ජ්‍යොතිෂ්‍ය පැත්ත අපේ ගෙවල්වලින් ගොඩක් විශ්වාස කරනවා - දමිත්‍රි සුබසිංහ

 


පුංචි තිරයේ වැඩි ප්‍රේක්ෂක ආදරයක් ආකර්ෂණයක් දිනාගෙන සිටින නව පරපුරේ ජනප්‍රිය කලාකාරිනියක් තමයි දමිත්‍රි සුබසිංහ. පසුගියදා ඇය බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වුණු චරිතයක් වුණා. ඒ ඇයගේ විවාහ උත්සවය පැවැත්වීමත් සමගින්. මෙවර ඇය ගැන කතා කරන්නට ඉඩක් වෙන් කරන්නට සිතුවා.


දමිත්‍රි - කේසර ආදර කතාව ආරම්භ වෙන්නෙ  කොහොමද?


කේසරව මට මුණගැහෙන්නේ 2017 වසරේ. ඒ හමුවීම සිදුවෙන්නෙ අපි දෙන්නම එකම තැනක රැකියාව කරපු නිසා. අපි දෙන්නම එකම බැංකුවක තමයි සේවය කළේ. එතැනදි මුණගැහුණු අපි මුලින්ම හොඳම යාළුවො වුණා. යාළුවො විදියට කාලයක් ඉඳලා මීට අවුරුදු දෙකකට පමණ පෙරදි වගේ තමයි දෙන්නගෙම හිත්වල නොහිතපු විදියට ආදරයක් ඇති වුණේ.


මේ ආදර කතාවට ගෙවල්වලින් ලැබුණු ආශිර්වාදය ගැන කතා කළොත්?


අපි දෙන්නා අතර මුලින්ම තිබුණෙ යාළුකමක්නෙ. ඒ යාළුකම් ගෙවල්වලින් කොහොමත් දන්නවා. ඒ නිසා ගෙවල් දෙකෙන්ම අකමැත්තක් තිබුණෙ නැහැ. අපේ සම්බන්ධය ගෙවල්වලිනුත් බලාපොරොත්තු වුණු දෙයක් වගේ තමයි ඒ කැමැත්ත සහ ආශිර්වාදය ලැබුණෙ.


ජ්‍යොතිෂය පිළිබඳ තියෙන විශ්වාසය කොහොමද?


ජ්‍යොතිෂය පැත්ත අපේ ගෙවල්වලින්  ගොඩක් විශ්වාස කරනවා. විශේෂයෙන් කේසරගෙ පවුලෙන් ඒ පැත්ත බලනවා. ඉතින් ඒ සම්බන්ධවත් කිසිදු ගැටලුවක් අපි දෙන්නට තිබුණෙ නැහැ. හැමදේම හරි විදියට ගැළපුණා.


ඒ විදියට හැමදේම ගැළපුණු කේක්සරට හිත යන්න හේතුව ගැන කිව්වොත්?


ඕනෑම ගැහැණු ළමයෙකුගෙ හෝ පිරිමි ළමයෙකුගේ තමන්ගේ හිතේ ඇඳුණු රූපයක් තියනවනෙ. අපි ජීවිතේට කෙනෙක්ව ළං කර ගන්නෙ ඒ ඇඳුණු කෙනා. ඒ තමයි තමන් බලාපොරොත්තු වෙන පුද්ගලයා. ඉතින් හිතට වැදුණු, දැනුණු හැම අතින්ම මට සම්පූර්ණ වුණු කෙනා තමයි කේසර. මට හිතෙන්නෙ මේ හමුවීම ආත්ම ගණනක බැඳීමක් කියලා.


හිතුවා වගේම ආදරයක් දමිත්‍රිට ලැබුණා ඒ කියන්නේ?


අනිවාර්යයෙන්ම, කේසර මට හමුවුණු මුල් දවසේ ඉඳන් මට ඒ ආදරේ දැනුණා. අපි අතර ගැටලුවක් ඇති වුණත් අපි උත්සාහ කරන්නෙ ඒ හැම දේම විසඳගෙන ඉදිරියට යන්න. ආදරය, විශ්වාසය, තේරුම් ගැනීම එක්ක මේ ආපු ගමන විවාහය දක්වා යන්න හැකි වුණේ ඒ හැමදේම නිසා තමයි.


දමිත්‍රිගේ විවාහ උත්සවය පසුගියදා වැඩි කතාබහකට ලක්වුණා නේද?

ඔව්. ඇත්තටම ඒ ගැන නම් හරිම සතුටුයි. සාමාන්‍යයෙන් ගැහැණු ළමයෙකුගේ ලොකු ආශාවක්නෙ තමන්ගේ විවාහ උත්සවය ලස්සනට අවසන් වෙනවා දැකීම. ඉතින් මගේ විවාහ උත්සවයත් කිසිම කෙනෙකුගෙන් කිසිදු විවේචනයක් නැතිව ලස්සනට අවසන් කරගන්න හැකි වුණා. හැමෝම කිව්වේ චාම් සරල විවාහ මංගල්‍යයක් කියලා. ඉතින් ඒ විදියට ලස්සනට අවසන් වෙලා ගොඩක් දෙනෙක්ගේ කතාබහට ලක්වීම ගැන ගොඩක් සතුටුයි.


විවාහය සැලසුම් කළේ ඔබ දෙපළම ද?


ඔව්. අපිට විවාහ සැලසුම්කරුවන් හිටියේ නැහැ. අපි දෙන්නගේ අදහස් මුල් කරගෙන තමයි හැම දේම සිදුවුණේ. ඇත්තටම මම හිතපු දෙයක් තමයි කවදාහරි මනාලියක් වෙනවා නම් ඒ දවසට හරිම චාම් මනාලියක් විදියට සැරසෙන්න ඕනෑ කියන දේ. මම කොහොමත් කැමතිම සරල විදියට අඳින්න, පළඳින්න. සාමාන්‍ය ඇඳුම් අඳිද්දි වුණත් එහෙමයි. ඉතින් විවාහය දවසටත් චාම් සරල උඩරට මනාලියක් වෙන්න තමයි ඕනෑ වුණේ. ඉතින් මාව ලස්සන මනාලියක් කරන්න සුභාෂ් අබේවික්‍රම අයියගේ අදහස් ගොඩක් වැදගත් වුණා. ඔහු වගේම මගේ විවාහ උත්සවයේ අනෙකුත් සියලුම වැඩ කටයුතු කරගන්න අපේ පිටුපස ලොකු පිරිසක් හිටියා. ඒ හැම දෙනාගෙම සහයෝගය ශක්තිය නිසා තමයි අපේ ඒ දවස ලස්සන කරගන්න හැකි වුණේ.


දමිත්‍රි විවාහය වෙනුවෙන් ගීතයකුත් ගායනා කළා නේද?


ඔව්. “මං මනමාලිය වෙලා” ඒ මගේ පළමු ගීතය. කේසර වෙනුවෙන් ඒ ගීතය කළේ. ඒ මගේ හිතේ තිබුණු ලොකු හීනයක් සැබෑ කරගත්තෙ. මේ වෙද්දි ඒ ගීතයට හොඳ ප්‍රතිචාරයක් නම් ලැබෙනවා.


කලාව සම්බන්ධව කේසරගෙ මතය කොහොමද?


කේසර කලාවට ගොඩක් කැමතියි. ඉතින් මම කලාවට සම්බන්ධ වීම ගැනත් ඔහුගේ අකමැත්තක් නැහැ. කේසරත් කලාවට සම්බන්ධ වෙලා හිටියා. 2021 වසරේ සිරස අවුරුදු කුමරා තරගයේ දෙවන ස්ථානය ලබාගන්න හැකි වුණා. ඒ වගේම මගෙත් එක්ක ටෙලි චිත්‍රපටයකටත් සම්බන්ධ වුණා. නමුත් ඔහු කලා ලොකු කැමැත්තක් නැහැ. ඔහු කැමති බැංකු ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න. ඉතින් මේ වෙද්දිත් විදෙස්ගතවෙලා බැංකු  ක්ෂේත්‍රයේ   තමයි රැකියාව කරන්නෙ. ලංකාවට ආවෙත් විවාහ උත්සවය නිසා.


එතකොට දමිත්‍රිත් විවාහයත් එක්ක කලා ගමනට සමුදීලා විදෙස් ගතවෙන්න ද අදහස?


එහෙම අදහසක් නැහැ. විවාහ වුණා කියලා අපේ ජීවිතේ ලොකු වෙනසක් සිදුවෙන්නෙ නැහැ. සාමාන්‍ය විදියට අපි දෙන්නා දෙන්නාගේ වැඩ කරගෙන යනවා. තවම ඉතින් ජීවිතේ ලොකු සැලසුමක් කරලා නැහැ.






Previous Post Next Post