
මෙවර Cannes සිනමා සම්මාන උලෙළේ රතු පලස මතින් යන්න ඔබත් වාසනාවන්ත වුණා. ඒ ගැන මොකද හිතෙන්නේ?
ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ ගැහැනු ළමයි සිනමාපටය මෙවර පැවැති Cannes සිනමා සම්මාන උලෙළේ ප්‍රදර්ශනයට තෝරා ගැනීමත් සමඟ මටත් ආරාධනා පතක් ලැබුණා. මම දිගු කලක් ක්ෂේත්‍රයේ රැඳිල හිටිය නිළියක් නොවුණත් ඒ ලැබුණු අවස්ථාව මට ගොඩක් වටිනවා. එදා රතු පලස මතින් යද්දි මට මතක් වුණේම ලංකාව. ඒ හැඟීම විස්තර කරන්න බෑ. දීර්ඝ කාලයක් තිස්සේ මං පිටරටක හිටියත් නිතරම වගේ ලංකාවට ඇවිත් මාස දෙක තුන ඉඳලා යනවා. මේ පාර ලංකාවට ආපු වෙලාවේ තමයි Cannes වලට ඉන්විටේෂන් ලැබුණේ. ඒ වෙලාවේ කියාගන්න බැරි සතුටක් දැනුණා. මගේ අම්මයි තාත්තයි හිටිය නම් ගොඩක් සතුටු වෙනවා. ගැහැනු ළමයි චිත්‍රපටයට මාව සම්බන්ධ කරගත්තට සුමිත්‍රා පීරිස් මහත්මියට සහ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.
ගැහැනු ළමයි සිනමා අත්දැකීම මොන වගේද?
මේක සුමිත්‍රා පීරිස් සහ ලෙස්ටර් ජේම්ස් පීරිස් පවුලේ පළමුවැනි ෆැමිලි ප්‍රඩක්ෂන් එක. සුමිත්‍රා පීරිස්ගේ පළමුවැනි සිනමා අධ්‍යක්ෂණය. මගේ තාත්තා එම්. එස්. ආනන්ද තමයි කැමරා අධ්‍යක්ෂ විදිහට කටයුතු කළේ. අපේ තාත්තා තමයි ලෙස්ටර් මහත්මයා කැමතිම ඡායාරූප ශිල්පියා. තාත්තා ඔහුත් එක්ක ගොළු හදවත, නිධානය වගේ සිනමාපටවල වැඩ කරල තිබුණ නිසා මට හිතෙනවා තාත්තගේ කැමරා ඇසින් ඔහුට ඕන දේ එනවා කියලා. ඒ නිසා වෙන්න ඇති ලෙස්ටර් මහත්මයා මගෙ තාත්තව සම්බන්ධ කරගන්න ඇත්තේ. ගැහැනු ළමයි චිත්‍රපටයේ රංගනයට මුලින්ම තෝරගෙන තිබුණෙ මාව. වසන්ති කියන්නේ සිනමාවට අලුත් මුහුණක්. අජිත්ගෙත් දෙවැනි රංගනය අපි ස්වාභාවික විදිහට රඟපෑවා කියල හැමෝම කිව්වා. ඒ විදිහට ඔක්කොම හරිම ලස්සනට වුණා. ඒකම වෙන්න ඇති Cannes සිනමා උලෙළට තේරෙන්න හේතුවත්.
ගැහැනු ළමයි කතා සංකල්පයත් එහිදී වැදගත් වෙන්න ඇති?
කරුණාසේන ජයලත්ගේ ගැහැනු ළමයි නවකතාවේ ඔරිජිනල් තිර පිටපතම තමයි සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළේ. රංගන ශිල්පීන් ගොඩක්ම අලුත් අය. ලොකු කතාවක් නැතත් වයස් භේදයකින් තොරව ඕනෑම අයකුට රසවිඳින්න පුළුවන් නිර්මාණයක්. කුසුම්ගේ යහළුවා පත්මිණී විදිහට රඟපාද්දි මගේ වයසත් අවුරුදු දාහතරක් පහළොවක් වගේ ඇති. ටිකක් සෙල්ලක්කාර චරිතයක්. චණ්ඩි ශ්‍යාමා චිත්‍රපටය ඉවර වෙනවත් එක්කමයි ගැහැනු ළමයි එක්ක සම්බන්ධ වුණේ. ඒ වෙද්දිත් මට වෙනමම ප්‍රේක්ෂකයින් පිරිසක් හිටියා. ඔවුනුත් මේ චිත්‍රපටය බලලා තිබුණා. ඒ දවස්වල අද වගේ සමාජ මාධ්‍යවලින් ප්‍රතිචාර ලැබුණෙ නෑ. ලියුම්වලින් තමයි ප්‍රතිචාර ලැබුණේ. මට මතකයි ගොඩක් ලියුම් ලැබුණා. මටයි වසන්තිටයි දෙන්නටම ගැහැනු ළමයි සිනමාපටයට ජනාධිපති සම්මාන හිමිවුණා. OCIC සම්මානත් හිමිවුණා. කරුණාසේන ජයලත් එක තැනක කියලා තිබුණා ඔහුගේ හිතේ හිටිය පද්මිණී ඒ විදිහටම මගෙන් ආවා කියලා. ඔහු ඒ බව තාත්තට වෙනමම ලියල දීලත් තිබුණා. ඒක මට ලොකු සතුටක්.
ඔබ රංගනයට පිවිසෙන්නේ මාස 6ක බිලිඳියක් විදිහට. ඒක කොහොමද දැනෙන්නේ?
‘වෙන ස්වර්ගයක් කුමටද’ චිත්‍රපටයට මාව සම්බන්ධ කරගෙන තියෙන්නේ මට මාස හයේදී. තාත්තා සම්බන්ධ වුණු හැම චිත්‍රපටයකම වගේ මාත් ගත්තා. තාත්තාගේ ‘ප්‍රවේසම් වන්න’ චිත්‍රපටයට සම්බන්ධ වුණේ අවුරුදු අටේදී. මගේ තාත්තා කැමරා අධ්‍යක්ෂවරයෙක් වගේම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. අම්මා වයලට් ආනන්ද. ඇයත් කලාවට සම්බන්ධතාවක් තිබුණා. සුවිනීතා ලාලිනී, සුහද දිවි පිදුම, සිතක මහිම, සත පනහ, අතුල්වීම තහනම්, සෙනෙහස වගේ චිත්‍රපටවල ළමා නිළියක් විදිහට දිගටම සම්බන්ධ වීමත් එක්ක ක්ෂේත්‍රයේ මාව ‘බේබි ශ්‍යාමා’ නමින් ජනප්‍රිය වුණා. ඊටත් පස්සේ තමයි අපේ පවුලේ නිෂ්පාදනයක් විදිහට ‘ප්‍රවේශම් වන්න’ චිත්‍රපටය නිපදවෙන්නේ. සිංහල සිනමාවට අවුරුදු 25ක් පිරීම නිමිත්තෙන් සිංහල සිනමාවේ හොඳම ළමා නිළිය ලෙස ‘ප්‍රවේසම් වන්න’ චිත්‍රපටයට දීපශිකා සම්මානය හිමිවුණා. ඒ කාලේ මං ඉස්කෝලෙ ගිහින් ඇවිල්ලත් ෂූටින් යනවා. රෑ ෂූටින් ගිහිල්ලා උදේ එහෙමම ඉස්කෝලෙ ගිහිල්ලත් තියෙනවා. සමහර දවසට හරියට මේක්අප් ඉවත් වෙලත් නෑ.
ඔබ රංගනයට සමුදෙන්නේ අතිශයින්ම ජනප්‍රිය කාලේ. ඒ ගැන පසුතැවිල්ලක් නැද්ද?
ඔව්. ඒ මගේ හොඳම කාලේ. තාත්තා මගේ නමින් බබා ශ්‍යාමා, මගේ නම ශ්‍යාමා, මං බය නෑ ශ්‍යාමා, ආයුබෝවන් ශ්‍යාමා, චණ්ඩි ශ්‍යාමා කියලා චිත්‍රපට මාලාවක් නිර්මාණය කළා. අන්තිමටම සම්බන්ධ වුණේ ‘මං බය නෑ ශ්‍යාමා’ චිත්‍රපටයට. අවුරුදු 20දී මං විවාහ වුණා. ඒ වෙද්දි ලංකාවේ හැමෝම වගේ මං ගැන දැනගෙන හිටියා. ප්‍රේක්ෂක ආදරය උපරිමයෙන්ම වින්දා. අනිත් එක මට කවදාවත් වෘත්තියක් විදිහට රඟපාන්න ඕන වුණෙත් නැහැ. දිගටම මාව මේ ක්ෂේත්‍රයේම රඳවන්න මගේ මවුපියන්ට ඕන වුණෙත් නැහැ. මගේ තාත්තා මේ ක්ෂේත්‍රයේ හිටපු නිසා තමයි මං ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. මං විවාහ වුණ නිසා එයාලත් ඒක හිතෙන් අතෑරියා. ඒ නිසා මටත් ඒක ලොකුවට දැනුණෙ නැහැ.
විවාහයෙන් පස්සෙ රඟපාන්න එපා කියලා සැමියාගෙන් තහංචි වැටුණ ද?
නෑ. නෑ. කිසිම තහංචියක් වැටුණෙ නෑ. විවාහ වෙලා අපි දෙන්න අවුරුදු තුනකට කියලා කැනඩාවට ගියා. ඒත් අවුරුදු තිස්පහක් හතළිහක් ගිහිල්ලත් තාම එහේ. අපිට දරුවන් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් විවාහ වෙලා. විවාහයෙන් පස්සේ ‘මං බය නෑ ශ්‍යාමා’ චිත්‍රපටයට විතරයි මං සම්බන්ධ වුණේ. ඒකට මගේ දුවත් රංගනයෙන් දායක වුණා. සමහර වෙලාවට සැමියාම කියනවා ඔයා හොඳ නිර්මාණයකට සම්බන්ධ වෙන්න කියලත්. ඒත් ඊට පස්සේ රඟපාන්න ඕන කියන එක මගෙ ඔළුවට ආවෙත් නැහැ.
පහුගියදා ඔබ ලෝකයම ඉදිරියේ ගරුබුහුමනට ලක්වුණා. ආයෙම රඟපාන්න ඕන කියලා හිතුනෙ නැද්ද?
එදත් මං සිනමාවට විතරයි සම්බන්ධ වෙලා හිටියේ. හොඳ නිර්මාණයකට අවස්ථාවක් ලැබුණොත් සලකා බලනවා. රංගනයෙන් සම්බන්ධ නොවුණත් හොඳ නිර්මාණයක් කරන්න ඕන කියන අදහසක් තියෙනවා. මේ පාර මං ලංකාවේ ටික කාලයක් ඉන්න නිසා ඒ ගැනත් හිතනවා. ඒකට ඉතින් හොඳම නිර්මාණයක් ලැබෙන්නත් ඕන. හොඳ තිර පිටපතක් ලැබුණොත් අනිවාර්යයෙන්ම හොඳ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඔබේ කාලයයි මේ කාලයයි අතර නිර්මාණ ගත්තොත් වෙනසක් දකිනවද?
ලොකු වෙනසක් දකිනවා. මං සම්බන්ධ වුණේ සිනමාවට විතරනේ. සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් කරනවා කියන්නෙත් බිස්නස් එකක් කරනවා වගේ වැඩක්. ලාභ ලබනවා. පාඩු වෙනවා. ඒකෙන් යැපෙන මිනිස්සුත් ගොඩක් ඉන්නවා. සිනමාශාලාවක් ගත්තත් එහෙමයි. සතියෙන් දෙකෙන් ෆිල්ම් එකක් ගැලවෙනවා කියන්නේ ලොකු පාඩුවක්. මට මතකයි ඒ දවස්වල චිත්‍රපට සංස්ථාවෙන් ලේසියෙන් ෆිල්ම් එකක් ඩිරෙක්ට් කරන්න දුන්නෙ නෑ. නීති තිබුණා. ෆිල්ම් එකක් කරන්න අඩුගානේ ෆිල්ම් තුනකවත් සහාය අධ්‍යක්ෂවරයෙක් විදිහට කටයුතු කරල තියෙන්න ඕන. දැන් තත්ත්වය ඊට වෙනස්. රැල්ලටම ප්‍රේක්ෂකයා ඉල්ලන දේම දෙන්න උත්සාහ කරනවා මිසක් හොඳ දෙයක් කරලා ප්‍රේක්ෂකයින්ව අපේ පැත්තට හරවගන්න උත්සාහ කරනවා අඩුයි.
ඔබ කොතරම් ජනප්‍රිය චරිතයක් වුණත් කවදාවත් ප්‍රේම ජවනිකාවකට පෙනී ඉඳල නෑ කියන කතාව ඇත්තද?
ඔව්. ඒක ඇත්ත. ප්‍රේම ජවනිකා රඟපාන නළුවයි, නිළියයි වෙනම ඉන්නවා. ඒත් මං තමයි ප්‍රධාන චරිතය. මම රඟපාපු හැම චිත්‍රපටයෙම වගේ ප්‍රේම ජවනිකා කළේ වෙන දෙන්නෙක්. එක්කෝ මං සිස්ටර් කෙනෙක්, නැත්නම් දුව. සයිඩ් එකෙන් හිටියට ප්‍රධාන චරිතය මගේ. ඒ විදිහට තමයි තාත්තා චිත්‍රපට හැදුවේ. ඒවා හැම එකක්ම සාර්ථක වුණා. හැමෝම බැලුවා. ගොඩක් ඒවා පවුලේ කතා. කුතුහලයකුත් දීලා සතුටුදායක අවසානයක් දෙනවා. නිර්මාණයකින් සාමාන්‍යයෙන් විය යුත්තෙත් ඒක නේද? එහෙම නැතුව රසවින්දනයට ගිහින් දුකක් අරන් ගෙදර එනව නම් ඒකෙ තේරුමකුත් නෑ. භාරතයේ සුපිරි තරුව ශාරුක් ඛාන් අරන් බලන්නකො. ඔහු රඟපාපු බොහෝ ෆිල්ම්වල ඔහු එන්ටර්ටේනර් කෙනෙක්. මිනිස්සු ඔහුට පුදුම විදිහට ආදරේ කළා. මමත් කියන්නේ ෆිල්ම් එකකට සතුටුදායක අවසානයක් තියෙන්න ඕන කියලා.
ඔබ කැමරාව ගැන විශේෂ අවධානයක් යොමු කරන කෙනෙක්. ඒ ගෙදරින් ලැබුණු ආභාසය නිසාද?
ඇත්තටම ඔව්. නිර්මාණය කොතරම් හොඳ වුණත් අවුට්ෆුට් එක ලස්සනට ආවෙ නැත්නම් වැඩක් නෑ. නිර්මාණයකදී හොඳ කැමරා ඇසක් තිබිය යුතුමයි. මම ගොඩක් ඇක්ට් කළේ නැතිවුණාට කැමරාව අපේ ගෙදර තියෙන සෙල්ලම් බඩුවක් වගෙයි. තාත්තා කැමරාව පිරිසිදු කරන එකේ ඉඳන් හැමදේම අපි දකිනවා. රංගන ශිල්පීන් නිතර එනවා යනවා. ඒ නිසා සිනමාව මට අමුතු දෙයක් වුණෙත් නැහැ.
ඔබ ජනප්‍රියම කාලෙ ප්‍රේමවන්තයා විදිහට තෝරගන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. කොහොමද ඒ හමුවීම සිදුවෙන්නේ?
එයා සාලිය පෙරේරා. අපේ ආච්චි අම්මලා හිටියේ නාවල. අපි නිතර එහේ යනවා. එයත් ක්‍රිකට් ගහන්න එතැන ග්‍රවුන්ඩ් එකට එනවා. අපි එහේ ගියහම මං දැකල තියෙනවා එයා ක්‍රිකට් ගහනවා. එහෙම තමයි අපි හඳුනගත්තේ. පොඩි කාලෙ ඉඳන්ම මං එයාව දන්නවා. අවුරුදු දාහත දහඅට වගේ වෙද්දි මට එයාව නැවත හමුවෙනවා. එතැනදි තමයි කතාබහ කරලා සම්බන්ධයක් පටන් ගන්නේ. ඒ දවස්වල මට චිත්‍රපට ආරාධනා ගොඩක් එනවා. කොහොමත් ගෙදරින් කරන ෆිල්ම් ඇරුණම මට වෙන අයගෙ ෆිල්ම්වලට යන්න ඉඩක් ලැබුණෙත් නෑ. තාත්තා එවේලේ ඒ බව නොකියා මෙයා විවාහ වෙන්න යනවා කියල කියනවා.
බොහෝ කල් ඉඳන් ඔබේ පදිංචිය කැනඩාවේ. කොහොමද ඒ ජීවිතේ?
වරදක් නැහැ. අපිට එහේ බිස්නස් එකක් තියෙනවා. නිතරම ලංකාවට එන යන නිසා ලොකු වෙනසක් දැනෙන්නේ නෑ. මේ පාර මං ටික කලක් මෙහේ ඉන්නවා. මහත්තයා ගිහින් බිස්නස් වැඩ බලලා එනවා.