මම එක හීනයක්වත් අතහරින කෙනෙක් නෙවෙයි -දේශානි නෙහාරා

gossiplanka image 1
දක්ෂ, සුරූපී රංගන ශිල්පිනියක වන දේශානි නෙහාරා ප්‍රේක්ෂක ඔබේ ආදරය දිනාගන්නේ ‘පාර දිගේ’ ටෙලි නිර්මාණයේ ආන්‍යා ලෙසිනි. මේ දිනවල අතිශයින්ම ජනප්‍රිය ‘පාට කුරුල්ලෝ’ හි භාවනා ද ඔබේ ආදරය දිනාගත් භූමිකාවකි. ගුවන් සේවිකාවක ලෙස තම වෘත්තිය වෙනුවෙන් බොහෝ සේ ඇපකැප වූ ඇය විවේකය ලැබෙන පරිදි රංගනයට ද දායක වූවාය. රංගනයට ලැබුණු බොහෝ ආරාධනා ප්‍රතික්ෂේප වූවේ ද ඇය රැකියාවට බෙහෙවින්ම පෙම් බැඳි නිසාය. මේ දිනවල කාගේත් කතාබහට ලක්ව සිටින දේශානි තම ජීවිතයේ සිදුවන්නට යන වෙනස පිළිබඳව කතා කරන්නට අප හා එක්වූවාය.


දේශානි මේ දවස්වල ගොඩක්ම කාර්යබහුල වෙලා නේද?


ඔව්. ඇත්තටම මං දැන් ගොඩක්ම කාර්යබහුලයි. මේ දවස්වල කලාවට මගේ උපරිම අවධානය දෙන්න හිතුවා. ආයෙමත් මගේ කලා ජීවිතේ මුල ඉඳන් පටන් ගත්ත කියලත් හිතනවා. ‘පාට කුරුල්ලෝ’ වගේම මේ දවස්වල මෙගා ස්ටාර් රිහර්සල් තියෙනවා. ඒ වගේම තව අලුත් වැඩ වගයක් නිසාත් ගොඩක්ම කාර්යබහුල වෙලා ඉන්නේ.


භාවනා නිතර දකින්නෙ නැති චරිතයක් වුණේ භාවනාට දෙන්න කාලය නැති නිසාද?



ඇත්තටම ඔව්. රැකියාවේ කාර්යබහුලත්වය නිසා පහුගිය කාලේ මට භාවනා වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න බැරි වුණා. මාසෙටම දවස් දෙකයි මට දෙන්න පුළුවන් වුණේ. නමුත් ඉදිරියේදී උපරිම කාලය දීලා භාවනාට උපරිම සාධාරණයක් කරන්න බලාපොරොත්තු වෙනවා.


දේශානි – ඉසුරු පෙම් කතාවක් ගැන මේ දවස්වල ගොඩක්ම ජනප්‍රියයි. ඇත්තටම මේ පටලැවිල්ල මොකක්ද?



පහුගිය දවස්වල වගේම දැනටත් සමාජ මධ්‍යවල සැරිසරන පුවතක් බවට පත්වෙලා තියෙන්නේ ඉසුරු අයියයි මායි අතර ඇත්තටම සම්බන්ධයක් තියේ ද? එහෙම නැත්නම් මේක ෆිල්ම් ප්‍රමෝෂන් එකක් ද කියන එක. මුළු සමාජ මාධ්‍ය පුරාම ලොකු කැලඹීමක් ඇතිවෙලා තියෙනවා දැක්කා. තව ටික කාලෙකින් මම ඒකට හේතුව කියන්නම්. දැනට ඒ කතාවට පොඩි තිතක් තියනවා.


සමහර තැන්වල මේක ප්‍රමෝෂන් පබ්ලිසිටියක් කියලත් කියනවා. ඒක එහෙම නම් ඒක ඔබේ චරිතයට බලපෑමක් නේද?


අපි දෙන්නට දැන් ගොඩක් කටකතා හැදිල තියෙනවා. ඒ වගේම විවිධ විවේචනවලටත් ලක්වෙලා තියෙනවා මං දැක්කා. මේකෙ අරමුණ මොකක් වුණත් ඒකෙන් මගේ චරිතයට බලපෑමක් වෙන්න මං කිසිසේත්ම ඉඩක් තියන්නෙ නැහැ. අපි බලමුකො ඉස්සරහට මොකද වෙන්නෙ කියලා.


ඔබ රංගන අවස්ථා පවා මඟහරිමින් රැකියාවට කැපවුණු යුවතියක්. ගුවන් සේවිකාවක් වෙන්න සිහින මවන තරුණියන්ට ඔබේ අත්දැකීමෙන් කියන්න යමක් ඇති?



ගුවන් සේවිකාවක් කියන්නේ රැකියාවක්ම පමණක් නෙවෙයි. එක පැත්තකින් ජීවිත රැසකගේ වගකීම ගන්න කෙනෙක්. ඒ වගේම ජීවිත ආරක්ෂා කරන්නෙක්. තවත් වෙලාවකට පොඩි දරුවන්ට අම්මා කෙනෙක්. එතැන ඉන්නේ විවිධ විවිධ මානසිකත්ව තියෙන අය. එතැනදී අපි මනෝ වෛද්‍යවරයෙක් වගේ ඒ මිනිසුන්ගේ ඉමෝෂන් හැන්ඩ්ල් කරන කෙනෙක් වෙන්න ඕනේ. ඒක තේ, කෝපි පිළිගන්වනවට වඩා ලොකු වගකීමක් තියෙන රැකියාවක්. ඒ නිසා ඒකට කැපවෙන්න, මහන්සි වෙන්න සහ ආදරය කරන්න පුළුවන් නම් විතරක් ඒ සඳහා යොමුවෙන්න කියන එකයි මම කියන්නේ. මමත් ගොඩක්ම ආදරේ කරන, ගරු කරන රැකියාවක් ඒක.


දැන් දැන් ඔබ කලාවේ දකිනවා වැඩියි. මේ දවස්වල රැකියාවට විවේකයක් දීල ද?


ඔව්. මේ දවස්වල මං කලාවට මුල් තැන දීලා තියෙන්නේ. ඒකට හේතුව මං මේ දවස්වල රැකියාවෙන් ඉවත් වෙලා ඉන්නේ. කොහොමත් පහුගිය දවස්වල මං කිය කිය හිටියා මට රැකියාව හරි රංගනය හරි දෙකෙන් එකක් තෝරගන්න සිද්ධ වෙනවා කියලා. මේ වෙද්දි මං රංගනය තෝරගෙන ඉවරයි. පහුගිය දවස්වල මං ගොඩක් දුෂ්කරතාවලට මුහුණ දුන්නා. රටවල් ගණනාවකට යන කෙනෙක් විදිහට මට මේ දෙකම කරන්න අමාරුයි. විවේකයක් නැතිකම නිසා මම අසනීප වෙන්නත් ගත්තා. ඒ නිසා පොඩි කාලෙකට හරි දීර්ඝකාලීනව හරි රැකියාවට සමුදීලා මගේ ලොකුම ආසාව සහ පළමු හීනය වුණු නිළියක් වීමේ හීනයේ පොඩි කාලයක් හරි ජීවත් වෙන්න ආස කළා. හීන තමයි අපිව ජීවත් කරවන්නේ. අපට මේ ජීවිතය ලැබෙන්නෙ එක සැරයයි. මං කැමැතියි දවසක මේ ජීවිතෙන් සමුගන්න කලින් මං ආස කරන ඉලක්කවලට යන්න. මම හීන පස්සෙ දුවන කෙනෙක් මිසක් එක හීනයක්වත් අතහරින කෙනෙක් නෙවෙයි. ඒ නිසා මං රැකියාවට පොඩි කාලෙකට තිත තිබ්බා. මගේ හොඳම කාලය රංගනයට දුන්නෙ නැත්නම් මට පසුකාලීනව දුක හිතෙයි. ඒ නිසා මං ඒ හීනෙට අවස්ථාවක් දෙන්න හිතුවා. දැන් මං මුළු කාලයම කලාව වෙනුවෙන් යොදවනවා.


දේශානි රිදී තිරයේ දකින්න ලැබෙන්නෙ නැති තරම්?


රැකියාවේ කාර්යබහුලත්වය නිසා රිදී තිරයේ වැඩක් නම් මට කවදාවත් බාරගන්න ලැබුණෙම නැහැ. රැකියාවත් එක්ක ඒකට දෙන්න ඕන කාලසීමාවන් වෙන් කරගන්න අමාරු වුණා. ගොඩක් ආරාධනා ලැබුණා. දුකෙන් හරි ඒවා ප්‍රතික්ෂේප කරන්න වුණා. නමුත් ඉදිරියේ දී හොඳ නිර්මාණයකින් රිදී තිරයේ දකින්න ලැබේවි කියලා බලාපොරොත්තු වෙනවා.

gossiplanka image 2
Previous Post Next Post