ අත්දැකීමත් ගන්න ගමන් හරිම ආසාවෙන් කරගෙන යනවා.


ඔය තියෙන අධික කාර්යබහුලතාවය නිසාම ෆැලන්ගේම නිර්මාණ පහුවෙයිද?


මේ වැඩ නිසා මගේ නිර්මාණ ගොඩක් පහු වුණා. මේ වෙනකම් හරියටම මගේ සින්දුවක් එළිදක්වන්න ලැබුණේ නැහැ. සින්දු කිහිපයක් කරලා තියෙනවා. නමුත් ප්‍රේක්ෂකයන් අතරට ගිහින් ලොකු කතාබහක් ඇති කර ගන්න මට වෙලාවක් තිබ්බේ නැහැ. මේච්චර කල්, කල් ගිය මගේ නිර්මාණවල වැඩකටයුතු ඉවර කරලා මේ මාසේ මගේම නිර්මාණයක් අහන්න පුළුවන්. ඊට පස්සේ මම හිතාගෙන ඉන්නවා මාස දෙකෙන් දෙකට වගේ මගේ නිර්මාණ එළිදක්වන්න.


ඉඟියක් දෙන්න පුළුවන් ද මොන වගේ නිර්මාණ ද අහන්න ලැබෙන්නේ කියලා?


මගේම නිර්මාණ කිහිපයක්ම අහන්න පුළුවන්. ඒ සියල්ල එකිනෙකට හාත්පසින්ම වෙනස් නිර්මාණ. චමිල් ශවීන්ද්‍ර කියන අලුත් ප්‍රොඩියුසර් එක්ක වෙනස් විදියේ යුග ගීතයක් කරලා තියෙනවා. ඒක මම මීට කලින් කරලා නැති විදියේ ගීතයක්. ඒ වගේම රෝහණ වීරසිංහ මහත්මයා මට මගේම කියලා ගීතයක් නිර්මාණය කරලා දුන්නා. ඒ ගීතයත් එළිදක්වන්න හිතාගෙන ඉන්නවා. ඒ එක්කම රැප් එකක් එක්ක ගීතයක් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. ඔය වගේ අමුතු විදියේ ගීත කිහිපයක්ම එන්න තියෙනවා. තව දෙයක් මම තවම දුක හිතෙන විරහ ගීත කරලා නැහැ. ඉදිරියේදී විරහා ගීතයකුත් කරන්න ඉන්නවා.


ෆැලන්ට රංගනයට ආරාධනා ලැබිලා නැද්ද?


රංගනයට ආරාධනා ලැබිලා තියෙනවා. මහ ලොකු ආරාධනා ගොඩක් නෙවෙයි. නමුත් මට දැනට විකාශය වෙන ටෙලි නාට්‍යයක හඳුන්වාදීමේ චරිතයකට ආරාධනා ලැබුණා. මම හිතන්නේ නැහැ මම රංගනයට දක්ෂයි කියලා. නිවේදන කටයුතු කරන්න ගත්තම තමයි මට තේරුම් ගියේ ඒ ක්‍රියාව සාර්ථකව කරන්න එක එක වෘත්තීන්ට මොන තරම් දැනුමක් සහ අත්දැකීම් තියෙන්න ඕනේ ද කියලා. ඉතින් මම රංගනය තුළ දකින්නේ අතිවිශාල කාර්යභාරයක්. ඒ නිසා මගේ හිතේ රංගනයට පිවිසෙන්න ඕනේ කියන අදහසක් නැහැ. දැනට මට ඇවිත් තියෙන සුළු ආරාධනා ටික පවා මම ඉතා සුහදව ප්‍රතික්ෂේප කරලා තමයි තියෙන්නේ.


මේ වෙද්දී ලැබෙන ප්‍රතිචාර එක්ක ආපු ගමන් මඟ ගැන මොකද හිතෙන්නේ?


ඇත්තටම සන්තෝෂයි. හීනෙකින්වත් හිතපු නැති අවස්ථාවක තමයි මට මගේ සිහිනය වෘත්තීය බවට පත් කර ගන්න පුළුවන් වුණේ. ඒ නිසා මම සතුටුයි ආ මඟ ගැන. ඒ එක්කම ඒ දවස්වල තිබ්බ ප්‍රේක්ෂක ප්‍රතිචාර වලට වඩා වැඩි ප්‍රතිචාර දැන් ලැබෙනවා. ඒ කියන්නේ තරගාවලියෙන් පස්සෙත් මා වටා අලුත් ප්‍රේක්ෂකයන් එකතු වෙලා තියෙනවා. ඒ ආදරේට මම හැමදාම ආදරෙයි.


සැබෑ ජීවිතේ ආදරේ දකින්නේ කොහොමද?


ආදරය කියන එක හැමෝම කියනවා වගේ විවිධාකාර විදියට ඕනේ. මවුපියන්ගෙන් සහෝදරයන්ගෙන් සහ මිතුරන්ගෙන් වගේම දැන් මම කලාකරුවෙක් විදියට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරේ විවිධාකාරයෙන් මම ලබනවා. ඒ හැර ලයිෆ් පාට්නර් කෙනෙක්ගෙන් ආදරේ මට ඕනේ. මේ හැමදේම මම දකින්නේ තියෙන්න ඕනේ ඉතාම අත්‍යවශ්‍ය දෙයක් තමයි මනුස්ස ජීවිතේට.


දැන් ලයිෆ් පාට්නර් කෙනෙක් තෝරා ගන්නෙත් සංගීත ක්ෂේත්‍රයෙන්ම ද?


මම දකින්නේ සංගීත ක්ෂේත්‍රයට වඩා වෙනස් ක්ෂේත්‍රයකින් ලයිෆ් පාට්නර් කෙනෙක් තෝරා ගන්න එක හොඳයි. ලයිෆ් ස්ටයිල් දෙක එක වගේ වුණාම සමහර වෙලාවට සමහර දේවල් මඟ හැරෙන්න පුළුවන්. ඒ නිසා ලයිෆ් එක කියන දේ සමබරව පවත්වාගෙන යන්න පුළුවන් විරුද්ධ ක්ෂේත්‍ර දෙකකට. ඒ නිසා මේ ක්ෂේත්‍රයේ කෙනෙක්වම මම තෝරා ගන්නේ නැති වෙයි.


ඔබේ ගමනට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?


කියාගන්න බැරි තරම් ලොකු සහයෝගයක් ලැබෙනවා. මම ගිහින් නැති අලුත් තැනකට නම් යන්නේ අදටත් මගේ අම්මා මා එක්ක එනවා. දුර ඉවෙන්ට්ස්වලට යද්දී තාත්තා තමයි මාව එක්ක යන්නේ. පවුලේ තියෙන සහයෝගය කියන්නේ එයාලගේ තියෙන වැඩ කල් දාගෙන මගේ දේට මුලිකත්වය දීලා කටයුතු කරනවා. මගේ නංගිලා දෙන්නා, මගේ නෑදෑයින් සහ යාළුවොත් එහෙමයි.


අපි දකින ෆැලන් නම් දඟකාර කෑගහලා විවෘතව කතා කරලා ඉන්න කෙනෙක්, ඇත්තටම ෆැලන් කියන්නේ මොන වගේ චරිතයක් ද කියලා ඇහුවොත්?


ඇත්තටම කියනවා නම් මම ඒ දකින කෙනාම තමයි. ඇත්තටම මට චරිත දෙකක් නැහැ. මම ගෙදර ඉන්නකොටත් කෑගහලා ඉන්න කෙනෙක්. කට්ටිය කියන්නේ නම් කනක් ඇහෙන්නත් නැහැ කියලා. වේදිකාවේ දී වගේම තමයි මම හරිම ආදරණීය කෙනෙක්. හැබැයි මිනිසුන්ගේ හිත් රිද්දන්න කැමති කෙනෙක් නෙවෙයි. ඒ නිසා පාඩුවේ සතුටින් ඉන්න කැමති කෙනෙක්.


ෆැලන් ඇන්ඩ්‍රියාව කොතනටද ඔය අරන් යන්නේ, මොකක්ද ඩ්‍රීම් එක?


මගේ ඩ්‍රීම් එක තමයි International Recognize Artist කෙනෙක් වීම. තාම මම ඒකට අඩිය තිබ්බා විතරයි. තාම මම මේ ක්ෂේත්‍රයට ඉතාම ආධුනිකයි. තව සෑහෙන දේවල් කරන්න තියෙනවා. මගේ සැලසුම් තියෙනවා. ඒ සියල්ලේ අවසානය වෙන්නේ ලංකාවට කීර්තියක් අභිමානයක් එක් කරන්නට පුළුවන් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ගායිකාවක් වෙන එක.


 




Previous Post Next Post