
හවුස්ෆුල් සිනමාපටය තිරගත වීමත් එක්ක මේ දිනවල ඔබ ප්‍රේක්ෂක ආදරය විඳිමින් ඉන්න බව පැහැදිලියි. කොහොමද ඒ අත්දැකීම?
ලාල් ප්‍රියදේවගේ අධ්‍යක්ෂණයෙන් මොහාන් පෙරේරාගේ නිෂ්පාදනයෙන් නිම වුණු හවුස්ෆුල් කොමඩි චිත්‍රපටයක්. සම නිෂ්පාදනය සුනිල් ටී. සමඟින් ගිහානි වීරසිංහ. මෙය සුනිල් ටී ප්‍රනාන්දුගේ 75 වැනි නිෂ්පාදනය වීමත් විශේෂත්වයක්. හවුස්ෆුල් කියන්නේ ටිකට් එකක් අරන් විනෝදවෙලා ගෙදර එන්න පුළුවන් හරි ලස්සන චිත්‍රපටයක්. හිසේ තියෙන බර එතැන තියල එන්න පුළුවන්. සමහර චිත්‍රපට සල්ලි දීලා බලලා තවත් බරක් අරන් ගෙදර එන්නනේ වෙන්නේ. තවත් ඒවා තියෙනවා විකට චිත්‍රපට වුණත් පවුලේ හැමෝටම එකට ඉඳන් බලන්න බැහැ. හවුස්ෆුල් කියන්නේ හරි සරල, සුන්දර විහිළු තියෙන පවුලේ හැමෝටම එකට ඉඳන් නරඹලා විනෝද වෙන්න පුළුවන් චිත්‍රපටයක් කිව්වත් හරි.
පෙට්ටි කඩේ සුම්මට ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ?
මීට කලින් මං කොමඩි චිත්‍රපටවලට සම්බන්ධ වෙලා තිබුණත් ප්‍රධාන චරිතයකින් එක්වන වන පළමුවැනි අවස්ථාව මේක. සුම්මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. පෙට්ටි කඩේ සුම්මා කියන්නේ අපට සමාජයේ හමුවන අයුක්තියට, අසාධාරණයට එරෙහිව නැඟී සිටින සුන්දර චණ්ඩියෙක්. හැමෝ එක්කම හිතවත්, හැමෝටම උදවු කරන කෙනෙක්. සමහරු හිතනවා ඇති ඔහු කඩේ යවන්න පුළුවන් කියලා. නමුත් අන්තිමට බලද්දි කඩේ ගිහින් තියෙන්නේ එයාව කඩේ යවන්න ආව අයමයි.
ඉසුරු මේ දවස්වල වැඩිපුරම දකින්න ලැබෙන්නේ සිනමාවේද කියල ඇහුවොත්?
පුංචි තිරයේත් ඉන්නවා. සිනමාවටත් සම්බන්ධ වෙනවා. මේ දවස්වල සිනමාපට කිහිපයකටම සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. වෛද්‍ය කපිල සූරියආරච්චිගේ අලුත්ම චිත්‍රපටය අග්නික චිත්‍රපටයේ පෝස්ට් ප්‍රඩක්ෂන්වල ඩබින් කෙරීගෙන යනවා. ඊට අමතරව ප්‍රියන්ත කොළඹගේ ගේ සූරිය සුළඟ සැප්තැම්බර් මාසයේ හමන්නට නියමිතයි. ඒක වෙනස්ම අත්දැකීමක්. ඒක ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම පුබුදු චතුරංගගේ චිත්‍රපටයේ වැඩත් ඉවර කළා. ඒ චිත්‍රපටයේ ඩබින් කරන්න තියෙනවා. ඒ වගේම මිහිරි සිරිතිලකගේ ‘කෝ කුක්කෝ‘ වේදිකා නිර්මාණයත් එක්ක රට වටා යනවා. දැනට දර්ශන වාර අටසිය පනහක් නවසීයක් වගේ පෙන්නල තියෙනවා. ඊට අමතරව හිරු මෙගාස්ටාර් සීසන් 4 කරගෙන යනවා.
කොමඩි චිත්‍රපටයක් විදිහට හවුස්ෆුල් සිනමාපටය ප්‍රේක්ෂකයින්ට මොන වගේ අත්දැකීමක් එකතු කරාවි ද?
ඒක විකට චිත්‍රපටයක්. මූලිකවම ගැබ්වෙලා තියෙන්නේ විනෝදාස්වාදය. ඊට අමතරව ආදර කතාවකුත් තියෙනවා. ලස්සන මියුසික් වගේම බදුල්ල, බණ්ඩාරවෙල පැත්තෙ රූගත කළ ලස්සන දර්ශන තල තියෙනවා. ඔවුන්ට මං ආරාධනා කරනවා එන්න, ඇවිත් චිත්‍රපටය බලලා ඒ ලස්සන මිහිර විඳගන්න කියලා.
මේ වෙද්දි ලංකාවේ සිනමා කර්මාන්තය සතුටුදායක තත්ත්වයට පත්වෙලා කියලා ඔබට හිතෙනවද?
ඔව්. මේ කාලය සිනමාවේ හොඳ නිර්මාණ බිහිවන හොඳ කාලයක් කියලා කියන්න පුළුවන්. හවුස්ෆුල් වගේම කුසුමාසන දේවිය, බහුචිතවාදියා, වාලම්පුරි වගේ එකිනෙකට වෙනස් සිනමා නිර්මාණ හතරක් එක පෙළට තිරගත වෙනවා.
බොහොම ලස්සන චිත්‍රපට හතරක්. එක දවසක් වෙන්කර ගෙන මේ සිනමාපට හතරම නැරඹුවත් ප්‍රේක්ෂකයින්ට පාඩුවක් නෑ කියලයි මට හිතෙන්නේ. ඔවුන්ට එකිනෙකට වෙනස් රස වින්දනයක් ලබන්න පුළුවන්.
පහුගිය කාලේ ඔබ එකදිගටම පුංචි තිරයෙත් දකින්න ලැබුණා නේද?
ඔව්. ඔව්. අවුරුදු පහමාරකට පස්සේ සිහින ගෙනෙන කුමාරියේ පහුගිය දවස්වල විකාශය නිමා වුණා. සිවගුරුනාදන් මහත්තයාගේ රාග ටෙලි නිර්මාණය මේ දිනවල විකාශය වෙනවා. ඔහුත් එක්ක වැඩ කරන්න ලැබුණෙත් සෑහෙන කාලෙකින්. ඒක තමයි අලුතින්ම පටන් ගත්ත වැඩේ.
නොයෙල් කියන්නෙ අද සමාජයේ ඕනෑ තරම් දකින්න ලැබෙන අවස්ථාවාදී චරිතයක්. කාන්තාවන්ට උදවු කරන මුවාවෙන් ළංවෙලා කාන්තාවන් රවටන, ඔවුන්ව පාවිච්චි කරන චරිතයක්. මං නම් කියන්නෙ කාන්තාවන් පරිස්සම් වෙන්නම ඕන ඒ වගේ වැඩිපුර උදවු කරන්න එන අයගෙන්.
පිරිමියෙක් යම්කිසි කාන්තාවක් පරිස්සම් කරනවා නම් ඕනෑවට වඩා සැලකිලිමත් වෙනවා නම්, ඔහුගෙන් වහාම පරිස්සම් වෙන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. එහෙම නැතුව කෙලින් කතා කරන, කියන දේ මූණටම කියන පිරිමි ගැන බය වෙන්න දෙයක් නෑ.
ඉසුරු මේ දිනවල ආදරය ගැන වැඩිපුර කතා කරනවා. ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ?
ආදරය කියන්නෙ හරි සුන්දර හැඟීමක්. ආදරය හැමෝටම අවශ්‍යයි. ආදරේට අපි හැමෝම ආසයි, කෑදරයි, පෙරේතයි කියලා තමයි කියන්න තියෙන්නේ.
