එයා මගේ නිර්මාණ දකින්න හරිම ආසයි ඒ නිසා නිතරම මාව උනන්දු කරවනවා-හේෂානි

gossiplanka image 1
දෙ රණ අවුරුදු කුමරිය ලෙස කිරුළු පැලඳි මොහොත ඇය තම ජිවිතයේ හැරවුම් ලක්ෂ්‍යය කර ගත්තාය. හේෂානි ලියදිපිට නම් වූ ඇය පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවන්නේ දෙරණ නාළිකාවේ විකාශය වුණු ධරණී ටෙලි නිර්මාණයේ සටන්කාමී යුවතිය ධරණී ලෙසිනි. දක්ෂ අයුරින් සටන් ජවනිකාවල නිරතවුණු ඇය තම කුලුඳුල් රංගන අත්දැකීම ඔබ වෙත තිළිණ කරමින් ඔබේ ආදරය ඉහළින්ම දිනාගත් බව ද ඔබට අමතක නැතිව ඇති.



එම මතකය අලුත් කරමින් පසුගියදා පැවැති ඇගේ විවාහ මංගල උත්සවයේ ආකර්ෂණීය දසුන් ප්‍රේක්ෂක ඔබ නෙතට රසඳුනක් වූවා නොඅනුමානය. සාම්ප්‍රදායික මනාලියක ලෙස සැරසී ආදරණීය සැමියා ගිෂාන් ශාලිතගේ අත ගෙන සිටින ඈ රුව සැබැවින්ම ලස්සනය. සමාජ මාධ්‍ය කලඹන ඇයගේ මංගල උත්සවයේ ජායාරූප නිසා මේ දිනවල නැවතත් ඇය පිළිබඳ කතාබහට ලක්වී ඇත. තම මංගල දිනයේ අසිරිය ඇය මෙසේ අප ඉදිරියේ දිගහැරියාය.


“විවාහ උත්සවය ආසන්නයට එනකල්ම අපි විවාහය ගැන ලොකුවට ප්‍රසිද්ධ කළේ නැහැ. විවාහයට සති එකහමාරකට කලින් මගේ බ්‍රයිඩ් ටු බී ඉවෙන්ට් එක එළියට දැම්මා. ඒත් එක්කම තමයි බොහෝ දෙනා මේ ගැන දැනගත්තේ. මගේ වෙඩින් ප්ලෑනර් වුණේ අශාන් ද සිල්වා. ඒත් හදිසියේ අසනීප වුණු නිසා ඔහුට කරන්න ලැබුණේ බ්‍රයිට් ටු බී එකයි, ෆූල් පාර්ටි එකයි විතරයි. ඊට පස්සෙ තිබුණු ප්‍රධාන ෆොටෝ ෂූට්, වෙස්ටර්න්, ඉන්දියන් ප්‍රධාන උත්සව අවස්ථා ඔක්කොම කළේ පැතුම් ගුණවර්ධන. ප්‍රධාන මංගල උත්සවය තිබුණේ ෂැංග්‍රිලා හෝටලයේ.”


හේෂානි තම මංගල උත්සවයේ තේමාව ලෙස නෙළුම් මල යොදා ගෙන තිබීම උත්සවයේ ආකර්ෂණීය බව තව තවත් ඔප් නංවන්නට සමත් වී තිබිණි. “මට ඕන වුණේ සම්පූර්ණයෙන්ම සාම්ප්‍රදායික මංගල උත්සවයක් ගන්න. ඒ නිසයි මං වෙඩින් තීම් එක විදිහට ලෝටස් ෆ්ලවර් එක යොදාගන්න හිතුවේ. ෂැංග්‍රිලා හෝටලයේ ලෝටස් හෝල් එක වෙන්කර ගත්තා වගේම අනෙක් හැමදේටම යොදා ගත්තෙත් ලෝටස් ෆ්ලවර් එක. වෙඩින් කාඩ් එකට, වෙඩින් කේක් පෙට්ටියට, මගේ සියලුම ජුවලරිවලට, වෙඩින් සාරියට වගේම මගේ හෙයාර් ස්ටයිල්, මල් කළඹවලට සම්පූර්ණයෙන්ම යොදාගත්තේ ලෝටස් ෆ්ලවර්. වෙඩින් කාඩ්, වෙඩින් කේක් එකම තීම් එකකට හදලා දුන්නේ ඉෂාර පීරිස්. සාම්ප්‍රදායික විදිහට එකම තීම් එකකට විවාහ උත්සවය ගන්න එක මගේ හිතේ තිබුණු හීනයක්. මගේ ඒ හීනය යථාර්ථයක් බවට පත්කරලා අමතක නොවන දිනයක් බවට පත් කළේ බොල්ගොඩ ඉන් එකේ මිහිරි සමරනායක අක්කා. අපි ෆොටෝ ෂූට් අටක් කළා. විවාහ ගිවිස ගැනීමේ ඉඳන් ඒ හැම ෂූට් එකක්ම ආකර්ෂණීය සැමරුමක් බවට පත් කළේ ඩාර්ක් රූම් ධනුක කුමාරසිංහ. ඒ සුවිශේෂී දිනය පසු දිනයක සජීවීව දැකබලා ගන්න පුළුවන් විදිහේ සිහිවටනයක් බවට පත්කළෙත් ඔහුමයි. අපේ මංගල දිනයට මිහිරක් එක්කළ කිංඩම් මියුසික් බෑන්ඩ් එකත් විශේෂයෙන්ම මතක් කරන්න ඕන. පැමිණි ආරාධිතයින් දවස පුරාම මියුරු සංගීත ස්වරයෙන් මුසපත් කළේ ඔවුන්.”



මන බඳනා සමූහ ජායාරූපය ගැනත් කිව යුතුමය. දෙවැනි මනාලයන් අට දෙනෙක් සහ දෙවැනි මනාලියන් අට දෙනෙක් සමඟින් එක්වුණු මනාල යුවළගේ සතුට පිරි සිනහව මනරම් සිහිවටනයක් වනවා නොඅනුමානය.



“යහළු මනාලයන් අට දෙනෙක් සහ යහළු මනාලියන් අට දෙනෙක් යොදා ගත්තා. අනුරාධා එදිරිසිංහ, ටීනා ෂනෙල්, ඩිලුක්ෂි වීරප්පෙරුම, සුධීක්ෂා සමාධි, ෂයිනි නෙත්තිකුමාර, සචිනි දිල්හාරා, නයෝමි තක්ෂිලා සහ රුමාලි කෙෂීඩා දෙවැනි මනාලියන් ලෙස සැරසුණා. සචින් චතුරංග, සූර්‍යා දයාරුවන්, ඉමේෂාන් නෙල්ලිගහවත්ත, දේව් සුරේන්ද්‍ර, විරාජ් ධනූෂ, රුමාල් ධනංජය මනෝජ් දේවගේ වගේම ධනුෂ්ක සම්පත් දෙවැනි මනාලයන් විදිහට සැරසුණා. අපි දෙන්නත් එක්ක ඔක්කොම දහ අටක්. යහළු යෙහෙළියන් දහසය දෙනාම මේ ක්ෂේත්‍රයේ මගේ සමීපතම මිතුරු මිතුරියන්. මගේ ජීවිතේ ලස්සනම දවස අමතක නොවන දවසක් බවට පත්කරගන්න ඔවුනුත් ලොකු හේතුවක් වුණා. අපි ෆී ෂූට් කිහිපයක්ම කළා. කණ්ඩායමත් එක්ක කැන්ඩියන්, වෙස්ටර්න් ෂූට් කළා. ඊට අමතරව යෙහෙළියන් එක්ක විතරක් බ්‍රයිඩ් ටු බී ෂූට් එකයි, රෝබ් ෂූට් එකයි කළා. ඒ වගේම මට වෙනස් තීම් එකකට යන්න ඕන වුණු නිසා ෆූල් පාර්ටි එකකුත් කළා. ඊට අමතරව අමෙරිකාවේත් අපි ෂූට් එකක් කළා. ඒ ෂූට් එකට සම්පූර්ණයෙන්ම ඇඳුම් නිර්මාණය කරල දුන්නේ සඳුන් අයියා.“


තම මංගල දිනය තමාගේ සිතැඟි පරිදි කරගන්නට ලැබෙනවා කියන්නේම යුවතියකගේ වාසනාවකි. එය එලෙසින්ම හිමිකර ගත් හේෂානි එදින සාම්ප්‍රදායික මංගල දිනයක අසිරිය ගෙන එන්නට තම සැමියා ද කැමැත්තෙන් සිටි බව පැවසුවාය.


“මංගල දිනය සාම්ප්‍රදායික විදිහට කරන්න ලොකුම හේතුව වුණේ මගේ අම්මා, අප්පච්චි වගේම ගිෂාන්ගේ අම්මා අප්පච්චිත් උඩරට අය වීම. මේ වෙනකල් අපේ පවුලේ හැම මංගල උත්සවයක්ම කරල තිබුණේ සාම්ප්‍රදායික විදිහට. ඒ නිසා මගේ එකත් ඒ විදිහටම කරන්න තීරණය කළා. ගිෂාන් අමෙරිකාවේ ජීවත් වෙන කෙනෙක් වුණත් ඔහුත් ගොඩක් කැමැති වුණා මංගල උත්සවය සාම්ප්‍රදායික විදිහට කරන්න. ආරාධිතයින්ටත් මං කිව්වේ සාම්ප්‍රදායිකත්වයට මුල් තැන දෙන්න කියලා. ඒක මං වෙඩින් කාඩ් එකේ විශේෂයෙන්ම සඳහන් කළා. හරි සතුටුයි ගොඩක් අය කැන්ඩියන් ඇඳලා තිබුණා. මගේ සාරිය දෙවරක්ම ඉන්දියාවේ කල්කටාවලට යවලා ලෝටස් තීම් එකට ඩිසයින් කරල ගෙනාවේ සීලන් අයියා. ඒ වගේම මගේ ඇඳුම් අට වගේම දෙවැනි මනාලියන්ගේ ඇඳුම් සියල්ල නිර්මාණය කළේ රුවන් චාමර. කැන්ඩියන් එක ඇඳලා මං කලින් ෂූට් එකක් කළෙත් නැහැ. එදාමයි ඇන්දේ. හැමදාම වගේ එදත් මාව හැඩ කළේ උදාර මල්ෂාන්. කවදත් මාව ලස්සනටම අන්දන කෙනෙක් ඉන්නවා නම් ඒ ඔහුම තමයි.


හේෂානි- ගිෂාන් ආදර කතාවට මුල පිරුණු ඒ සුන්දර අතීතය ගැන සිහිපත් කරන්නත් ඇය අමතක කළේ නැහැ.



“එයාගෙ නම ගිෂාන් ශාලිත දිසානායක බෝගොඩ. එයා මාව දැකලා මුලින්ම කැමති වෙලා තිබුණා. එයා මට කැමැති බව කියලා මුලින්ම මට යෝජනාව ගෙනාවා. ඒත් මං හරි උත්තරයක් දුන්නෙ නෑ. මගෙන් ස්ථිර වචනයක් නොලැබුණු නිසා එයා එයාගෙ කැමැත්ත යෝජනාවක් විදිහට අපේ ගෙදරට ගෙනාවා. ගෙදරින් විරුද්ධත්වයක් ආවෙ නැහැ. ඊට පස්සේ ටික කාලයක් අපි කතාබහ කරලා, ඇසුරු කරලා, තේරුම් ගත්තටත් පස්සෙ තමයි ආදර සම්බන්ධයක් පටන් ගත්තේ. එයා කළමනාකාර උපදේශකවරයෙක් විදිහට අමෙරිකාවේ සේවය කරන කෙනෙක්. මං කලාකාරිනියක් බව දැනගෙනමයි එයා මට කැමති වෙලා තිබුණේ. මගේ කලා කටයුතුවලට ලොකු සහායක් දෙනවා. මගේ අම්මා අප්පච්චි වගේම එයත් මගේ හොඳම ‍ප්‍රේක්ෂකයෙක්. එයා මගේ නිර්මාණ දකින්න හරිම ආසයි. නිතරම මාව උනන්දු කරවනවා. ලෝකෙ කිසිම දෙන්නෙක් සියයට සීයක් ගැළපෙන්නෙ නැහැ. ඒකයි ඇත්ත. ඒ නිසා අපිත් ජිවිත කාලය පුරාම සිතුම් පැතුම් ගළපගෙන ජීවත් වේවි.“


විවාහයෙන් පසුව ගිෂාන් සමඟ අමෙරිකාවේ පදිංචියට ගිය හේෂානි නිර්මාණයකට සහභාගි වීම සඳහා ඉදිරියේදී ලංකාවට පැමිණෙන බව ද පැවසුවාය.


“ගිෂාන් එක්ක මං අමෙරිකාවේ පදිංචියට ආවා. සැරින් සැරේ ලංකාවට එනවා යනවා. රටවල් දෙකේම ජීවත් වෙනවා. නිර්මාණවලට සම්බන්ධ වෙන්න කොහොමත් මං එනවා. දැනටමත් චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තියෙනවා. ජූලි මාසේ මගේ චිත්‍රපටයක් තිරගත වෙන්න තියෙනවා. ඒ වෙනුවෙන් මං ලංකාවට එනවා. ඒ වගේම මගේ සුපුරුදු වැඩ කටයුතු වෙනසක් නැතුව දිගටම කරගෙන යනවා.“

gossiplanka image 2
Previous Post Next Post