විවාහය අත්‍යවශ්‍ය දෙයක් නොවෙයි-කාංචනා අනුරාධි

gossiplanka image 1
කාංචනා අනුරාධි කියලා කියන්නේ බොහෝ දෙනෙක් අතර අතිශයින් ජනප්‍රිය දක්ෂ ගායන ශිල්පිනියක්. ගායනයට වගේම නර්තනයටත් ඇය උපන් හපනියක්. ප්‍රසංග වේදිකාවෙන් ඇගේ ගායන හැකියාවන් මෙන්ම නර්තන හැකියාවනුත් අපූරුවට ප්‍රදර්ශනය වෙනවා. ඒ වගේම තමයි කාංචනාට එදා වගේම අදත් ප්‍රසංග වේදිකාවෙන් හොඳ ඉල්ලුමක් තියෙනවා. සමහරු කියන විදිහට නම් මේ වෙද්දි කාංචනා තරුණ තරුණියන් අතර උන්මාදයක් බවට පත්වෙලා. ලොකු කුඩා වෙනසක් නැතිව හැමෝම ඇයගේ රූපයට වගේම කටහඬටත් ආදරය කරනවා. ඉතින් රටක් ආදරය කරන ආදරණීය හඬෙහි හිමිකාරිය, රටක් වසඟ කළ සුරූපිනිය තමයි අද පිනිපලසේ කතා නායිකාව.




 පසුගිය දවස්වල කලා කටයුතු සහ අධ්‍යාපන වැඩකටයුතු නිසා කාංචනා ටිකක් කාර්යබහුල වෙලා හිටියේ. මොනතරම් කාර්යබහුල වුණත් මොනතරම් ප්‍රසංග සඳහා ආරාධනා ලැබුණත් මාස දෙක තුනකට වතාවක් අලුත් ගීතයක් රසික රසිකාවියන්ට තිළිණ කරන්න නම් කාංචනා අමතක කරන්නේ නැහැ. ඉතින් ඇයගේ අලුත්ම ගීත නිර්මාණය පසුගිය දවසක අති උත්කර්ෂවත් අන්දමින් එළිදැක්වුණා. ඒ ගැන තමයි අපි මුලින්ම ඇයත් එක්ක කතා කළේ.




 "රඟනා කියලා කියන්නේ මගේ අලුත්ම ගීතය. ඇත්තටම කිව්වොත් මේක මගේ පළවෙනි සික්ස් එයිට් ඔරිජිනල් සෝන්ග් එක. මේක ඩාන්ස් සෝන්ග් එකක්. කාලයක් තිස්සේ ගොඩක් මහන්සි වෙලා, ලොකු ඉවසීමකින්, ගොඩක් ආසාවෙන් තමයි මේ ගීතය නිර්මාණය කළේ. රඟනා කියන්නේ සාමූහික උත්සාහයක ලස්සන ප්‍රතිඵලයක්.



මේ වෙලාවේ මම රඟනා කණ්ඩායමත් ආදරයෙන් මතක් කරනවා. ආලේ මල්, ඔපදා කියන ගීත දෙක නිර්මාණය කළ කණ්ඩායමමයි රඟනා ගීතයත් අරගෙන එන්නේ. දිල්ෂාන් එල්. සිල්වා අයියා තමයි මියුසික් කළේ. පද රචනය කළේ ලසිත ජයනෙත්ති අයියා. වීඩියෝ එක ඩිරෙක්ට් කළේ චාරුක දුෂ්‍යන්ත අයියා. මීට අමතරව බොහෝ දෙනෙක් රඟනා සාර්ථක කරගන්න මට ගොඩක් උදව් උපකාර කළා. නම් වශයෙන් මෙතනදී මතක් කරන්න බැරි වුණත් ඇඳුම් නිර්මාණය කළ, හැඩ ගැන්වීම් කළ, නේල්ස් ඩිසයින් කළ ආදී වශයෙන් ලොකු කැපකිරීමක් කළ හැමෝවම මම ආදරයෙන් සිහිපත් කරනවා. විශේෂයෙන්ම රැෆෙල්ලා ෆර්නැන්ඩුවත් මතක් කළ යුතුමයි. මගේ පළවෙනි සික්ස් එයිට් සෝන්ග් එක වගේම ඩාන්ස් සෝන්ග් එකක් නිසාත් රඟනා මට විශේෂයි. මේ ගීතයට නර්තනයෙන් ගැහැනු ළමයි පනස් දෙනෙක් සහභාගී වෙනවා. මමත් නර්තනයට ගොඩාක් කැමැතියි. මේක හැම දෙනෙක්ටම බොහොම සතුටින් විඳගන්න පුළුවන් ලස්සන නිර්මාණයක්."




 කාංචනා ගායනයට වගේම නර්තනයටත් උපන් හපනියක් බව මේ වෙද්දි මුළු රටම දන්නවා. ප්‍රසංග වේදිකාවේදී ඇයගේ ගායන හැකියාවන් වගේම නර්තන හැකියාවනුත් රසික රසිකාවියන්ට දැක බලා ගන්න පුළුවන්. ඉතින් කාංචනාගේ ගායන හැකියාවත් නර්තන හැකියාවත් එකම තැනකට කැටිකළ නිර්මාණයක් තමයි රඟනා කියලා කියන්නේ. රඟනා අති දැවැන්ත නිර්මාණයක්. එහි සාර්ථකව උදෙසා දෙසීයකට වැඩි කණ්ඩායමක් කාංචනාත් එක්ක එකතු වෙලා තියෙනවා. ඉතින් ඇගේ ඒ උත්සාහයේ සහ කැපවීමේ ප්‍රතිඵලය පසුගිය දොළොස් වැනිදා ඇස්පනාපිටම අපට දැකගන්න පුළුවන් වුණා. බොහෝ දෙනෙක්ගේ සහභාගිත්වය සහ ආශිර්වාදය මැද තමයි කාංචනා ඇයගේ අලුත්ම ගීතය එළිදැක්වූවේ.




 ආලේ මල් කියලා කියන්නේ කාංචනාගේ ගායන ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයක්. ඇත්තටම ඒ ගීතය කාංචනාගේ ජීවිතයට වාසනාව අරගෙන ආවා කියලා කිව්වත් වරදක් නැහැ. ආලේ මල් ජනප්‍රියම ගීතයට හිමි සම්මානයට පවා පාත්‍ර වුණා. ඉතින් ඒ ගීතය වගේම රඟනාත් අනිවාර්යෙන්ම ප්‍රේක්ෂකයන් ඉමහත් ආදරයෙන් වැලඳ ගන්නවාට කිසිම සැකයක් නැහැ.








 මේ වෙද්දි කාංචනාට ප්‍රසංග වේදිකාවෙන් ඉහළ ඉල්ලුමක් තියෙනවා. ඇයගේ ගායනයට වගේම ඉදිරිපත් කිරීම්වලටත් බොහෝ දෙනෙක් වශී වෙනවා. මේ නිසා කාංචනා ටිකක් වෙනදට වඩා තමන්ගේ ස්ටයිල් එක වෙනස් කරලා කියලත් පිරිසක් කියනවා. ඒ ගැන ඇය අපිට කිව්වෙ මෙන්න මේ වගේ කතාවක්.




 "ස්ටයිල් එක ගැන කතා කළොත් මම නම් එදා හිටිය කාංචනාම තමයි. ඒත් මුල ඉඳන්ම වගේ මම නිර්මාණකරණයේදී නම් නිර්මාණයෙන් නිර්මාණයට විවිධ ස්ටයිල් පාවිච්චි කළා. මොකද මමත් හැම ස්ටයිල් එකකම නිර්මාණ රසවිඳින ඒ හැම ස්ටයිල් එකකටම ගරු කරන කෙනෙක්. දැනෙනා තුරු, කාලි, ආලේ මල්, ඔපදා, නාදෙන්, උදුරාවී වගේ මගේ නිර්මාණ අරන් බැලුවොත් එකකට එකක් ඒ නිර්මාණවල ස්ටයිල් එක වෙනස්. මොකද අපි එකම ස්ටයිල් එකකට කොටුවෙන එක සාධාරණ නැහැ කියලයි මට හිතෙන්නේ. මමත් එක්ක එකතුවෙලා ඉන්න ඕඩියන්ස් එක විවිධයි. ඒ නිසා තමයි මම විවිධ ස්ටයිල්වලට නිර්මාණ කරන්නේ. හොඳට බැලුවොත් මම මුල ඉඳලා හිටිය විදිහටම තමයි තවත් ඉන්නේ. ඒත් ඉතින් හෙයා ස්ටයිල් එක නම් වෙනස් වෙනවා. හැම නිර්මාණයකදීම හැම ප්‍රසංගයකදීම එකම හෙයා ස්ටයිල් එක දාන්න බැහැ. ඉතින් හෙයා ස්ටයිල් වෙනස් කරන නිසා මගේ පෙනුම වෙනස් වෙලා කියලා සමහරුන්ට පේනවා ඇති. සමහර වෙලාවට ෆොටෝ ෂූට්ස්වලට, වීඩියෝවලට එක එක කන්සෙප්ට් හදනවා. ඒවා එක්ක අපිට ඇඳුම් පැලඳුම් වෙනස් කරන්න වෙනවා. ඒ නිර්මාණකරුවන් අලුත් අදහස් එක්කයි වැඩ කරන්නේ. ඒ නිසා විවිධ ෆැෂන්, ස්ටයිල් කරන්න පෙලඹෙනවා. ඒකත් එක්තරා විදිහක ආර්ට් එකක්. ඒත් මම ගායිකාවක් විදිහට වේදිකාවට යද්දී මම හැම වෙලාවකම යන විදිහක් තියෙනවා. ඒ විදිහ මම හැමදාම පවත්වාගෙන යනවා."






විවිධ ස්ටයිල්වලට නිර්මාණ කළත් කාංචනා එදා හිටිය කෙනාම තමයි කියලා ඇය අපිට කිව්වා. ඇය විවිධ තේමාවන් ඔස්සේ විවිධ ශානරවල ගීත රසික රසිකාවියන්ට දායාද කරන්න නිතරම උත්සාහ කරනවා. ඇගේ ඒ වෙනස සහ ගායනයට තියෙන දක්ෂකම නිසාම ප්‍රසංග වේදිකාවෙන් ඇයට ලැබෙන ආරාධනාවල නම් කිසිම අඩුවක් නැහැ. මේ ලෝකයේ වටිනාම වස්තුව ප්‍රේක්ෂකයන් නිසා ඔවුන්ට පුළුවන් උපරිමයෙන් සාධාරණයක් කරනවා කියලයි කාංචනා නම් කියන්නේ.




 "දේශීය මෙන්ම විදේශීය ප්‍රසංගවලටත් නොඅඩුව ආරාධනා ලැබෙනවා. මට මේ ලෝකේ වටිනාම වස්තුව මගේ ප්‍රේක්ෂකයන් කිව්වත් වරදක් නැහැ. ඔවුන්ගෙන් මට මේ තරම් ආදරය ලැබෙන්නේ මම කරපු පෙර පිනකට කියලයි මට හිතෙන්නේ. මොන තරම් හැකියාව තිබුණත් ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොලැබුණොත් අපිට අපේ හැකියාවන්වලට වටිනාකමක් දෙන්න බැරි වෙනවා. කලාකරුවන්ට හැමවෙලේම පණ දෙන්නේ ආදරණීය රසික රසිකාවියන්. ඒ නිසා මට පුළුවන් උපරිමයෙන් ප්‍රසංගවලට සහභාගී වෙන්න මම උත්සාහ කරනවා. ඒත් ආරාධනා ලැබෙන හැම ප්‍රසංගයකටම නම් සහභාගී වෙන්න පුළුවන්කමක් නෑ. ප්‍රසංගවලට සහභාගි වෙන අතරතුර මම මගේ නිර්මාණ කටයුතුවලටත් මූලිකත්වය දෙනවා. මම මගේ කාලය වැඩිපුරම යොදවන්න කැමැති නිර්මාණ කටයුතු වෙනුවෙන්මයි."




 කාංචනා කියන්නේ මේ වෙද්දි තරුණ පරම්පරාවේ වගේම බාල මහලු භේදයක් නැතුව බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනාගත් තරුණියක්. ඉතින් බොහෝ දෙනෙක්ගේ කතා බහට ලක්වෙන, බොහෝ දෙනෙක් ආදරය කරන මේ සුරූපිනියට තවමත් ආදරවන්තයෙක් නැද්ද කියලා සමහරු ප්‍රශ්න කරනවා. කාංචනා කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුත්‍රයෙක් සමග විවාහ වෙන්න යනවා කියලත් කතාවක් සමාජය තුළ තියෙනවා. ඒ ප්‍රශ්නයත් අපි කාංචනාගෙන් ඇහුවා.


ඇත්තටම මම ඒ ගැන මොකුත් කියන්න යන්නේ නැහැ. ඕනෑ කෙනෙක්ට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. ඔය වගේ කතා ගොඩක් දෙනෙක් කියනවා. ඒක සාමාන්‍යයි. කවුරු මොනවා කිව්වත් මට ප්‍රශ්නයක් නැහැ. හැමෝම තම තමන්ගේ ලෝකවලදී තමන්ට දැනෙන හැඟෙන දේවලුයි ප්‍රකාශ කරන්නේ. ඒත් ඔය කියන දේවල් මොනතරම් ඇත්තද මොනතරම් බොරුද කියලා ඔය කවුරුවත් දන්නේ නැහැ. කොහොම වුණත් ආදරය කියලා කියන්නේ මේ ලෝකේ මම දකින වටිනාම සහ විශාලම දේ. මේ හැමදේම නිර්මාණය වෙලා තියෙන්නේ ආදරය නිසා. අපිට හුස්ම ගන්නවත් තව මොනතරම් කාලයක් ඉතිරි වෙලා තියෙනවද කියලා අපි දන්නේ නැහැ. මේ මොහොතේ අපිට පුළුවන් තරම් මේ මුළු ලෝකයටම ආදරය පැතිරවිය යුතුයි සහ ආදරණීය කෙනෙක් විය යුතුයි කියලා මනුෂ්‍යයෙක් විදිහට මම විශ්වාස කරනවා. ආදරය හැම තැනකම තියෙනවා. ඒකට ප්‍රමාණයක් නැහැ. ඒ ආදරය තුළින් මුළු ලෝකයම සුවපත් කරන්න පුළුවන්. මම ආදරය දකින්නේ ඒ විදිහටයි" ආදරය ගැන හරිම ආදරණීය විදිහට වචන එකතු කරපු කාංචනාට විවාහය ගැන නම් තිබුණේ ටිකක් වෙනස් විදිහේ අදහසක්.




 "විවාහය කියන්නේ අන්‍යෝන්‍ය අවබෝධයත් එක්ක එකිනෙකාගේ පෞද්ගලිකත්වයට සහ විශ්වාසවලට ගරු කරලා ආදරේ නාමයෙන් දෙන්නෙක් අතර ඇතිකර ගන්නා ලොකු බැඳීමක්. ඒ බැඳීම නීතිමය බැඳීමක්. මේ සමාජයට ඒක අත්‍යවශ්‍ය කාරණාවක් කියලා මම හිතන්නේ නැහැ. මම මේ කියන එක සමහරුන්ට වැරදි විදිහට අවබෝධ වෙන්නත් ඉඩ තියෙනවා. විවාහය අත්‍යවශ්‍ය දෙයක් හැටියට මම දකින්නේ නැහැ කියලයි මම කිව්වේ. කොහොම වුණත් මිනිසුන් තම තමන්ගේ අවශ්‍යතාවට අනුව, තම තමන්ට දැනෙන හැඟීම් දැනීම්වලට අනුව විවාහයකට යොමු වෙනවා. ඒකත් ඉතාම හොඳ අත්දැකීමක්. ආදරය විවාහයකින් කෙළවර විය යුතුයි කියලා මම හිතන්නේ නැහැ. මම මුලිනුත් කිව්වා වගේ ආදරය කියන්නේ මේ ලෝකයේ තියෙන වටිනාම සහ විශාලම දේ. ඒ ආදරේ බැඳීමකින් කෙළවර විය යුතු නැහැ කියලයි මම හිතන්නේ." මිනිස්සුන්ට සතුන්ට පරිසරයට සීමාවක් නැතුව ආදරය බෙදා දිය යුතුයි කියලයි කාංචනා කියන්නේ. ඇත්තටම කාංචනා කියන්නේ හැමෝම එක්ක හිනාවෙලා කතා කරන, ආදරණීය නිහතමානී චරිතයක්. ඇයගේ ගායනයන් පහුගිය කාලයේ ලංකාව තුළ වගේම ලෝකයේ බොහෝ රටවල ජනප්‍රිය වුණා. ඉතින් ඇගේ අලුත්ම නිර්මාණය රඟනාත් ඒ විදිහටම ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳ ගනියි කියලා අපි හිතනවා.

gossiplanka image 2
Previous Post Next Post