තව මාස තුනකින් මම ලංකාවෙන් යනවා -හර්ෂි රසාංගා



පුංචි රංගන තාරකාවියක් අද සුරූපී, දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස රංගන ක්ෂේත්‍රය තුළ සටහන් තබා, සම්මානනීය ඇගයුම් ලබන්නටත් වාසනාව හිමි කරගෙන. ඇය නමින් හර්ෂි රසාංගා.වයසින් පොඩි වුණත් අත්දැකීම්වලින් රංගන ක්ෂේත්‍රයේ දශකයක් ගෙවා අවසන් ඇයගේ ජීවිතයේ සුවිශේෂි වෙනස්කම් කිහිපයක්ම පසුගිය දවස්වල සිද්ධ වුණා


රංගනයෙන් පේන්න නොහිටියට හර්ෂි අලුත් වැඩකින් කළඑළි බැහැලා? 


ඔව්. මගේ ගායන හැකියාව පැත්තෙන් දෙයක් කරන්න ඕන කියලා මට හිතුණා. ඒ නිසා “ආදරය සොඳුරු“ කියලා ගීතයක් කළා. ඒ ගීතය දවස් කිහිපයකට කලින් රිලීස් කරලා. ගීතයේ පද රචනය සහ සංගීත නිර්මාණය කළේ තරිඳු ධනුෂ්ක ජයවීර. මියුසික් වීඩියෝව කළේ සංදේශ් බණ්ඩාර. ගීතයේ මියුසික් විඩියෝවේ ඉන්නෙත් මම. මම සාමාන්‍යයෙන් අනෙක් අය කරනවා කියලා ට්‍රෙන්ඩ් වලට යන්නේ නෑ. ගොඩක්ම ගීතයට අවධානය ලැබෙන විදිහට තමයි මේ වැඩේ කරන්න හිතුවේ. ඒ නිසා ගීතය කියන රූප රාමුම තමයි රූප රචනයට යොදා ගත්තෙත්.


රංගන ශිල්පිනියක් වුණ ඔබ ගායිකාවක් වෙන්න තීරණය කළේ?


මම පුංචි කාලේ ඉඳන්ම ගායනයට කැමැත්තෙන් හිටියේ. රංගනය කියන්නේ මට දෙයියෝ දුන්න තෑග්ගක් වගේ. ලංකාවෙන් යන්න ඉන්න නිසා මට ඉදිරියේදී රංගනයට වෙන් කරන්න කාලය නැති වෙයි.හැබැයි ගායන කටයුතු මට කොහේ හිටියත් කරගෙන යන්න පුළුවන්.ඒ නිසා මම චූටි කාලේ ඉඳන් කැමැත්තෙන් හිටිය දේ කරන්න කාලය හරි කියලා හිතුණා.


හර්ෂි කියන රංගන ශිල්පිනියට ආදරය කළ පිරිස හර්ෂි කියන ගායිකාවත් වැලඳ ගනියිද?


රංගන ශිල්පිනියක් විදිහට ලැබුණ ආදරේ මට ඒ විදිහටම ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. මට කෙනෙක්ට අහගෙන ඉන්න පුළුවන් විදිහට ගායනයත් කරන්න පුළුවන්. ඒ නිසා මට හිතෙනවා මගේ ගායනයටත් යම් පිරිසක් ආදරය කරයි කියලා.


හර්ෂි ළගදිම ලංකාවෙන් යන්නද ඉන්නේ?


ඔව්. තව මාස තුනකින් මම ලංකාවෙන් යනවා.


ලංකාවෙන් යන්න තීරණය කළේ විවාහය නිසාම නෙමෙයි නේද?


මම මගේ සැමියා ඉන්න කටාර්වලට තමයි යන්න ඉන්නේ. සාමාන්‍ය පෙළ කරපු ගමන් තමයි මම ඉදිරි අධ්‍යාපන කටයුතුවලට ලංකාවෙන් යන්න හිටියේ. ඒත් ළංවී ටෙලි නාට්‍යයේ රූගත කිරීම් නිසා මට ලංකාවෙන් යන්න බැරි වුණා. තව කල් දාන්න අවශ්‍ය නැහැ. දැන් මට මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරගන්න යන්න පුළුවන්. අධ්‍යාපන කටයුතු කරන ගමන් ගායන කටයුතුවලට කාලය වෙන් කරන්නත් පුළුවන්.


පසුගිය දවසක නැගී එන නිළි සම්මානයත් ලබන්නත් වාසනාවන්ත වුණා. ඒ සම්මානය විදේශගත වෙන්න ගත්ත තීරණය කල් දාන්න හේතුවක් වෙන එකක් නැද්ද?


ගොඩක් අය හිතුවා සම්මානය ලැබුණට පස්සේ මම ලංකාවෙන් යන්නැති වෙයි කියලා. සම්මානයක් කියන්නේ ලොකු දෙයක්. හැබැයි මම රංගන කටයුතු නිසා අධ්‍යාපන කටයුතු අවුරුදු දෙකකින් කල් දැම්මා. තව කල් දාන්න හිතක් නෑ. ඒ නිසා ලංකාවෙන් යන්න ගත්ත තීරණය ඒ විදිහට වෙයි. ලංකාවට විටින් විට ඇවිත් යන්න මට පුළුවන් වෙයි.


ඔබ ජනප්‍රිය වුණේ රංගනය නිසා. එය අතහරින එක අපරාධයක් කියලා හිතෙන්නේ නැද්ද?


අපරාදේ කියලා හිතෙන අවස්ථා තියෙනවා. ලංකාවෙන් පිටට ගියාට පස්සේ අපිට ලැබෙන ප්‍රේක්ෂක ආදරය අඩුයි. ඒ අතින් දුකක් තියෙනවා. හැබැයි මම මේ යන්නේ මගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන්. ඒ නිසා හිත හදාගන්න පුළුවන් මට. දැන් මගේ මාර්ගයේ යන්න කාලය හරි.


හර්ෂි අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරන්න යන්නේ මොන ක්ෂේත්‍රයෙන්ද?


ඉවෙන්ට් මැනේජ්මන්ට් පැත්තෙන් තමයි මම මගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යන්නේ.


හර්ෂිගේ වයසත් එක්ක ගොඩක් අය හිතුවා ඔබ විවාහ වෙන්න ගත්ත තීරණය හදිසි තීරණයක්ද කියලා?


කිසිම හදිසියකට ගත්ත තීරණයක් නෙමෙයි. මම සහ මහේන් වයසින් ගොඩක් ලොකු අය නොවුණට සමාජය එක්ක ගැටිලා තනිව අපේ ගමන හදාගත්ත අය. ආදර සම්බන්ධයක් ඇති වුණාට පස්සේ විවාහ වෙන්න තීරණය කරන්නේ අපිට එකට ජීවත් වෙන්න පුළුවන් කියන හැඟීම ආවම. ඉතිං අපිත් ඒ තීරණයට ආවා. මට සුදුසු කෙනා ලැබුණ නිසා, අපේ ගෙවල්වලිනුත් ප්‍රශ්නයක් නොතිබුණ නිසා අපි විවාහ වෙන්න තීරණය කළා.


මහේන්ගෙයි ඔබෙයි ආදර කතාවට ලොකු අතීතයක් නෑ. ජීවිතේට ගැලපෙන කෙනා තෝර ගන්න ඒ කාලය ඇති කියලා හිතුවද? 


ආදර සම්බන්ධය පටන් අරන් අවුරුද්දකින් වගේ තමයි අපි විවාහ වුණේ. සම්බන්ධය ඇති වෙලා මාස හතකින් තමයි විවාහ වෙන්න තීරණය කළේ. කෙනෙක්ව තේරුම් ගන්න කාලයක් යනවා. යාලු වුණ කාලේ අපි විවාහ වෙයි කියලා අදහසක් තිබ්බේ නෑ. මොකද සමහර අය මාස දෙක තුන ආශ්‍රය කරද්දි තේරෙනවනේ මුල හිටපු කෙනා නෙමෙයි මේ ඉන්නේ කියලා. ඒත් මහේන් මුල හිටියා වගේමයි හිටියේ. එයාගේ ගතිගුණවල කිසි වෙනසක් වුණේ නෑ. මහේන්ගේ පෞර්ෂයට මම කැමැතියි. මම හැමදාම ප්‍රාර්ථනා කළේ මගේ වෙන කෙනා මගේ පවුලේ අයටත් එයාගෙම අය වගේ ආදරය කරන්න ඕනේ කියලා. මහේන් මගේ පවුලටත් ගොඩක් ආදරෙයි. මට මහේන්ව හම්බුණේ ඉන්ස්ටර්ග්‍රෑම් එකෙන්. ඒත් අපිට අපි ගැන පුරුදු හඟීමක් තිබ්බා. ඒත් එක්ක මට හිතෙනවා මට හොඳම කෙනා තෝරගන්න මේ ලැබුණ කාලය ඇති කියලා.


මහේන්ව ඔබ හැබැහින් දකින්නේ ආදර සම්බන්ධය පටන් අරන් කාලයකට පස්සෙනේ. මොන වගේ හැඟීමක්ද එදා දැනුණේ?


අපේ ආදර සම්බන්ධය පටන් අරන් මාස දෙකකට පස්සේ තමයි මහේන් ලංකාවට ආවේ. ඒ වෙනකොටත් දෙන්නට දෙන්නා ඕන තරමට අපි හිතින් බැඳිලා හිටියේ. එයාපෝට් එකේදි එයාව මුලින්ම දැක්ක වෙලාවේ මට දැනුණෙත් ගොඩක් කල් ඉදන් අපි දන්නවා වගේ හැගීමක්.


විවාහයෙන් පස්සේ හර්ෂිගේ පෙනුමත් වෙනස් වෙලා. මහේන් හර්ෂිට වෙනස් වෙන්න ඉඩ දීලා වගේ?


මම අවුරුදු එකොළහක් රංගන ක්ෂේත්‍රයේ හිටියා. මම කළේ ගොඩක් අහිංසක චරිත නිසා මගේ පෙනුම තිබ්බේ ඒ චරිතවලට අවශ්‍ය විදිහට. මම ආසයි ෆැෂන් කරන්න. කොණ්ඩේ කපන්නත් මම ආසාවෙන් හිටියා. මහේන් මම ආස දේවල් කරන්න ඉඩ දෙනවා. දැන් රංගන කටයුතු කරන්නෙත් නැති නිසා මට කොණ්ඩේ කපන්න තිබ්බ කැමැත්තත් ඉෂ්ට කරගන්න පුළුවන් වුණා.


ඔබේ පෙනුමේ වෙනස ඔබට ආදරය කරන ප්‍රේක්ෂකයෝ බාර ගෙන තියෙන්නේ කොහොමද?


ගොඩක් අය කැමැති මගේ කොණ්ඩේ දිග අහිංසක පෙනුමට. එහෙම කැමැති අය මගේ වෙනසට බැන්නා. හැබැයි ලස්සන කියන්නේ සාපේක්ෂ දෙයක්. කෙනෙක්ට ලස්සනයි කියලා හිතෙන දේ තව කෙනෙක්ට කැතයි කියලා හිතෙන්න පුළුවන්. මම දෙයක් කරද්දි බලන්නේ මං කරන දෙයකින් මගේ පවුලේ අයට දුකක් හිත් රිදීමක් වෙනවද කියලා. ඉතිං එයාලට එහෙම ප්‍රශ්නයක් වෙන්නෙ නැත්නම්, එයාලට මාව ලස්සනයි කියලා දැනෙනවානම් මට ඒ ඇති.


මහේන් හර්ෂි ගැන හොඳ අවබෝධයකින් ජීවත් වෙන කෙනෙක් වගේ?


මහේන්ට මං ගැන ලොකු අවබෝධයක් තියෙනවා. ඒක මට වටිනවා. රංගනයෙන් ඈත් වෙලා යන්න ගත්ත තීරණයෙදිත් එයා මගෙන් ඇහුවේ ඒක මම කැමැත්තෙන් ගත්ත තීරණයක් නේද කියලා. සංගීත කටයුතුවලට වුණත් එයාගෙන් මට ලොකු සහයක් ලැබෙනවා.





Previous Post Next Post