
“ඇයි අපි සුදුද?” ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ අසංක සායක්කාරයි. මේ ටෙලිනාට්‍යයේ මුලින්ම මට තේමා ගීතය ගායනා කරන්න අවස්ථාව ලැබුණා. ඒ ආරාධනාවත් එක්ක එහි අධ්‍යක්ෂ ටෙලිනාට්‍යයේ රංගනයටත් දායක වෙන්න ආරාධනා කළා. ඉතින් ඒ විදිහට මේ ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණා. මීට පෙර මම ටෙලිනාට්‍ය කිහිපයකම රඟපාලා තියෙනවා.
අද වෙද්දි එහි රංගනයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මගතොටේදී මුණගැහෙන බොහෝ දෙනා “ඇයි අපි සුදුද?” කියලමයි අහන්නෙ. අද බොහෝ දෙනා සුදු වෙන්න හරි කැමතියි. හැබැයි කවදාවත් මම සුදු වෙන්න මහන්සි වුණේ නැහැ. මම එච්චර සුදු කෙනෙක් නෙවෙයිනෙ. හැබැයි සුදු වෙන්න කවදාවත් හිතුවේ නැහැ. ඉතින් ලැබුණු චරිතය ගැන මට සතුටුයි.
නිරංජලා රංගන ශිල්පිනියක් වගේම ගායිකාවක්?
ඔව්... මම ගීත කිහිපයක්ම කරලා තියෙනවා. අද නිර්මාණ කරද්දි අපිම නිර්මාණ කරන්න ඕනෑ. අපිම වියදම් කරලා, සංගීතය කරන, ගීත රචනා කරන අයව හොයාගෙන ශබ්දාගාරවලට ගිහින් විශාල මුදලක් වැය කරලා කරන්න ඕනෑ. ඇත්තටම ඒක ටිකක් වෙහෙසකාරී දෙයක්.
ගිය වසරේ ගීත කිහිපයක්ම එළිදැක්වුවා නේද?
ඔව්... ගිය වසරේ මගේම ගීත පහක් රූප රචනා සහිතව එළිදැක්වුවා. ඒ ගීත පහම සංගීතවත් කළේ ඕස්ට්‍රේලියාවේ පදිංචි සම්පත් ජයසුන්දර මහතා. අපි නිර්මාණ කරන්න හරි කැමතියි. නමුත් ඒ වෙනුවෙන් විශාල පිරිවැයක් දරන්න ඕනෑ. ප්‍රියන්ත කොඩිප්පිලි, විදුර ඩයස්, උමා අසෙනි වැනි මගේ බොහෝ ළඟ හිතවතුන් ගීත රචනයෙන් මට සහයෝගය දැක්වුවා. ඒ ගීතවලට රූප රචනා කළා. අද කාලේ ගීතයක් කරලා ඒකට වීඩියෝ එකක් කරලා අපිම රසික රසිකාවියන්ට කියන්න ඕනෑ “මේක බලන්න” කියලා. මම ඒකට එච්චර කැමති නැහැ. කිසිම දේකට හඹාගෙන යන්න මම කැමති නැහැ. එහෙම හඹාගෙන ගිහින් ලැබෙන ජනප්‍රියත්වය එච්චර වටින්නේ නැහැ. එක දවසින් views ගාණ වැඩි කරගන්නවාට වඩා මගේ සින්දු මතක් වුණු ගමන් ආයෙත් ගිහින් අහන්න හිතනවට මම කැමතියි. එක දවසින් දෙකින් views වැඩිවුණු ඇතැම් ගීත අද මිනිසුන්ගේ මතකයේ නැහැ. ඒකට මම එතරම් කැමති නැහැ.
පවතින මේ ක්‍රමයත් එක්ක යම් කලකිරීමක් තියෙනවද?
ඇත්තටම ඔව්... අපි ගීතයක් ලියන්න දවස් ගණන්, මාස ගණන් මහන්සි වෙනවා. ඒ පදවල තියෙන වචන, අරුත ගැන බොහෝ හිතනවා. සමහර වෙලාවට එක ගීතයක් හැදෙන්න පද රචනා කිහිප වතාවක්ම වෙනස් කරන අවස්ථා තියෙනවා. ගීතයක, පදයක, ගුණාත්මකභාවය ගැන බොහෝ හිතනවා. සංගීතය කරද්දී, ඒ ගීතය ගායනා කරද්දී, නිර්මාණය වුණු අවසන් ගීතය දක්වා අපි බොහෝ දේවල් හිතනවා. හැබැයි අද ජනප්‍රිය වෙලා තියෙන සමහර ගීත අහද්දි දුක හිතෙනවා. ඒ ගීතවල පදවල කිසිම ප්‍රමිතියක් නැහැ. ඇතැම් වචනවල කිසිම තේරුමක් නැහැ. ඒ දේවල් ගැන හිතද්දී කලකිරීමක් හිතට එනවා.
ඔබ නිර්මාණ කිහිපයකටම රංගනයෙන් දායක වුණු කෙනෙක්. රංගනයට වැඩිය නැඹුරුවක් නොදැක්වූයේ ඇයි?
රංගනය වෙනුවෙන් බොහෝ කැපකිරීමක් කළ යුතු වෙනවා. රූපවාහිනී තිරයේ දකින පොඩි කොටස රඟපාන්න වුණත් පුදුම කැපකිරීමක් කරන්න ඕනෑ. ඇත්තම කිව්වොත් ඒ කැපකිරීම මට කරන්න ටිකක් අමාරුයි. මම ලොකු කාර්යබහුල කෙනෙක් නෙවෙයි. හැබැයි පොඩි කම්මැලිකමක් තියෙනවා. රංගනයට මම කැමතියි. “ඇයි අපි සුදුද?” ටෙලිනාට්‍යයෙන් පස්සේ ආයෙත් රඟපාන්න ආසාවක් ඇතිවෙලා තියෙනවා.
නිරංජලා ගායිකාවක් වුණේ කොහොමද?
මම ඉගෙන ගත්තේ දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකා විදුහලේ. පාසල් යන කාලේ ඉඳන්ම මම සංගීතය කළා. පාසල් සමස්ත ලංකා තරග බොහොමයක් ජයග්‍රහණය කළා. උසස් පෙළ විභාගයෙන් පස්සේ මම සෝමලතා සුබසිංහ ගුරුතුමියගේ නාට්‍ය පාසලට සම්බන්ධ වුණා. එතැනින් මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. එතැනින් මට රංගනයට ආසාවක් ඇතිවුණා. සෝමලතා මිස් නිසා ලෝකය දකින්න, ලෝකය විඳින්න, කලාව රසවිඳින්න ඉගෙන ගත්තා. ඒ ඔස්සේ අමරදේව සර්, සනත් නන්දසිරි සර් වැනි ප්‍රවීණයන් එක්ක ගීත ගායනා කරන්න අවස්ථාව ලැබුණා. කසුන් කල්හාරගේ මුල්ම CD පට දෙකේම ඔහු සමඟ ගීත ගායනා කළේ මමයි. ඒ ගීත අදටත් මිනිසුන් රස විඳිනවා. මම බොහොම හෙමින් ගමනක් ආපු කෙනෙක්.
ඔබ කලාකාරියක් වගේම ව්‍යාපාරිකාවක්?
ඔව්... අද වෙද්දි මගේ තාත්තාගේ ව්‍යාපාර බලන්නෙ අක්කයි මමයි. මම විවාහකයි. මට කිසිම තරගයක් නැහැ. මම තරග කරන්නේ මාත් එක්ක විතරයි. මම හැමදේම කරන්නෙ ආත්ම තෘප්තිය ඇතුළේ. කිසිම දේකට කලබලයක් නැහැ. මම සංස්කෘති දෙකක හැදුණු කෙනෙක්. මගේ අම්මා සිංහල. තාත්තා ඉන්දියානු දමිළ. මට ලස්සන ළමා කාලයක් තිබුණා. අපේ පවුල් සංස්ථාව හරිම ආදරණීයයි. අම්මායි තාත්තායි මමයි අක්කායි හරිම සතුටින් ඒ ජීවිතය ගත කළා. සංස්කෘති දෙකක හැදීමත් හරි වෙනස්. හරි ආදරණීයයි. අම්මා තාත්තා තුළින් ආදරය, කලාව, සහයෝගය මම දැක්කා. තව කෙනෙක්ව ඉවසන්නේ කොහොමද? තව කෙනෙක්ට ගෞරව කරන්නේ කොහොමද? කියන දේ මගේ පවුල ඇතුළෙන් ඉගෙන ගත්තා. මම අද ඉතාම සතුටින් ජීවත් වෙන කෙනෙක්. පොඩි නිර්මාණ කන්දරාවකට දායක වුණත් කලාව ඇතුළෙත් මම හරි සතුටින්. පුංචි කාලේ ඉඳන් අම්මයි තාත්තායි මටයි අක්කාටයි කිසිම දේකට බලකිරීමක් කළේ නැහැ. අපිට නිදහසේ, සුරක්ෂිතව ජීවත් වෙන්න ඒ අය ඉඩ දුන්නා. කලාව කියන දේ අපේ ගේ ඇතුළේ තිබුණා. මම අමරදේව සර් යටතේ සංගීතය ඉගෙන ගන්න යද්දි මට අවුරුදු පහයි. සනත් නන්දසිරි සර්ගෙන් සංගීත විභාග සියල්ලම හැදෑරුවා. අම්මායි තාත්තායි විශ්වාස කරපු, ඒ මවපු සුන්දර ලෝකය ඇතුළේ අපි හැදී වැඩුණා. තාත්තා පුංචි කාලේ මාව නැලෙව්වේ දමිළ නැලවිලි ගීත කියලයි. අම්මා මාව නැලෙව්වේ සිංහල නැලවිලි ගීත කියලයි. ඒ රසවින්දනය හරි පුදුමාකාරයි.
• දිශානි ජයමාලි
