මට වුවමනාවක් නෑ මම කුෂානි කියලා මිනිස්සුන්ට පෙන්නන්න -කුෂානි සඳරේඛා



කුෂානි සඳරේඛා කියන්නේ ගායනයට, නර්තනයට එක හා සමාන දක්ෂතා පෙන්වන කලා ශිල්පිනියක්. ඇය අපේ රටේ ප්‍රකට ගායන ශිල්පීන් දෙදෙනෙකු වන වික්ටර් විජයන්ත සහ මයා දමයන්ති යුවළගේ ආදරණීය දියණිය. කුෂානි ඇගේ පළමු ගීතමය කැසට් පටය එළි දක්වන්නේ 2003 වසරේදී. ඒ වගේම ඇය ගැයූ ගීත බොහෝමයක් ප්‍රේක්ෂකයන් අතරේ අතිශය ජනප්‍රිය වුණා. ඒ අතර වරංගනා, කුරුල්ලෝ නුඹේ තාලෙන්, සහ මෑත කාලීනව ඇය ගායන කළ චිත්‍රපට ගීතයක් වන මල්කලඹ ළඟ පාට සේදුන ගීතයත් අතිශය ප්‍රේක්ෂක ආදරයට පත් වුණා. මේ සොදුරු කතා බහ කුෂානි සඳරේඛා සමඟයි.


 

ඔබ ගැයූ ගී බොහොමයක් ජනප්‍රියයි. නමුත් කුෂානි සඳරේඛා කියන චරිතය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියයිද?


කලා ශිල්පිනියක් විදිහට මම සාර්ථකයි. හැම වෙලාවෙම මගේ නිර්මාණ රූප රචනා වලින් බොහෝම අඩු වෙලා ප්‍රේක්ෂකයන්ගේ සිත් බැඳගන්න පුළුවන් ගීත ගොන්නක් විදියට තමයි රසිකයන් අතරට රැගෙන ගියේ. කෙනෙක් ගීතයකට රූප රචනාවක් කරනවනම් මාත් අනිවාර්යයෙන්ම කළ යුතුමයි කියලා මතයක මම නෑ. අපි දුවන්නම්වාලේ ගීත නිර්මාණ කරන්න ඕනෙත් නෑ. ඇත්තමටම මට ලොකුවට ඒකට මහන්සි වෙන්න වුවමනාවකුත් නෑ. මගේ නිර්මාණවල සංගිතය සහ ගායනය සම්බන්ධව තමයි මම ලොකුවට හිතන්නේ. ඇත්තටම ඒක මට මගේ දෙමවුපින්ගෙන් ලැබුණු දෙයක්. නමුත් පසුකාලීනව දේවල් වෙනස් වෙනකොට දැන් හිතෙනවා රුප රචනාවක් නොකරත් බෑ කියලා. ඉදලා හිටලා රූප රචනාවකුත් කරන්න ඕන කියලා. නමුත් ගායිකාවක් විදියට මම මුල් කාළේ එච්චර ඒ ගැන වුවමනාවක් දැක්වුවේ නෑ. එහෙමයි කියලා මගේ ගීතවල ජනප්‍රියත්වය අඩු වුණෙත් නෑ. මට වුවමනාවක් නෑ විශේෂයෙන් මම කුෂානි කියලා ලොකුවට මිනිස්සුන්ට පෙන්නන්න සහ විශේෂයෙන් ප්‍රසිද්ධ වෙන්න. නමුත් ගීත හරහා මගේ නිර්මාණ මිනිස්සුන්ගේ හිත්වලට අරගෙන යන්න මට පුළුවන් වුණා. මට ඕන වුණේ මගේ නිර්මාණ රසිකයන්ට දෙන්න. එහෙම නැතුව මම කවුද කියලා මිනිස්සුනට පෙන්නන්න නෙමෙයි.


කුෂානි සඳරේඛා සහ කසුන් කල්හාර ආදර කතාව කොතනින්ද පටන් ගන්නේ?


කසුන්ගේ මවයි මගේ මවයි දෙන්නම හොඳ යාළුවෝ. මගේ තාත්තයි එයාගේ තාත්තයි රැකියාව කළේ එකම තැන. ඒත් ඒගොල්ලෝ යාළුවෝ කියලා කසුන්ව මට ලොකුවට ඇසුරු කරන්න අවස්ථාව ලැබිලා තිබුණේ නෑ. නමුත් කලාකරුවන්ගේ ළමයි ගේනවනේ එක එක වැඩසටහන් වලට එහෙම එනකොට දවසක් මට කසුන්ව මුණ ගැහුණා. ඊට කාලෙක පස්සේ සරසවි සම්මාන උළෙලකදී මට ආරධනා ලැබුණා මගේ “කුරුල්ලෝ නුඹේ තාලෙන්“ ගීතය ගායනා කරන්න. එහි සංගීතය භාර අරගෙන තිබුණේ කසුන්. එතැනදී තමයි අපි දෙන්නා හොඳටම හඳුනා ගන්නේ. ඊට පස්සේ කසුන්ගේ මිහිදුම් දුමාරයේ ගීතයත් එක්ක තමයි අපි දෙන්නා අතරේ ආදරයක් ඇති වෙන්නේ. ඒ හමුවීම තමයි අපිව මේ විදියට එකතු කළේ.


 

ඔබේ ගමනට කසුන්ගෙන් ලැබෙන සහාය කොහොමද?


ඔහු මගේ දරුවගේ පියා. ඒ වගේම ඔහුට කලාකරුවෙක් විදියටත් මම ගොඩක් ආදරය කරනවා. එයා කියන දේවල් සියයට දාහක් ඇත්ත. කලාව සම්බන්ධව, නිර්මාණ සම්බන්ධව එයාට ලොකු දැක්මක් තියනවා. එයා එයාගේ නිර්මාණ හරහා ගවුගාණක් ඈතට දැක්ක කෙනෙක්. එයා මට කිව්වොත් මේ දේවල් හරියන්නේ නෑ කියලා. එයා කියන දේවල් සියයට සීයක් මම පිළිගන්නවා. එයාගෙන් ලැබෙන උපදෙස් මගේ කලා ජීවිතේට ලොකු උදව්වක් වුණා. මගේ ළඟ තිබ්බේ නැති ගුණාංග මට එයා හරහා ඉගෙන ගන්න ලැබුණා. කලාව විතරක් ඉගෙනගෙන බෑ. මේක වෘත්තියක්. වෘත්තිය කලාවට වටිනාමක් දෙන විදියට හසුරුවන්නේ කොහොමද කියන එක වගේම කලාවේ බොහෝ දේවල් මම ඉගෙන ගත්තේ කසුන්ගෙන්. මගේ ඇඟ ඇතු‍ළේ සංගීතය ගැන තිබුණු දක්ෂතා කසුන් තමයි මුවහත් කරලා එළියට ගත්තේ. කසුන් ඇත්තටම මට සංගීතය පැත්තෙන් හොඳ ගුරුවරයෙක්.


 

ඔබ ඇයි රංගනයෙන් ඉවත් වෙලා ඉන්නේ ?


මම මුලින්ම කලාවට එන්නෙත් ගායනය වගේම රංගන ක්ෂේත්‍ර හරහා. මුලින්ම මම රංගනයෙන් දායක වෙන්නේ චණ්ඩි රජා චිත්‍රපටයට. ඒ මට වයස අවුරුදු හතේදී. ඒවගේම ළමා චිතපට කීපයකම මම රංගනයෙන් දායක වෙලා තියනවා. ඒත් ඇත්තටම මට මාව දැනෙන්නේ නෑ නිළියක් විදියට. මට ගොඩක් මාව දැනෙන්නේ ගායිකාවක් විදියට. මම වෘත්තීමට ගායිකාවක්. අදටත් මට ආරාධනා ලැබෙනවා රංගයට. ඒත් ඒකට මගේ හිත ඉඩ දෙන්නේ නෑ. මගේ පුංචි අම්මා ඒ කියන්නේ අනෝජා වීරසිංහ ඇය මා ඒක්ක තරහා වෙලත් හිටියා මම රඟපාන්නේ නෑ කියලා. අනෝජා පුංචියි මමයි පෙනුමෙන් එකවගේ. නමුත් මට මාව මං විදියට දැනෙන්නේ ගායනය හෝ නර්තනය කරනකොට විතරයි. ඒ නිසයි මම රංගන ක්ෂේත්‍රයට නොයෙන්නේ.


 

ඇත්තටම කුෂානි කියන්නේ විනෝදකාමී චරිතයක්ද?


ඇත්තටම මම නිදහසේ ඉන්න කැමති කෙනෙක්. නමුත් කාලයක් තිබුණා මම විසින්ම මගේ නිදහස නැති කරගත්ත . පස්සේ මට දැණුනා මාව නැතිවෙනවා කියලා. ඉතිං මම කල්පනා කළා මම නැවත මං වෙන්න ඕන කියලා. මම නිදහසේ චිත්‍රපට බලන්න, ගීත ගායනා කරන්න, නර්තනයේ යෙදෙන්න කැමති කෙනෙක්. දන්නේ නැති දේවල් ඉගෙන ගන්න ආස කෙනෙක්. ඒ වගේම සැහැල්ලුවෙන් ඉන්න ආසයි. අනුන්ගේ දේවල්, අනුන්ගේ ප්‍රශ්න මට අදාළ නෑ. අනුන්ට කරදර නොකර ජීවත් වෙන්න විතරයි මම කැමති. ඒ නිසාම වෙන්න ඇති ක්ෂේත්‍රයේ මම දන්න තරමින් මට තරහාකාරයෝ නෑ.


 ඉදිරියේ දී එන්න ති‍යන නිර්මාණ ගැන කතා කළොත් ?


නිර්මාණ කිහිපයක්ම තියනවා. එකක් තමයි මිදුණු විශ්වය කියන චිත්‍රපටය ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා තමයි අධ්‍යක්ෂණය කළේ. නවරත්න ගමගේ මහත්මයාගේ තමයි සංගීත නිර්මාණය ඒක ළඟදීම තිරගත වෙන්න නියමිතයි. ඒවගේම මං කරපු අලුත් ගීත කිහිපයක්ම ඉදිරියේදී එන්න තියනවා. ඊට අමතරව මේ දවස්වල ප්‍රසංග කටයුතු වලට සම්බන්ධ වෙලා ඉන්නවා.





Previous Post Next Post