අපි හැමෝම අපිට නැතිවුණු දේවල් හොයනවා-නිවර්තනා දේවගේ




කලා ක්‍ෂේත්‍රයන්හි නියැළි ශිල්පීන්ගේ නිර්මාණ කුසලතාවන් ඇගයීම තුළ වඩාත් ඉහළ නිර්මාණශීලී හා ගුණාත්මක නිර්මාණ බිහිකිරීම උනන්දු කරවීම සඳහා දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් 19 වැනි වතාවට පවත්වනු ලැබූ රයිගම් ටෙලීස් සම්මාන උළෙල - 2022 හි වසරේ නැගී එන ටෙලි නාට්‍ය නිළිය ලෙසින් සම්මාන ලැබුවේ ‘ලෝකා’ නාට්‍යයේ ප්‍රසාදිගේ චරිතය රඟපෑ නිවර්තනා දේවගේ.


වසරේ නැගී එන නිළිය ලෙස සම්මාන ලැබුණු මොහොතේ මොකද හිතුණේ...



සම්මානය මට හිමිවෙන්නෙ කියලා වේදිකාව මත මගේ නම කියවෙද්දි මට අදහාගන්නත් බැරි වුණා. මොකද මම හිතුවේ නැහැ මට සම්මානය ලැබෙයි කියලා. ඒ නිසා නැගිටින්නවත් මම ලෑස්ති වෙලා නෙවෙයි හිටියේ. මගේ අතේ කෑම ප්ලේට් එකක් තිබුණා. මට ජීවිතේ ලැබුණු ලොකුම සතුටක් එක් වුණු දවසක්.



ලෝකා නාට්‍යය ඔබේ ටෙලි නාට්‍ය අතර පළමු නිර්මාණය...


පුංචි තිරයේ මම කරපු පළමු ටෙලි නාට්‍යය ලෝකා. එහි තිර රචකයා වුණේ අකිල සපුමල් මානවඩු. ඔහු මගේ නාට්‍යය ගුරුවරයා. එයාගෙත් පළමු තිර රචනය. ඔහුගේ ආරාධනාවට තමයි මම එන්නෙ. ඒ වගේම ලෝකා කියන්නෙ අපේ කැලණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ ඔහුගේ ඇත්ත කතාවක්. ඊටත් වඩා නාට්‍ය කොටස් එහි ඇතුළත් වෙලා තියෙනවා. ඒකත් එක්කයි මම නාට්‍යයට සම්බන්ධ වුණේ.


නිර්දේශ වීම තුළ සම්මානය ලැබෙයි කියන විශ්වාසයක් තිබුණෙම නැද්ද?


අනේ නැහැ. මම රංගනය හදාරලා වේදිකාවේ වැඩ කරලා තිබුණත් මා එක්ක නිර්දේශ වුණු සහෝදර රංගන ශිල්පිනියන් දෙදෙනා මට වැඩිය ගොඩක් ටෙලි නිර්මාණවල වැඩ කරලා තිබුණා. ඉතින් ඇත්තටම මම හිතුවේ නැහැ මට මේ සම්මානය ලැබෙයි කියලා. මම හිතාගෙන හිටිය එකම දේ මගේ පළමු නාට්‍යය තුළින් නිර්දේශ වීමම ඇති කියන එක. ඒ හැර මම හිතුවේ නැහැ මෙච්චර ඉක්මනින්ම මට සම්මානයක් ලැබෙයි කියලා.



කොහොමද කලාවට සම්බන්ධ වෙන්නේ...


උසස් පෙළ කරන කාලේ A/L චිත්‍රපටය තුළින් තමයි මම කලාවට සම්බන්ධ වෙන්නෙ. අජිත් ක්‍රිෂාන්ත සේරම් කියන ගුරුවරයාගේ මාර්ගයෙන් තමයි A/L චිත්‍රපටයේ රොහාන් පෙරේරා මාව හොයාගෙන ඇවිත් ඒ චිත්‍රපටයට සම්බන්ධ කරගත්තේ.


මේ වෙද්දී නිවර්තනා මොනවද කරන්නේ...


මේ වෙද්දි මම කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ උපාධිය හදාරන ගමන් ඉන්නෙ. එහි අවසන් වසරේ. ඒ නිසා මේ දවස්වල මගේ විභාග කටයුතු එක්ක කාර්යබහුල වෙලා ඉන්නවා. ඒ අතරතුර වෙළෙඳ දැන්වීම් වැඩත් කරනවා.


නර්තනයටද රංගනයටද වැඩියෙන් කැමැති...


ඇත්තටම දැන් නම් නර්තනය සහ රංගනය කියන දෙකටම කැමැතියි. පුංචි කාලේ ඉඳන් නර්තනය කළ නිසා වැඩි කැමැත්ත නර්තනයට තියෙනවා. ඒ ලෙවල්වලින් තමයි විෂයක් විදියට රංගනය හදාරන්න පටන් ගත්තේ. එතැනින් පස්සෙ රංගනයටත් ආදරේ කරන්න පටන් ගත්තා.


නිවර්තනා දේවගේ සහ ප්‍රසාදි අතර සමානකම් තියෙනවද?


නිවර්තනා සහ ප්‍රසාදි කියන්නෙ හාත්පසින්ම වෙනස් චරිත දෙකක්. මම ආදරේට ගොඩක් අවංක කෙනෙක්. නමුත් ප්‍රසාදි වෙනස් විදියට ආදරේ හොයන කෙනෙක්. ඒ නිසා ගොඩක් වෙලාවට ප්‍රසාදිව ප්‍රෙක්ෂකයන් පවා විවේචනය කරනවා. හැබැයි ප්‍රසාදි කියන්නෙත් ආදරේ නැතිවුණ, ආදරේ හොයන කෙනෙක්. ඒ නිසා ආදරේ බලෙන් හරි අසම්මත විදියට හරි හොයන කෙනෙක්. අපි හැමෝම අපිට නැති දේවල් හොයනවනේ. ආදරේත් ඒ වගේ. අපි හැමෝම ආදරේට ලෝබයිනේ. ප්‍රසාදිත් ඒ වගේ චරිතයක්. හැබැයි ප්‍රසාදි ආදරේ හොයන්නෙ ටිකක් දරුණු විදියට. නිවර්තනා කියන්නෙත් ආදරේට ආදරේ කරන කෙනෙක්.


නිවර්තනා ආදරය දකින්නේ කොහොමද?


මම ආදරේ දකින්නෙ හැඟීමකට වඩා ක්‍රියාවක් විදියට.


ඉදිරියේදී අපිට හමුවෙන චරිත මොනවද?


මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ ‘සිසිවනවුවන’ කියන ටෙලි නාට්‍යය තුළින් දකින්න පුළුවන්. ඒක ඇත්තටම කාන්තාවන් ගැන කතා කරන වෙනස් විදියේ නිර්මාණයක්. ඒ නිසා ඒ නිර්මාණය විකාශය වෙනකම් මාත් ඉන්නෙ නොවිසිල්ලෙන්. ඒ එක්කම මගේ දෙවැනි චිත්‍රපටය වන ආරියරත්න ඇතුගල මහතාගේ ‘සහෝ’ චිත්‍රපටයේ මංගල දැක්ම තියෙනවා මේ මස හයවැනිදා.


තවමත් ඔබ වේදිකාවේ රඟපානවාද?


ඇත්තටම වේදිකාවට ආදරේ කෙනෙක්. කැමරාවක් ඉදිරියේ රඟපානවට වඩා මම කැමැතියි ප්‍රේක්ෂකාගාරයක් ඉදිරියේ රඟපාන්න.


දැන් දිගටම රඟපාන්නද බලාපොරොත්තුව...


රංගනය කියන්නෙ මගේ වෘත්තිය නෙවෙයි. රංගනය මගේ විනෝදාංශය සහ මම ආදරේ කරන දෙයක් විතරයි. ඒ නිසා කවදාවත් මම වෘත්තීය සහ රංගනය කියන දෙක පටලවගන්නෙ නැහැ. ජීවත් වීම උදෙසා මම කවදාවත් රංගනය කරන්නෙ නැහැ.





Previous Post Next Post