දෙවෙනි ඉනිමට ආවට පස්සේ ගුරු වෘ‍ත්තිය නතර කළා- වින්ඩි ඒකනායක



ටීවී දෙරණ නාළිකාවෙ විකාශය වන දෙවෙනි ඉනිම season 2 ටෙලිනාට්‍යයේ ලිහිනිගේ චරිතය රඟපාන වින්ඩි ඒකනායකට තරුණයන් කොච්චර පෙම්බැන්දත් වින්ඩිගේ හිත කලින් ඉඳලම දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ රඟපාන තවත් නළුවෙක්ට ගිහින් ඉවරයි කියලා සමාජ මාධ්‍යවල මේ දවස්වල කටකතා පැතිරිලා තියනවා. ඉතින් ඒ කටකතාවල ඇත්ත වින්ඩිගෙන්ම අහලා දැනගමු.




අලුත් ලිහිනිට හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලා ආරංචියි?




මීට කලින් දෙවෙනි ඉනිමෙ ලිහිනිගේ චරිතය නිළියො දෙන්නෙක් රඟපෑවා. ඉතින් ලිහිනිගේ චරිතය බාරගන්නකොට හිතේ පොඩි චකිතයක් තිබුණා ප්‍රේක්ෂකයො අලුත් ලිහිනි විදිහට මාව බාර ගනියිද කියලා. හැබැයි මේ වෙද්දී ගොඩක් දෙනා ලිහිනි විදිහට මම කරන රංගනය වැළඳගෙන තියනවා. ඒ අතරතුර සමහර බනින අයත් නැතුවම නෙමෙයි. සමස්තයක් විදිහට ඉතින් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.




ක්ෂේත්‍රයට ඇවිත් කෙටි කාලයකින් ජනප්‍රිය නිළිය විදිහට නිර්දේශ වෙන්න ලැබුණා...




ඔව්. පසුගිය සුමති හා රයිගම් උළෙලේදි ජනප්‍රියම නිළියට හිමි සම්මානයට මාව නිර්දේශවෙලා තිබුණා. ඉතින් ප්‍රේක්ෂකයන්ට ගොඩක් ස්තූතියි මාව ඒ විදිහට එස්.එම්.එස්. මනාපවලින් ඉස්සරහට අරන් යන එකට.


කොහොමද රවීන් කනිෂ්ක එක්ක රඟපාන්න ලැබුණ අත්දැකීම?




පුංචි තිරයේ ඉන්න කඩවසම් වගේම දක්ෂ නළුවෙක් වන රවීන් කනිෂ්ක එක්ක එකට රඟපාන්න ලැබුණ එක ඇත්තටම සතුටක්. රංගනයෙදී රවීන් හොඳ සහයෝගයක් දෙනවා. ඒ වගේම තමයි දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ ඉන්න අනිත් ප්‍රවීන නළු නිළියොත් හොඳ සහයෝගයක් දීලා අපේ චරිත හරි විදිහට රඟපාන්න උදව් කරනවා.




රංගනයට එන්න කලින් ඉඳලම සැබෑ ජීවිතයේදිත් ගුරුවරියක්...




ඔව්. පොඩි ළමයින්ට උගන්නන ගුරුවරියක් විදිහට මම කටයුතු කළා. හැබැයි දෙවෙනි ඉනිමේ රංගන කටයුතුත් එක්ක ගුරු වෘත්තීය නැවත්තුවා.




ගුරු වෘත්තිය අතෑරපු එක අපරාදෙ කියලා හිතන්නෙ නැද්ද?




මහනුවර ප්‍රදේශයේ පාසලක තමයි මම ඉගැන්නුවේ. හැබැයි දෙවෙනි ඉනිමේ රූගතකිරීම් තියෙන්නෙ කොළඹ. ඉතින් සැරින් සැරේ කොළඹ යන්නයි නුවර එන්නයි තියාගත්තම එක වෘත්තීයක්වත් හරියට කෙරෙන්නෙ නැහැ. ඉතින් මම හිතුවා වෘත්තීයන් දෙකටම අසාධාරණයක් කරන්නෙ නැතුව රංගනය තෝරගෙන ඒ දේට සම්පූර්ණ අවධානය දීලා කරන්න.⁣ ඉතින් ගුරුවෘත්තිය අතෑරලා කොළඹ නැවතිලාම මේ දවස්වල රංගන කටයුතු කරගෙන යනවා.




කොළඹ ජීවිතය මොනවගේද?




කොළඹ ජීවිතය වරදක් නැහැ. හැබැයි ගමේ තියෙන නිස්කලංකකමයි පිරිසිදු වාතාශ්‍රයයි කොළඹ අඩුයි.


එහෙනම් ගමේකමට හැදුන ලස්සන රූපෙ රැකගන්න කොළඹදි විශේෂ දේවල් කරනවා ඇති?




රංගන කටයුතු එක්ක ඇත්තටම රූපේ ගැන හිතන්න වෙලාවක් නැහැ. ගමේ ඉන්නකොට නම් ⁣රූපේ ලස්සන කරගන්න රූපලාවණ්‍ය දේවල් කළා. හැබැයි කොළඹ ආවට පස්සෙ ඒ දේවල් ඔක්කොම නැවතුනා. කිසිම රූපලාවණ්‍ය සත්කාරයක් කරන්නෙ නැතුව සාමාන්‍ය ස්වභාවික විදිහට තමයි මේ දවස්වල ඉන්නේ.




සමාජ මාධ්‍යවල කටකතාවක් පැතිරිලා තියනවා දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ රොෂාන්ට රඟපාන චමල් එක්ක ප්‍රේම සම්බන්ධයක් තියනවා කියලා...




චමලුයි මායි පුංචි කාලෙ ඉඳලා සමීපව ඇසුරු කරනවා. හැබැයි ඒ හොඳ යාළුවො විදිහට මිසක පෙම්වතුන් විදිහට නම් නෙමෙයි. අපි දෙන්නාගෙම පදිංචිය මහනුවර ප්‍රදේශයේ. ඉස්කෝලේ ගියෙත් එකළඟ තියන පාසල්වලට. ඒ නිසා පුංචි කාලෙ ඉඳලා සමීප ඇසුරක් ගොඩනැගිලා තියනවා. පාසල් කාලයෙන් පස්සෙ අපි දෙන්නා නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධවෙලා කපල් එකක් හැටියට ෂූට්වලට පෙනී හිටියා. චමල් එක්ක තියන කිට්ටු ඇසුරයි නිරූපණයෙදී අරගෙන තියන ෆොටෝසුයි එක්ක ගොඩක් දෙනා හිතන්නෙ අපි දෙන්නා පෙම්වතුන් කියලා. අහම්බෙන් වගේ අපි දෙන්නටම එකම ටෙලිනාට්‍යයේත් රඟපාන්න අවස්ථාව හම්බවුණා. කොහොම වුණත් අපි දෙන්නා හොඳ යාළුවො කියලා තමයි හැමෝටම කියන්න තියෙන්නේ.


ඇත්තටම ආදරවන්තියක් නෙමෙයිද?




අනේ නැහැ. මම තාම තනිකඩයි.




මොනවගේ ගතිගුණ තියන පෙම්වතෙක්ද බලාපොරොත්තු වෙන්නෙ?




සරල අහිංසක ගතිගුණ තියන මාව තේරුම් අරගෙන ජීවත්වෙන කෙනෙක්ට තමයි මම කැමති.




ක්ෂේත්‍රයේ කෙනෙක්ට කැමති නැද්ද?




නළුවෙක් වුණත් වරදක් නැහැ. මම අර කලින් කියපු ගතිගුණ තියනවා නම් මගේ විරුද්ධත්වයක් නැහැ.




Previous Post Next Post