
ආශාවරි සිනමාපටයෙන් පසුව ඔබව දකින්න ලැබෙන සිනමා නිර්මාණය රිදම් ඔෆ් ද ගිටාර්, මෙහි ඔබේ භූමිකාව ගැන කිවුවොත්?
ආශාවරී චිත්‍රපටයෙන් පස්සේ මම රඟපෑ දෙවන සිනමා නිර්මාණය තමයි “ක්ලැරන්ස්” – Rhythm of the Guitar කියන්නේ. මට මෙහි රඟපාන්න ලැබුණේ ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ පළමු පෙම්වතිය විදිහට. ඒ චරිතේ ටිකක් දඟකාර වගේම පොඩ්ඩක් නපුරු චරිතයක්. මම ආශාවරී චිත්‍රපටයේ රඟපෑවේ අහිංසක දඟකාර ගැහැනු ළමයෙක් විදිහට. ඒ නිසා මටත් ඕනේ වුණා වෙනස් විදිහේ චරිතයක් කරන්න. මම හිතනවා රම්‍යා කියන චරිතෙන් ඒ වෙනස මට කරන්න පුළුවන් වුණා කියලා.
රම්‍යා චරිතේ තමයි ඔබට තියෙන්නේ කියලා, චරිතෙට ආරාධනා කරාම මොකද හිතුණේ?
මට මේ ආරාධනාව ලැබෙන්නේ මාව සිනමාවට හඳුන්වා දුන් අධ්‍යක්ෂවරයා වන තේජා ඉද්දමල්ගොඩ සහ කැමරා අධ්‍යක්ෂ රුවන් කොස්තා මහතාගෙන්. රම්‍යා කියන චරිතය තමයි කරන්න තියෙන්නේ කියද්දී එදා මට ලොකු සතුටක් වගේම මට පැවරෙන්නේ ලොකු වගකීමක් කියන හැඟීම තමයි ඇති වුණේ.
ඔබ හරි අපූරුවට චරිතෙට සාධාරණය ඉෂ්ට කරනවා, රූගත කිරීම් සිදු කළ කාලයේ අමතක නොවන අත්දැකීම් ඇති නේද?
මේ චිත්‍රපටය අපි රූපගත කළේ නුවර, හන්තාන වගේ ලස්සන ප්‍රදේශවල. උදේම රූපගත කිරීම් පටන් ගත්තම ගොඩක් රෑ වෙනකම් රූපගත කිරීම් කළා. චිත්‍රපටයට සම්බන්ධ වුණු හැමෝම එකාමෙන් මේ සිනමා නිර්මාණය සාර්ථක කර ගන්න මහන්සි වුණා. ඒ ගත කරපු කාලය අපි හිටියේ ගොඩක් සතුටින්. ඒ මතක හැමදාම සුන්දරයි.
තේජා ඉද්දමල්ගොඩ තමයි ඔබව සිනමාවට හඳුන්වා දෙන්නෙ, අද ඔහු අප අතර නැහැ, ඔහු ගැන කිවුවොත්?
තේජා සර් අපි අතර නැහැ කියන එක ලොකු දුකක්. මම කවදාවත් හිතුවේ නැහැ සර් මේ තරම් ඉක්මනින් අපි අතරින් සමුගනී කියලා. රූපගත කිරීම් අතරතුර සර් අසනීප වුණත් පුළුවන් තරම් උපරිම උත්සහ කළා මේ සිනමා නිර්මාණයේ වැඩ අවසන් කරන්න. මම විශ්වාස කරනවා මේ සිනමා නිර්මාණය හරහා එතුමා කොතරම් දක්ෂ නිර්මාණශීලි අධ්‍යක්ෂවරයෙක් ද කියන එක පෙන්නුම් කරාවි කියලා.
දැන් ඔබ රංගන ශිල්පිනියක් වගේම ගුවන් සේවිකාවක් වීමත් එක්ක දැන් රංගනයට සමු දීලා ද ඉන්නෙ?
මම මේ වෙද්දී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් විදිහට රැකියාව කරනවා. හැබැයි මම කිසිසේත්ම රංගනයට සමු දීලා නැහැ. නමුත් මම මේ වෙද්දී කරන්නේ වගකීම්සහගත රැකියාවක්. ඒ නිසා මම මගේ පළමු තැන දීලා තියෙන්නේ රැකියාවට. ඒත් පුළුවන් හැම වෙලාවකම කාලය කළමනාකරණය කරගෙන මගේ ආදරණීය ප්‍රේක්ෂකයින් අතරට එන්න උත්සාහ කරනවා.
ඉදිරියට එන්න තියෙන නිර්මාණ තියේද?
ඔව්… ඉදිරියේදී රිදී තිරයෙන් වගේම පුංචි තිරයෙනුත් මාව දැක ගන්න ලැබෙයි.
චරිතයක් ලැබුණාම මුලින්ම බලන්නෙ මොනවද?
මම මුලින්ම බලන්නේ පිටපත. ඊට පස්සේ මම හිතන්නේ ඒ චරිතෙට මට කොච්චර දුරට සාධාරණයක් කරන්න පුළුවන් ද කියන එක සහ ඒ චරිතේ මට කොච්චර දුරට ගැළපෙනවා ද කියන එක. මම හැම වෙලාවේම උත්සාහ කරන්නේ මට ආදරේ කරන ප්‍රේක්ෂකයින්ට සාධාරණයක් ඉෂ්ට කළ හැකි චරිත කරන්න.
වෘත්තීය ජීවිතෙ සහ කලාව කරගෙන යන්න ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
ගෙදරින් තමයි මට ලොකුම සහයෝගය ලැබෙන්නේ. මගේ රැකියාව එක්ක කාර්යබහුල ජිවන රටාවක් ගත කරන්නේ. එක සංචාරයක් ගිහින් ගෙදර එද්දී සෑහෙන මහන්සියි. මගේ හැම දෙයකම පිටුපස ඉන්නේ මගේ අම්මා. අම්මා තමයි මගේ හැමදේම හොයලා අදටත් මට කරලා දෙන්නේ. මගේ රැකියාව එක්ක ගොඩක් දේවල් අතපසු වෙනවා. මගේ සෞඛ්‍ය ගැන මගේ කෑම බීම ගැන වගේම මගේ රූපය ගැන වුණත් මට වඩා හිතන්නේ මගේ අම්මා සහ තාත්තා. මට ඉන්නේ එක මල්ලි කෙනෙක්. අපි හැමෝම එක පවුලක් විදිහට බොහොම ආදරෙන් ජීවත් වෙනවා. මම හිතන්නේ මම වාසනාවන්තයි ඒ වගේ අම්මා තාත්තා කෙනෙක් ලබන්න. ඒ දෙන්නට මම ආදරෙයි.
අනාගත බලාපොරොත්තු මොනවද?
පොඩි කාලේ ඉඳන්ම මම ආස දේවල් කොහොම හරි ලබා ගන්නවා. ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. මට තව ජීවිතේ ඉදිරියට ළඟා කර ගන්න ඕනේ කියලා හිතෙන දේවල් ටිකකුත් තියෙනවා.
ඒ එක්කම මම දැකපු හීන බොහොමයක් මේ වෙද්දී සැබෑ කරගෙන තියෙනවා. ඒ නිසා ජිවිතේ ගැන සතුටින් සුබවාදීව හිතමින් අනාගතයට මුහුණ දෙනවා
