
අපි කතාව පටන්ගත්තේ අන්න එහෙම. මේ පොඩි කතාවෙ ලොකු දෙයක් තියෙනව නේද කියල කෙනකුට හිතෙන තරමට මේ කතාවත් ලොකුයි. ලේක්හවුස් එක ළඟ කාක බෝ ගහේ යට ඉඳන් ආපු පොඩි කාලේට අපි හරිම හෘදයංගම වුණා. ගොඩක් හරවත් දේවල් කතා කළා.
මේ කතාව මනුලි එක්ක. මනුලි කියන්නෙ කවුද කියල අද කවරයේ ඡායාරූපය දැක්ක ගමන් ඔබ දන්නවා.
අපේ රටේ මිනිස්සු හැමදාම හිතින් ආදරේ කරන ප්‍රියන්ත සිරිකුමාර තමයි මනුලිගේ තාත්තා. මනුලි මේ ගමන ආවේ තාත්තගෙ උදව්වට... ඒත් මේ උදවුකාරි එක්ක කතා කළාම ඒ කතාව ලියන්න ඕන කියල හිතුණේ මේ කතාව ඇතුළේ ගොඩක් බර ඒත් සැහැල්ලු විවිධාකාර හැඩ තියෙන නිසා. අපි ගොඩක් ඈත අතීතෙට ගියා මනුලි එක්ක.
" තාත්ත ගැන කතාව පටන් ගන්න ඕන කොතනින්ද කියල මට හරියට නොතේරුණත් මට තියෙනව එයා එක්ක අමතක නොවන බැඳීම් හැඟීම් ගොඩක එකතුවක්. මම නංගිට අවුරුදු හතක් වැඩිමල්. ඒක නිසා ඒ ආදරේ පළමුවෙනියට වින්දේ මං. තාත්තා ගොඩක් ආදරණීය කෙනෙක්. එත් එයා නිහඬයි. ඒ ආදරේ මේවගේ කියල කියන්න මට තේරුම් නෑ.
ඉන් පසුව මනුලි එක්ක කතාව හැරෙන්නෙ පිළියන්දල දෙසට..
අපි හිටියේ පිළියන්දල. ඒ ගෙදර කලාගාරයක්. තාත්තා නිතරම කලාව ගැන කතා කළා. හැබැයි අම්ම එක්ක. අපේ අම්ම තාත්තටත් වඩා කලාවට ළැදි චරිතයක්. එයා තමයි තාත්තටත් සමහර දේවල පෙන්නල දෙන්නෙ. ඒ දෙන්නගේ කලා සංවාද හරිම රහයි. විනෝදයි වගේම අර්ථාන්විතයි.
මට මතක කාලේ ඉඳලම අපේ ගෙදර තර්ක විතර්ක වැඩිමනත් තිබ්බේ කලාව ගැන. තාත්ත හොඳ ඇහුම්කන් දෙන්නෙක්. ඒ මානුෂිය ගුණාංගය අපි හැමෝගෙම ජීවිතේට ලොකු ඉඩක් හැදුවා.
බොහෝ කතාවන් අතර දැන් මේ කතාබව ඉතා සුහදශීලිම වී තිබේ. එබැවින් පෞද්ගලික දේවල්ද මේ කතාවේ තිබෙන්නට හැකිය.
තාත්ත රඟපානව කියල මට තේරුණේ නාමල් ජයසිංහ මහත්මයගේ ග්ලැඩියේටර් ප්‍රේමය බලද්දී. මම ඒක බැලුවෙ වේදිකාවේ පිටිපස්සෙ ඉඳන්. වේදිකාව ඉස්සරහට වැඩිය හැමදේම හොඳට පේන්නේ පිටිපස්සෙ ඉඳන් බලනකොට.මම ග්ලැඩියේටර් ප්‍රේමයත් එක්ක ලොකු වුණා කියලයි හිතෙන්නෙ.
ඒවගේම ප්‍රදීප් ධර්මදාස මහත්මයගේ සමනලුන්ට වෙඩි තියන්න දිහා මං බලන් හිටියා.
ජගත් මනුවර්ණ මහත්මයගේ වෝටර් ලිලී කෙටි චිත්‍රපටය.මේ හැමදේවල්ම මාව තාත්ත ගැන වෙනස් විදියකට දකින්න පෙලඹෙවුවා. කලාකරුවෙක් විදිහට එයාව මම අධ්‍යයනය කළේ තණ්හා රතී රගා චිත්‍රපටය කාලේ. ප්‍රියන්ත සිරිකුමාර එක ප්‍රේම් එකක රඟපාල ඒ පොඩ් වෙලාව ගැන පත්තර ටීවී වල කතා කළා. මම හෙවුවා ඇයි එහෙම තාත්ත ගැන කතා කළේ. අන්න එතනදී මට තාත්තව වගේම ප්‍රියන්ත සිරිකුමාරත් හරියට හමුවුණා.
දැන් එසේ හමුවූ ප්‍රියන්ත සිරිකුමාර ද අපට පේන මානයේ හිතවතුන් සමඟ බර කයියකය. ප්‍රියාට හමුවන සෑමදෙනා ඔහුගේ සහෘදයන් ය. ඒ තරමටම නිහතමානී ඔහු උලෙළ සම්මානයනට අමතරව ජනතා සම්මානයද ලැබූ අතිදක්ෂයෙකි. ඒ දක්ෂ යක්ෂයා මේ දවස්වල නෙළුම් කුළුණෙන් සහ වාලම්පුරි චිත්‍රපටයෙන් අපට හමුවේ.ආයෙත් අවධානය මනුලිට..
"මම කලාව එක්ක ගනුදෙනුව පටන් ගන්නෙ දැනුම් තේරුම් ඇතිකාලේ. තාත්ත ඉස්සර මාව වැඩවලට දීල නැහැ. පුංචි කාලේ වැඩවලට මාව ඉල්ලුවම තාත්ත කියනවලු මං ලයිට්වලට පිච්චෙයි කියල. අන්න එකයි මම කියන්නෙ එයාගෙ ආදරේ ගැඹුරු එකක් කියල. බර්නාඩාගේ සුපිරිගෙය කාලේදී මට පුළුවන් වුණා තාත්ත, කෞශල්‍යා නැන්දා,චමිල නැන්දා වගෙම ඒ නාට්‍යයේ හැමෝම දිහා බලල ගොඩක් දේවල් ඉගෙනගන්න.
මම වගේ නෙවේ.නංගී පොඩිකලේ ඉඳන් වැඩ කළා. එයාට සම්මාන පවා ලැබිල තියෙනවා.
ප්‍රියන්ත සිරිකුමාරගේ දුව ලෙස ඉපිද ඇය දැන් යන්නේ ස්වාධීන ගමනකය.
මම අධ්‍යාපනය ලබන්නේ දේශපාලන විද්‍යාව විෂය.කොළඹ විශ්වවිද්‍යාලයේ එම විෂය ගැන විශේෂ උපාධියක් හදාරනවා. ලලිත් රත්නායක මහතාගෙ ඩෙල්ෆ්ට් චිත්‍රපටයේ වැඩ නිම කළා.මේ හැමදෙයක්ම අතරේ කලාව ගැන රඟපෑම ගැන අධ්‍යයනය මම නතර කරල නැහැ.තාත්ත සහ අම්මා කතා කරපු කලාව ඇතුළෙ ඉන්න තමයි මම ආස. ඒවගේම තාත්ත වගේ මිනිස්සු ආදරේ කරන කෙනෙක් වෙන්න.
මනුදි සමඟ කෙටි කතාව අවසන් ඇය තාත්තාට වඩා ලොකු දුරක් හිමින් යාවි.
