ලිංගික දර්ශන වුණත් නිර්මාණයට කොයිතරම් වැදගත්ද කියලා බලන්න ඕන - සුලෝචනා වීරසිංහ




රංගනයට වේදිකාවෙන් පන්නරය ගත් ඈ පුංචි තිරයෙත් රිදී තිරයෙත් ඉඳ හිට හෝ දැක ගන්න ලැබෙන ආදරණීය චරිතයක්. සුලෝචනා වීරසිංහ කියන්නේ වේදීකාවට නැතුවම බැරි චරිතාංග රංගන ශිල්පිනියක්. මේ කතාබහ සුලෝචනා සමඟයි.


 මොන ප්‍රශ්න තිබ්බත් සුලෝචනා සජීවී මාධ්‍යයක් වූ වේදීකාවට නම් සමු දෙන්නේ නැහැ නේද..?


මගේ රංගන ජීවීතේ ගමන ආරම්භ වෙන්නේ වේදිකා නාට්‍යයෙන් නිසා වේදීකාවට තවමත් මම ආදරෙයි. පුළුවන් හැම මොහොතකම වේදිකාවත් එක්ක සම්බන්ධ වෙනවා. පසුගිය සතියෙත් රාජිත දිසානායක ගේ 2019 ජූලී මාසේ දවසක්, වේදිකා නාට්‍ය වේදිකා ගත කළා. රටේ තියෙන ප්‍රශ්න එක්ක ප්‍රේක්ෂකයන් වේදිකා නාට්‍ය බලන්න ඒමේ අපහසුතා ඇති කාලෙක එහෙම දෙයක් කිරිම ගැන රාජිත අයියාට ස්තුතිවන්ත වෙන්න ඕන. තවත් වේදිකා නාට්‍යකට ආරාධනා ලැබුණා. එය ලබන වසරේ තමයි වේදිකා ගත කරන්න ඉන්නේ.


 ටෙලිවිෂනය තුළ වුවත් ඔබව දකින්නේ කලාතුරකින්..?


මේ වෙද්දී හිරු නාළිකාවේ විකාශය වෙන දිවිතුරා නාට්‍යයේ නිලුගේ චරිතයට පණ පොවනවා. ඊට අමතරව ස්වාධීන රූපවාහිනීයේ විකාශය වෙන ගගන පියවර නාට්‍යයටත් රංගනයෙන් සම්බන්ධ වෙනවා.


 දිවිතුරා නාට්‍යයේ නිලු වගේද සැබෑ ජීවිතේ සුලෝචනාත්..?


එහි මගේ මිතුරියට ඉන්නේ හිමාලි සයුරංගී. හිමාලි අක්කා මගේ බොහෝම ළඟ හිතවතියක්. මට හොඳ යාළුවෝ ඉන්නවා. එයාලගේ දුක ළඟදි මම පුළුවන් උපරිම දේ කරනවා. නිලු වගේ හොඳ යාළුවෙක් මගේ යාළුවෝ අතර ඉන්නවා.


 සුලෝචනා කිව්ව ගමන් බොහෝ දෙනෙකුට මතක් වෙන්නේ චරිතාංග නිළියක් කියන එක, දීර්ඝ නාට්‍ය සඳහා සම්බන්ධ වීම ඊට හානියක් නෙමෙයි ද..?


මම දිවිතුරා නාට්‍යයට සම්බන්ධ වෙන්නේ ඒ නාට්‍යයේ කොටස් 35ක් විකාශය වුණා ට පස්සේ. සෑහෙන කාලෙකින් මම දීර්ඝ නාට්‍යයක රඟපෑවේ නැහැ. නමුත් මේකට සම්බන්ධ වෙද්දී අපරාදේ දීර්ඝ නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ කියලා කියපු අයත් හිටියා. මටත් එහෙම හිතුණා මට වෙනම ප්‍රේක්ෂක කොටසක් හිටපු නිසා. නමුත් දැන් හැමෝගෙම අදහස් වෙනස් වෙලා. බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වන මට්ටමට ඇවිත්. කොහේ ගියත් “ආ මේ නිලු නේද“ කියලා අහනවා. චරිතයක් නමින් ආමන්ත්‍රණය කිරිමම සතුටක් කියලයි මම හිතන්නේ.


 කලාත්මක නිර්මාණ කියලා ආරාධනා කරන ඕනෑම නිර්මාණයක් ඔබ භාර ගන්න සූදානම් ද..?


කැමැත්ත අකමැත්ත තීරණය වෙන්නේ සම්පුර්ණ පිටපත බලලා ඉවර වුණාට පස්සේ තමයි.


 වැඩිහිටියන්ට පමණයි ලේබල් යටතේ නිර්මාණ..?


නිකිණි වැස්ස කියන්නෙත් ඒ ගොඩට වැටුණු නිර්මාණයක්. නමුත් නිර්මාණයක දර්ශන, සිද්ධි, අවස්ථා සඳහා ලිංගික දර්ශන ගලවලා වෙනම ගන්න පුළුවන් නම් එය සාර්ථක නිර්මාණයක් හැටියට මම දකින්නේ නැහැ. ලිංගික දර්ශන වුණත් කොයිතරම් දුරට ඒ නිර්මාණයට වැදගත් ද කියලයි බලන්න ඕන. ඉතා පරිස්සමින් කරන්න ඕන දෙයක්. එහෙම නැතුව වෙළෙඳ පරමාර්ථයෙන් කළොත් එය නිර්මාණාත්මක දෙයක් වෙන්නේ නැහැ. කලාත්මක නිර්මාණයකට ලේබල් අදාළ නැහැ‍.


 

කොහොමද පවුල් ජීවිතේ තොරතුරු ..?


අපේ දුව මෞරී ආර්‍යා. වයස අවුරුදු හයයි. මම එයාව අවුරුදු තුනේ ඉඳලාම රියසල් යද්දී එක්කගෙන යනවා. එයාට ලොකේෂන් පුරුදුයි දැන්. නමුත් මම ටීවී එකෙන් දකිනවා කියලා එයත් රඟපාන්න ආසයි කියන්නේ නැහැ. මගේ අම්මා තමයි වැඩවලට උදව් කරන්නේ. සැමියා චානක සංජීව. කියා දෙන්න ආදරේ තරම් නාට්‍යයේ කැමරා ශිල්පියා ඔහු තමයි. එයාට මට උදව් කරන්න තරම් වෙලාවක් නැහැ. පුළුවන් විදිහට උදව් කරනවා. සතුටින් ඉන්නවා.


 

සුලෝචනාගේ සමහර පෞද්ගලික අත්දැකීම් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගන්නවා නේද..?


මම ආසයි ලියන්න. ඒ වගේම මම ජීවත් වෙන හැටි, මේ තැනට ආවේ කොහොමද කියලා අත්දැකීම් කා එක්ක හරි බෙදා ගන්න ආසයි. ඒ නිසා ලියනවා. නමුත් ඇතැම් වෙබ් අඩවිවලින් ඒවා එයාලා මාත් එක්ක කතා කළා වගේ පළ කරනවා. ඒ ගැන නම් කනගාටු වෙනවා.


හර්ෂණී වීරරත්න





Previous Post Next Post