මම කවදාවත් විවාහය ගැන පසුතැවෙන්නේ නැහැ -නදිනී ප්‍රේමදාස




කලාව තුළ රැඳෙන්න රූපයත් පිළිවෙළ විතරක් තිබිම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. දක්ෂතාවය නිතැතින්ම තිබෙන්න ඕන. රියැලිටිකරණයෙන් බිහි වෙලා ජනප්‍රියත්වය එකසේ තබාගෙන ඉන්නත් අසීරුයි. කොහොම නමුත් මේ හැමදේම තියෙන ප්‍රසංග වේදීකාව හරි ලස්සනට හසුරන ප්‍රාසංගිකව වේදිකාව පරිහරණය කරන ඇය නදිනී ප්‍රේමදාස.  මේ ඇය හා ඇගේ කැදැල්ල ගැන තොරතුරු යි.


දැන් වැඩිය දකින්න ලැබෙන්නේ නැහැ නේද, යන රැල්ලට දුවන්න බැරි නිසාද ..?


එහෙම දකින්නෙ නැතුවම නෙමෙයි. දකින්න ලැබෙනවා. රූපවාහිනි වැඩසටහන්වලට, සංගීත ප්‍රසංගවලට මම සම්බන්ධ වෙනවා. අවුරුදු පහළොවක් තිස්සේ එක දිගට වැඩ කරලා තියෙන මහන්සියත් එක්ක දැන් ටිකක් ප්‍රසංග තෝරා බේරාගෙන කරන්නේ. එහෙම නැතුව හැංඟිලා ඉන්නේ නැහැ. පුළුවන් විදියට වැඩකටයුතු ටික කරගෙන යනවා.



එහෙම නැත්තම් මවු පදවියේ වගකීම් එක්කද මේ වෙනස..?


මවු පදවියේ වගකීම් නැතුවම නෙවෙයි. ගොඩක් වෙලාවට වැඩක් කරද්දී කාලය කළමනාකරණය කරගන්න වෙනවා. මම පවුල් ජීවිතය නිසා කවදාවත් සංගීත ජීවිතය අත්හරින්නේ නැහැ. හේතුව මම පුංචි කාලේ ඉඳලමයි සංගීතයට සම්බන්ධ වෙන්නේ, ගීතයට ආදරය කරන්නේ. එනිසා මම කවදාවත් පවුල් ජීවිතේ නිසා සංගීතය අත හරින්න හිතන කෙනෙකුත් නෙමෙයි. ඒ වගේම අතහරින්නේත් නෑ. හැමදාමත් සංගීතයත් එක්ක ඉන්නවා. එහෙම කියලා මම මගේ පවුල් ජීවිතයට හානියක් කර ගන්නෙත් නැහැ. මේ දෙකම බැලන්ස් එකේ කරගෙන යන්න තමයි උත්සාහ කරන්නේ. දරුවෝ ගැනත් වැඩිපුර බලනවා. එයාලා වෙනුවෙනුත් වැඩිපුර කාලයක් යොදනවා.


නදිනි ජනප්‍රියම කාලේ තමයි විවාහ වුණේ. දැන් හිතෙන්නේ නැද්ද ඒ හොඳම කාලේ මඟ හරවා ගත්තා, ටිකක් නිදහසේ කාලය ගත කරන්න තිබ්බා කියලා ..?


මම ජනප්‍රියම කාලයේ තමයි ඇත්තටම විවාහ වුණේ. මේ අප්‍රේල් මාසයට අවුරුදු 12ක් වෙනවා විවාහ වෙලා. මම විවාහ වුණේ අවුරුදු 23 දී. මධුර කියන්නේ ගොඩක් හොඳ සැමියෙක්. මාව හොඳින්ම තේරුම් ගත්ත කෙනෙක්. එනිසා මට කොයිම වෙලාවකවත් හිතෙන්නේ නැහැ මගේ හොඳම කාලේ විවාහ ජීවිතය නිසා මඟ හැරුණා කියලා. විවාහය පස්සට දැම්මා නං සමහර විට මට මධුරව මඟ ඇරෙන්න තිබ්බා. මම විවාහ වෙනකොට ගොඩාක් දෙනෙක් කිව්වා ඇයි මේ වෙලාවේ විවාහ වෙන්නේ, ඔයාගේ හොඳම කාලේ, ජනප්‍රියම කාලේ කියලා. නමුත් මම ඒ හැමෝටමත් කිව්වේ මට විවාහ වෙන්න හරිම කෙනා ලැබුණා. ඒ නිසා මට විවාහය කල් දාන්න ඕන නැහැ කියලා. ඇත්තම කිව්වොත් මම කවදාවත් විවාහය ගැන නම් පසුතැවෙන්නේ නැහැ.


නදිනිගේ සැමියා හරිම නිහඬ චරිතයක්, ඔයාගේ ජීවිතේට එයා නිතී දාන අවස්ථා තියෙනවද..?


එයා කොහොමත් නිහඬ චරිතයක්. ප්‍රසිද්ධියේ පෙනී ඉන්න ටිකක්වත් කැමැති නැහැ. නමුත් කිසිම දේකට කිසිම වෙලාවක මට නීති දාන්නේ නැහැ. එයා මාව හොඳින් තේරුම් අරගෙන ඉන්නේ. මට ඕන දේ එයා දන්නවා. මම හරි දෙයක් කරන්නේ කියලා එයා දන්නවා. ඒ නිසා මේ දේ කරන්න එපා මේක කරන්න එපා කියලා කියන්නේ නැහැ. හැමදෙයක්ම කරන්න මට ඉඩදීලා එයා මාත් එක්ක ඉන්නවා. ගොඩක් වැඩවලට මාත් එක්ක එයා එනවා. එයත් කාර්යබහුල කෙනෙක් ව්‍යාපාරිකයෙක් හැටියට. නමුත් මම වැඩවලට යද්දී සමහර දවස්වලට එයා තමයි බබාලා බලා ගන්නේ. එයාගෙන් මට නිතරම උදවු ලැබෙනවා. එයා එහෙම පටු අදහස් තියෙන චරිතයක් නෙවෙයි.


ජනප්‍රිය බොහෝ දෙනෙක් විවාහ කරගන්නේ ධනවත් අය. නදිනිට කවුරුත් එහෙම කියලා නැද්ද..?


එහෙම මතයක් තියෙනවා. එහෙම කියලා හැමෝම ධනවත් අය බඳින්නේ නැහැ. මම ඔය ධනවත් කියන වචනය පාවිච්චි කරන්නවත් කැමැති නැති කෙනෙක්. සාමාන්‍ය ජීවිත ගත කරන අයත් ධනවත්තු එක්ක විවාහ වුණු අවස්ථා තියෙනවා. ඔය වගේ අවස්ථාවලදි ජනප්‍රිය අයව නෙත ගැටෙනවා වැඩියි. ජනප්‍රිය අය හිතාමතාම ධනවත් අය එක්ක විවාහ වෙන අවස්ථාත් ඇති. ඒක ඒ ඒ අයගේ පුද්ගලික කැමැත්ත. ඇත්තම කිව්වොත් මම ඒ ගැන හිතන්නේ නැහැ.


ඔහු මුණ ගැහෙන්නේ කොහොමද කියලත් කියමු. විවාහයේදී ඔබේ ජනප්‍රියත්වයට ඔහු මුල් තැන දුන්නද..?


මගේ යාලුවෙකුගේ මාර්ගයෙන් තමයි මට මධුරව මුණගැහෙන්නේ. අපි දෙන්නා ඉතාම කෙටි කාලයකින් දැන හඳුනාගෙන විවාහ වුණ දෙන්නෙක්. මම ගායන ක්ෂ්ත්‍රයට ආපු මුල් කාලේ හරිම කාර්යබහුල කෙනෙක්. මගෙත් එක්ක මගේ තාත්තා තමයි ෂෝවලට ගියේ. මධුර මම ගායිකාවක් කියලා දැනගෙන තමයි විවාහ වෙන්නේ. එනිසා ඒ පැත්තෙන් අපි අතර ප්‍රශ්න තිබුණේ නෑ. විවාහ වෙන්න කලින් මගෙත් එක්ක ෂෝ වලට තාත්තා එද්දී මධුරත් අපිත් එක්ක ආපු අවස්ථා තියනවා. විවාහ වෙන්න කලින් වගේම විවාහ වුණාට පස්සෙත් මගේ සංගීත ඡීවිතයට උපරිම සහයෝගය දුන්නා. මම ජනප්‍රියද නැද්ද කියන එක එයාට අදාළ නැහැ. නමුත් මගේ කැමැත්ත මගේ දක්ෂතාවයට එයා ඉඩ දුන්නා. එදා වගේම අදටත් එයාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.


ඔහුත් කාර්යබහුල කෙනෙක්, ඔහු කොහොමද පවුල් ජීවිතයට මුල් තැන දෙන්නේ..?


මධුර රාජකාරි කටයුතු එක්ක ඉතාම කාර්යබහුල කෙනෙක්. ඒ දවස පටන් ගන්නේ උදේ පාන්දර හතර හමාරට විතර. මාත් එක්ක ෂෝ වලට ගිහිං උදේ පාන්දර ආවත් එයා උදෙන්ම නැගිටලා එයාගේ වැඩකටයුතු කරගන්නවා. එයා ඉතාම කාර්යබහුල කෙනෙක් වුණත් පවුල් ජීවිතයට තමයි මුල් තැන දෙන්නේ. දරුවන්ගේ සියලුම වැඩකටයුතු ගැන එයා හොයලා බලනවා. එයා ඔෆීස් එකේ හිටියත් මට කතා කරලා හැම දෙයක් ගැනම මතක් කරනවා. මම හිතන්නේ ඒ හොඳ ගති ගුණ එයාට ඇවිත් තියෙන්නේ එයාගේ දෙමාපියන් ගෙන් කියලයි. ඒ තරම්ම එයා පවුල ගැන හිතනවා. හොඳ තාත්තා කෙනෙක් වගේම හොඳ සැමියෙක්.


එතකොට නදිනි?


මමත් මුල් තැන දෙන්නේ පවුලට. නමුත් සංගීත ජීවිතයත් ඒත් එක්කම සමබරව කරගෙන යන්න උත්සාහ ගන්නවා.



ඔහු ඔබට සින්දු කියන එක දැන් පැත්තකින් තියන්න කියලා නැද්ද..?


කවදාවත් එහෙම කියලා නැහැ. මගේ ජීවීතේ වැඩිපුරම නිදහස දුන්නු කෙනා තමයි මධුර කියන්නේ. විවාහ වෙන්න කලින් මගේ තාත්තා මාව ආරක්ෂා කරන්න මාව හැදුවේ නිදහසේ ජීවත් වෙන්න ඉඩ හැරලා නෙමෙයි. නිදහසක් දුන්නෙම නැහැ. මගේ තාත්තාට වඩා මධුර මට නිදහස දුන්නා. ඒකට හේතුව එයා මාව තේරුම් ගැනීම හා එයා දන්නවා මම වරදක් කරන්නේ නැහැ කියලා. ඒ නිසා මට ඕන විදියට ජීවත් වෙන්න එයා නිදහස දීලා තියෙනවා.


නදිනිට කොයිම වෙලාවකවත් සංගීතය පැත්තකින් තියන්න හිතිලා නැද්ද..?


නැහැ. සංගීතය කියන්නේ පුංචි කාලේ ඉඳලා මම ආස කරපු දේ මේ මොහොත වෙද්දී එහෙම අත හරින්න අමාරුයි. සංගීතය නිසා මට රඟපාන්න වැඩසටහන් හසුරවන්න එහෙම ආරාධනා ලැබිලා තියෙනවා. මම රඟපාන්න නම් ආස නැහැ. නමුත් වැඩසටහන් වලට නම් සම්බන්ධ වුණු අවස්ථා තියෙනවා. මොන දේ කරත් හරියට කරන්න පුළුවන් දේ තමයි සංගීතය කියන්නේ.


එ කාලේ කිව්වනේ නදිනි ධනවත් පවුලක කෙනෙක් නිසා, ඒ ධනවත්කමින් රියැලිටිකරණයෙන් ඉදිරියට ආවා කියලා, ඒ වගේ කතා ගැන දැන් මොකද හිතෙන්නේ..?



සල්ලී භාවිත කරලා තරග එහෙම දිනන්න බැහැ ජනතාවගේ ආදරේ ඕන රැඳෙන්න වගේම දිනන්න. මම රියැලිටිකරණයෙන් ආව කෙනෙක් වුණත් ඒකට මුදල බලපෑමක් කර ගත්තේ නැහැ. මම සංගීත ජීවිතයට ඇවිත් දැන් අවුරුදු 15ක් වෙනවා. ඔය කියන විදිහට සල්ලිවලින් ආවා නම් මෙතෙක් කල් ජනතාවගේ අසීමිත ආදරය ලබමින් මෙච්චර දුරක් එන්න බැහැ . ඔය කතාව බොරුවක් කියලා ඒකෙන්ම ඔප්පු වෙනවා. රියැලිටිකරණයෙන් ගායක ගායිකාවන් එනවා යනවා. නමුත් රැදිලා ඉන්නේ අතළොස්සක් විතරයි. මම ආවේ මගේ දක්ෂතාවයෙන්. ඒ නිසා රැඳිලා ඉන්නවා.



නදිනිට, දරුවෝ දෙන්නා අම්මට දක්වන ප්‍රතිචාරය, අම්මව ගායිකාවක් විදිහට දකින්න ආසයිද එහෙම නැත්තම් අකමැති ද..?


ප්‍රතිචාර දක්වනවා කියලා තේරෙනවා එයාලා හැසිරෙන විදිහට. මම ඉන්න ටීවී වැඩසටහන් වුණත් අම්මා ටීවී එකේ ඉන්නවා කියලා ආසාවෙන් බලන අවස්ථා තියෙනවා. එයාලව එක්කගෙන යන්න පුළුවන් ප්‍රසංගවලට එයාලව අරන් යනවා. එතකොට එයාලා එය රසවිඳිනවා පේනවා. නමුත් මම නිසා කලාව එයාලා දැකල තියෙන, විඳලා තියෙන නිසාද දන්නේ නැහැ සංගීත පැත්තට යොමු වෙන්න ලොකු කැමැත්තක් නැහැ. නදිනිගේ බබාලා නේද කියලා එයාලව හඳුනගන්න අවස්ථා තියෙනවා. ඒවට එයාලා ආදරණීය විදිහට ප්‍රතිචාර දක්වනවා.


ඉස්සර වගේම ඔබට අදටත් ප්‍රතිචාර ලැබෙනවා ද..?


ඉස්සර වගේම ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන නිහතමානීව මම සතුටු වෙනවා. ආදරණීය රසිකයින් ගේ ආදරේ එක්ක තමයි මේ තරම් දුරක් මම ආවේ. සමහර අය පරණ මතක මතක් කරන අවස්ථා තියෙනවා. ඒක හරියට වටිනවා.


සංගීත ප්‍රසංගවලට තියෙන ඉල්ලුම කොහොමද? මූල්‍යමය අර්බුදයක නැති නිසා ප්‍රසංග වේදිකාවට නඟින්නේ නැද්ද..?


ඉල්ලුම හොඳයි. නමුත් මම සම්බන්ධ වෙන්නේ තෝරා බේරා ගත් සංගීත ප්‍රසංගවලට විතරයි. මුල් කාලේ මට දිනයක් දෙන්න බැරි තරම් ප්‍රසංගවලට ආරාධනා ලැබුණා. සමහර දවස් තිබ්බා ප්‍රසංග පහ හයකට සම්බන්ධ වුණු. නමුත් දැන් මට එහෙම කරන්න බැහැ. මොකද පෞද්ගලික ජීවිතේට ඉඩක් දෙන්න ඕන නිසා. මූල්‍යමය අර්බුදයක් නැහැ. නමුත් ජීවත් වෙන්න සල්ලි ඕනනේ. මම මුදල් හොයන්නේ මගේ කටහඬ නිසයි. මගේ රැකියාව ගායනය. ඉතිං සල්ලි ප්‍රශ්න නැහැ කියලා ප්‍රසංග වේදිකාව අමතක කරලා නැහැ පුළුවන් විදිහට සම්බන්ධ වෙනවා.


නදිනිට ගොසිප් හැදිලා නැහැ. එහෙම නොවී ඉන්න මොනාද කරන්නේ කියලත් කතාව අවසන් කරන්න කලින් කියමු..?


තරගයේ ඉන්න කාලේ විවිධ කතා කියපු අවස්ථා තිබ්බා. ඒකත් ක්‍රම ක්‍රමයෙන් නැති වෙලා ගියා. මම හිතන්නේ මම වගකීමෙන් හරිම පරිස්සමින් ජීවත් වෙන නිසා වෙන්න ඇති එහෙම කතා හැදෙන්නේ නැත්තේ. ඒකට පවුල් පරිසරය, අපි හැසිරෙන විදිහත් බලපානවා.




Previous Post Next Post