දුව විවාහ වෙලා යද්දී මට දැනුණේ ශරීරයෙන් හදවත එළියට අරන් යනවා වගේ - නලින් පෙරේරා




මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරාගේ දියණිය ස්වේතා මේලි පෙරේරා. ඇයගේ විවාහ මංගල උත්සවය පසුගිය දා පැවැත්වුණා. ස්වේතා මේලිගේ අතගත් මනාලයා වූයේ රනිත් දිමිත්‍ර. මේ වෙද්දී නම් ස්වේතා - රනිත් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර. ස්වේතා මෙල්බන් යන්න කලින් සිළුමිණ රසඳුන සමඟ කළ සොඳුරු කතා බහයි මේ...


 

ස්වේතා දැන් කොහෙද මේ පදිංචිය


විවාහයෙන් පස්සේ මම මෙල්බර්න් වල පදිංචියට ආවා. මගේ සැමියා රනිත් පදිංචි වෙලා ඉන්නේ මෙහෙ. ඒ නිසා මමත් විවාහයෙන් පස්සේ ඔහුත් එක්කම ඔස්ට්‍රේලියාවේ පදිංචියට ආවා. තාත්තත් එයාගේ සංගීත වැඩකටයුතුවලට මෙහෙ ඇවිත් යන්න ඉඩ තියෙනවා. ඒ වගේම නිවාඩු කාලයට මම ලංකාවට ගිහින් දෙමාපියන් සහෝදරයින් බලන්න තමයි හිතන් ඉන්නේ.


 

විවාහ මංගල දිනය හිතපු විදියටම ගත්තා නේද?


මම හිතපු විදියටත් වඩා හැමදේම ලස්සනට සුන්දරව සිද්ධ වුණා. ඒ ගැන සතුටක් තියෙනවා.


කොහොමද මේ ආදර කතාව පටන් ගන්නේ


අපි දෙන්නගෙම අම්මලා තාත්තලා පොඩි කාලේ ඉඳන්ම දන්න අය. මමත් රනිත්ගේ නෑදෑයින් ගොඩක් මීට කලින් හම්බෙලා තියෙනවා. නමුත් රනිත්ව හම්බෙලා තිබ්බේ නැහැ. 2020 දී තමයි අපි අප ගැන දැන ගන්නේ. ඒ රනිත්ගේ ඥාති කෙනෙක් මාර්ගයෙන්. එතකොටත් රනිත් මෙල්බර්න්. මම ලංකාවේ. ඒ අතර අපි කතාබහ කළත් අපි දෙන්නට දෙන්නා හරියටම දැක්කේ අවුරුදු එකහමාරකට විතර පස්සේ.


 කොහොමද රටවල් දෙකක ඉඳන් ආදරේ කරද්දී


ඒ ආදරේ ලේසි නැහැ. දෙපැත්තෙන්ම ලොකු කැපවීමක් ඕනේ. අපි දෙන්න ගොඩක් දුරට හිතන්නේ එක වගේ. එයා මට අවධානය දෙනවා වගේම මමත් එයාට අවධානය දෙනවා. හැමදේම අපි ෂෙයාර් කර ගන්නවා. අපි දෙන්නා කතා කරන්න පටන් ගත්ත දවසේ ඉඳන් අද වෙනකම්ම ඒ දේ ඒ විදියටම තියෙනවා.


 

සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්ට හිත නොගිහින්, සංගීතයට සම්බන්ධ ම නැති රනිත් ට හිත ගියේ


මම කවදාවත් සංගීතය හෝ ඒ තුළින් ලැබෙන ජනප්‍රියත්වය පස්සෙන් පන්නලා ගිය කෙනෙක් නෙවෙයි. මම බැලුවේ විවාහ වෙද්දී ඊට වඩා ගැඹුරු දේවල්. කොහොමද එයා මාව තේරුම් ගන්නේ වගේ දේවල්. ඒ එක්කම එයා මට ආදරේ කරන විදිය. ඉස්සරහට අපි දෙන්නටම එකතුවෙලා හොඳ ගමනක් යන්න පුලුවන්ද කියන දේවල්.


 තාත්තා එක්ක නම් ටික්ටොක් කරනවා අපි දකිනවා, ස්වේතා සිංදුවක් කරන්න අදහසක් නැද්ද?


සින්දු කිහිපයක් කරලා තියෙනවා. තාත්ති මට හදපු සින්දුත් තියෙනවා. විවාහ වෙන්න කලින් මම පෞද්ගලික ආයතනය සේවය කළා. ඒ නිසා කාලය මඟ හැරුණා. ඊට පස්සේ වෙඩින් එකේ වැඩත් එක්ක සෑහෙන්න කාර්යබහුල වුණු නිසා ඒ දේවල්වලට කාලය යොමු කරන්න බැරි වුණා. ඉදිරියේදී සින්දුවක් එළිදක්වන්න හිතන් ඉන්නවා.


 ස්වේතාට ගෙදරින් වෙන්වෙලා එද්දී මොනවගේ හැඟීමක් ද දැනුණේ?


ඒ ගැන නම් මම දැන් හිතන්නෙත් නැහැ. ඒක දරා ගන්න ගොඩක් අමාරු මොහොතක්. මම ආවෙත් මගේ ඇඟෙන් කෑල්ලක් තියලා වගේ. ඒත් ඉතින් මොනවා කරන්නද? ඒ ගැන කියන්න මට වචනත් නැහැ. එකම සැනසීමකට තියෙන්නේ රනිත් මට දක්වන ආදරේ සහ මගේ පවුලේ අයට දක්වන ආදරය.


 ස්වේතාට ඉන්නේ මල්ලි කෙනෙක්නේ, මල්ලි මොකද කිව්වේ?


එයා වැඩිය කතා කරන කෙනෙක් නෙවෙයි. වෙඩින් එක දවසේ මගේ පොඩි කාලේ ඉඳන් තියෙන වීඩියෝ එකතු කරලා සර්ප්‍රයිස් වීඩියෝ එකකින් තමයි එයාගේ ආදරේ පෙන්නුවේ. ඒක ලස්සනට කරලා තිබ්බා. තාත්තාත් මගේ ෆර්ස්ට් ඩාන්ස් එකට සින්දුවක් කරලා තිබ්බා.


 

අපි අම්මා ගැනත් කතා නොකළොත් අඩුවක් වෙනවා


අම්මි තමයි අපි හැමෝටම හැමදේකටම උපදෙස් දෙන්නේ. එයා නැත්නම් අපි තුන්දෙනාගෙම කිසි වැඩක් හරියට වෙන්නේ නැහැ. අම්මි තමයි හැමදේම පිළිවෙළට හොයලා බලලා කරන්නේ. මගෙ අම්මි, රනිත්ගෙයි මගෙයි ආදරේ පටන් ගත්ත දා ඉඳන් අපි දෙන්නට හොඳින් ඉන්න උපදෙස් දුන්නා.


 දුවෙක් ගොඩක් සමීප තාත්තටනේ, මේ මොහොතේ තාත්තට කියන්න තියෙන දේ මොකක් ද?


කොහේ හිටියත් කියන්න තියෙන්නේ මම තරම් තාත්තිට ආදරේ කරන කෙනෙක් මේ විශ්වයේම නැහැ. ඒක අම්මිත් දන්නවා මල්ලිත් දන්නවා රනිතුත් දන්නවා. අපිව ළඟින්ම දන්න හැමෝම ඒ ආදරේ ගැන දන්නවා. ඉතින් මම කොහේ හිටියත් තාත්තිට තියෙන ආදරේ නම් අඩු වෙන්නේ නැහැ. තව තවත් ඒ ආදරේ වැඩි වෙනවා මිස.


 ස්වේතා තාත්තා ගැන ඔහොම කියද්දී ආදරණීය තාත්තා රටක් ආදරේ කරන මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරාගෙන් දුව ගැන නොඅසා කොහොමද? ආදරණීය දුව දැන් විවාහ වෙලා එයාටම කියලා කැදැල්ලක් හදන් පියඹා ගිහින්. මොන වගේ හැඟීමක් ද හිතේ තියෙන්නේ?


ඒ හැඟීම වචනවලට පෙරළන්න නම් අමාරුයි. ස්වේතා දුව කියන්නේ මගේ ගෙදර සීනුව. දුව විවාහ වෙලා යද්දී මට දැනුණේ ශරීරයෙන් හදවත එළියට අරන් යනවා වගේ. මම ගොඩක්ම සමීප දුවට කිව්වොත් එකේ වැරැද්දක් නැහැ. එයා තමයි මගේ හුස්ම ටික. ඒ නිසාම දුව වෙනුවෙන් මම සින්දුවක් කළා. හැබැයි මම දන්නවා ඒ සින්දුව එදා මංගල දිනය දා මට සජීවීව ගයන්න බැහැ කියලා. ඒ නිසාම මම ඒක කලින් පටිගත කරලා විවාහ දවසේ මුල්ම සින්දුව විදියට දුවට තිළිණ කළා.


විවාහයෙන් පස්සේ ඒ දෙන්නා විදෙස්ගත වුණා. ඒකත් දරා ගන්න අමාරුයි. මොනවා කරන්න ද ජිවිතේ අතහැරීම තමයි තේරුම් ගන්න තියෙන්නේ අපිට. පියෙක් හැටියට සතුටයි, දුකයි දෙකම එකතු වුණු තැනක්. එයා පතපු විදියට හැමදේම සිද්ධ වුණා. දැන් මමත් මගේ බිරියත් හරිම ආසාවෙන් ඉන්නේ ආච්චිලා සීයලා වෙන්න.



අනුෂා රණසිංහ




 
Previous Post Next Post