හොඳම නිළිය වුණේ පළමු වතාවට – වොල්ගා කල්පනී



පසුගියදා නිමා වුණ රයිගම් ටෙලි සම්මාන උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය දිනාගන්නට මාණික්කාවත ටෙලි නාට්‍යයේ ගුණාදරීට ජීවය දුන්න වොල්ගා කල්පනී සමත් වෙනව. ජීවිතයේ විවිධ හැලහැප්පීම් මැදින් සාර්ථකත්වය දකින ඇය  මේ විදිහට දොඩමළු වුණේ සම්මානයේ උණුසුමත් පපුවට තුරුළු කරගෙන.


ගුණාදරී වොල්ගාගේ ජීවිතයට ලොකු වටිනාකමක් එකතු කරනව?


මේ සම්මානය ලැබෙන්න කලින් වොල්ගාව පුදුමාකාර තැනකට ගෙනාපු කෙනෙක් තමයි ගුණාදරී කියන්නෙ. රයිගම් සම්මාන රාත්‍රිය ගැන කතාකළොත්” ඒක ඇත්තටම මගේ ජීවිතයේ අමතක කරන්න බැරි මොහොතක්. වචන වලින් විස්තර කරන්න අමාරු දෙයක්.


පිච්චි සහ ගුණාදරී අතර සම්මානය දෝලනය වුණා?


එදා සම්මාන උළෙලට උමා එන්නත් ටිකක් පරක්කු වුණා. මම තමයි සැරින් සැරේටම කෝල් කර කර කොහේද ඉන්නෙ කොහේද ඉන්නෙ කිය කිය ඇහුවෙ. හොඳම නිළිය සම්මානයට මම නිර්දේශ වෙන්නෙ පළවෙනි වතාවට. ඒකත් මට ලොකු දෙයක්. සම්මානය ලැබෙයිද නොලැබෙයිද කියන දේ නෙමෙයි මගෙ ඔළුවෙ තිබුණෙ. හරිම සතුටින් තමයි මේ අවස්ථාවට සහභාගි වුණේ. ඒ අවස්ථාව අවසන් වුණ ගමන් උමා දුවගෙන ඇවිත් මම කිව්ව නේද ඔයාට කියල හරි සතුටින් මගෙත් එක්ක කතා කළා. මම විශ්වාස කරන්නෙ ගුණාදරීට සහ කෙටි හාමිට ලැබුණු මේ සම්මාන මාණික්කාවත ටෙලි නාට්‍ය කණ්ඩායමටම ලැබුණු දෙයක් කියල. මොකද මට තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ චරිතය.


මාණික්කාවත ටෙලි නාට්‍යයට සම්බන්ධ වීම මොන වගේ අත්දැකීමක්ද?


මාණික්කාවත මෙතෙක් බිහි වුණ දැවැන්තම ටෙලි නාට්‍ය හැටියට තමයි හඳුන්වන්නෙ. ඒ දැවැන්ත නිර්මාණයට දායක වෙන්න ලැබීම මගේ භාග්‍යයක් හැටියටයි මම සළකන්නෙ. හැමෝටම ඒ අවස්ථාව ලැබෙන්නෙ නැහැ. මේ නාට්‍ය සුදත් රෝහණ මහත්මයා අධ්‍යක්‍ෂණය කරන්නෙ අවුරුදු අටක නිහැඬියාවකින් පස්සෙ වීමත් සුවිශේෂයි.


අධ්‍යක්‍ෂවරයාගේ ප්‍රතිචාරය කොහොමද?


ඇත්තටම එතුමාට ගොඩක් සතුටුයි. ඒ වගේම වොල්ගා කල්පනීගෙන් ගුණාදරී දකින්න තරම් එතුමා මාව විශ්වාස කළා. ඒ විශ්වාසය හැම කෙනා ළඟම නැහැ. එතුමා හැමදාම කිව්වෙ මං ඔයාව විශ්වාස කරනව කියල. මං වගේ ආධුනිකයෙක්ව විශ්වාස කළ ඒ ප්‍රවීණයාට මම ගරු කරන්න ඕන. සම්මානය අරගෙන මම එතුමා ළඟට ගියාම බොහොම සතුටෙන්” බොහොම අවංකව මට සුබපැතුවා. ගුණාදරී කියන්නෙ සුදත් රෝහණයන්ගෙ දරුවෙක්. ඒ වගේම මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහත්මයාවත් මතක් කරන්නම ඕන. එතුමා හදපු ගුණාදරීව තමයි සුදත් මහත්මයා අධ්‍යක්‍ෂණය කළේ” හැමෝම අගැයුවෙ” ඇයට තමයි හැමෝම ආදරය කළේ. මාණික්කාවත අපි හැමෝගෙම දරුවෙක්.


ගුණාදරීගෙ මව ඇය වෙනුවෙන් කළේ මොන වගේ කැපකිරීමක්ද?


එක දර්ශනයක් රූගත කරන අවස්ථාවේ උමා අක්කයි චමිල අයියයි ඇවිත් මාව බදාගෙන ඇඬුව. එයාල කිව්වෙ ඒ දර්ශනයේ එක අවස්ථාවක් එයාලට හොඳටම දැණුන කියල. ගුණාදරීගෙ අම්ම කියන්නෙ ජීවිතේ ගොඩක් දේවල් කැපකරපු ගැහැනියක්. ඒ කැපකිරීම් අපිට හරියට පෙන්නුවෙ උමා අසෙනි.


ඔබේ මවත් එදා ඔබ සමග හිටියා?


මගේ අම්ම තමයි පොඩි කාලෙ ඉඳන් මගේ පස්සෙන් හිටියෙ. එදා මම මගේ දෙමව්පියන්ගේ මුහුණින් ලොකු සතුටක් වගේම ලොකු ආඩම්බරයක් දැක්කා.


මේ ජීවිතයේ හැලහැප්පීම් එක්ක ලැබුණු ජයග්‍රහණයක්?


ක්‍ෂේත්‍රයට පැමිණි දවසේ පටන්ම මම කිව්ව එක දෙයක් තමයි මගේ නමට ඉදිරියෙන් ‘හොඳම. කියන විශේෂණය දාගන්න එක තමයි මගේ ඉලක්කය කියල. ආපස්සට හැරිල බලල මම මගේ ජීවිතය ගැන කවදාවත් දුක් වුණේ නැහැ. හැම දෙයක්ම සතුටින් භාරගන්න කැමති කෙනෙක්.


නිර්මාණයක් භාරගන්නකොට දැන් ටිකක් පරිස්සම් වෙන්න වේවිද?


වැඩක් භාරගනිද්දි මම ඉස්සරත් ගොඩක් පරිස්සම් වුණා. දැනටත් එහෙම තමයි. ඉදිරියටත් එහෙම වෙයි. මොකද මම නිර්මාණ තෝරා බේරාගෙන තමයි භාරගත්තෙ. ඒ නිසා ගොඩක් කාර්ය බහුල කෙනෙක් වුණේ නැහැ. මට දැනෙන දේ මම භාරගන්නව.


ගුණාදරී ඔබේ නමට ඉදිරියෙන් ‘හොඳම. විශේෂණය එකතු කළා?


මම කරපු හැම චරිතයකටම මම ආදරෙයි. ගුණාදරීට විශේෂයක් තිබුණ. මොකද ඇයගේ ඇස් පේන්නෙ නැහැ. ඇස් නොපෙනෙන කෙනෙකුට දැනෙනව වැඩියි. ගුණාදරීගෙන් වොල්ගා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඇය නිසා ලැබුණ දේවල් බොහොමයි. ඒ වගේම මේ සමාජයේ වෙසෙන දෑස් අඳ සියළුම දෙනාට මේ සම්මානය උපහාරයක් වේවා කියල මම ප්‍රාර්ථනා කරනව.


ඔබත් දායක වන ‘පාර දිගේ. ටෙලිය ජනප්‍රියම නළුවා සහ නිළිය සම්මාන දිනා ගන්නව?


ඔව්” දුෂේනි සහ උද්දික අයිය ඒ සම්මාන දිනා ගන්නව. ඒ වගේම ජනප්‍රියම නාට්‍යයට හිමි සම්මානයත් දිනා ගන්නව.


මේ දවස්වල මොකද වෙන්නෙ?


මේ දවස්වල සුනිල් වෙල්ලාල මහත්මයාගේ ‘වැකේෂන්. ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නව. ඒ වගේම රනිල් කු-ලසිංහ මහත්මයාගේ ‘සිත් යාය. ටෙලියටත් සම්බන්ධ වෙලා ඉන්නව. ඒක ලබන මාසයේ විකාශය ආරම්භ කරාවි.


සිනමාවට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?


ඇත්තටම කිව්වොත් ටෙලි නාට්‍යවලට තරම් සිනමාවට මට ආරාධනා ලැබෙන්නෙ නැහැ. ඉදිරියේදී හොඳ නිර්මාණයක් ලැබුණොත් සම්බන්ධ වෙනව.


නැවත පිළිවෙළක් වුණොත් නරකද?


ආදරය කියන්නෙ මොකක්ද කියන එක මේ වන විට මම හරියටම තේරුම් අරගෙන තියෙනව. එතනදි මම දකින්නෙ කොන්දේසි විරහිත ආදරය තමයි හරිම ආදරය කියල. මම ආදරය කරන්නෙ හරිම පිරිසිදුව. සමහර මුණගැසීම් තියෙනව ජීවිතය හරි සුන්දර කරන. එවැනි ආදරයකට පුළුවන් ආපසු ජීවිතයේ සැනසීම එක්ක සතුටින් නිදාගන්න පුළුවන් තැනට අපිව ගේන්න. එවැනි හමුවීම් එක්ක බොහොම නිස්කලංකව හැමදෙයක් එක්කම ජීවිතේ හරි ලස්සනට ගලාගෙන යනව. නීත්‍යනුකූල විවාහය කියන්නෙ දේපළ බෙදාගැනීමට තියෙන කාරණාවක්. නමුත් ආදරේ කියන්නෙ වෙනම දෙයක්.


මහේෂ් එදිරිසිංහ





Previous Post Next Post