මගේ පුංචි සමනලීට අදටත් හැමෝම ආදරෙයි-නදීර නෝනිස්

gossiplanka image 1
ප්‍රසංග වේදිකාව උඩ කාටත් මතක් හිටින වැඩ පෙන්වපු හරි අපූරු චරිතයක් තමයි නදීර නෝනිස් කියන්නේ. එදා ෆ්ලෑෂ්බැක්, ඇරොස්ටාර් වගේ සංගීත කණ්ඩායම්වල ඔක්ටර්පෑඩ් වාදන ශිල්පියෙක් සහ ගායකයෙක් ලෙස කටයුතු කළ නදීර මේ වෙනකොට කණ්ඩායම් සංගීතයෙන් බැහැරවෙලා තනි ගායකයෙක් විදිහට තමන්ගේ සංගීත චාරිකාවේ යෙදෙනවා. ඔහුගේ දියණිය මරියා නෝනිසුත් මේ වෙනකොට නදීරගේ පාරේ යන්න පටන් අරන්. ඉතින් "පුංචි සමනලී" ගීතය හරහා මුළු රටේම ආදරේ දිනාගත් නදීරගෙන් ඒ හැමදේම ගැනම අහන්න අපි නදීරට කතා කළා.




ඉතින් නදීර, මේ දවස්වල සංගීත කටයුතු එහෙම කොහොමද?




සුපුරුදු විදිහට ආරාධනා ලැබෙන ප්‍රසංගවලට සහභාගි වෙනවා. ඒ වගේම අලුත් ගීත කීපයක වැඩකටයුතු කරගෙන යනවා. ඊටත් අමතරව දුව මරියා "MAMA" කියලා සංගීත කණ්ඩායමක් පටන් ගත්තා. මමත් එහි ගායකයෙක්. ඒක නිසා සංගීත කණ්ඩායමත් එක්ක පුහුණුවීම් කරනවා.




දැන් නදීරගේ සංගීත ජීවිතේට වසර කීයක් විතර වෙනවද?




දැන් වසර 30 ක් වෙනවා. ලොකු කාලයක් ඉතින්.




එතකොට මේ වෙනකොට නදීර ගීත කීයක් වගේ ගායනා කරලා තියෙනවද?




මගේ මතකය හරි නම් ගීත 50 ක් වගේ ගායනා කරලා තියෙනවා.




 නදීර නෝනිස් කොච්චර ගීත කළත් අදටත් බොහෝ දෙනෙක් කැමති ඔබ ගායනා කළ "පුංචි සමනලී" ගීතයට නේද?




ඔව් ඔව්. ඒ ගීතයට බොහෝදෙනා කැමතියි. ඒක මම කළේ 2006 අවුරුද්දේ. එහෙම බැලුවම දැන් ඒක අවුරුදු 19 ක් පැරණියි. හැබැයි අදටත් ජනප්‍රියයි. ඒක පද රචනය කළේ සම්පත් ප්‍රනාන්දුපුල්ලේ. සංගීතය සහ තනුව ෆ්ලෑෂ්බැක් රොෂාන් ප්‍රනාන්දු. මං ෆ්ලෑෂ්බැක් ඉන්න කාලෙයි "පුංචි සමනලී" කළේ.




"පුංචි සමනලී" නිසා නදීරට ලැබුනු අමතක නොවන ප්‍රතිචාරයක් එහෙම මතකද?




මම ලංකාවේ කොහේ ප්‍රසංගයකට ගියත් "පුංචි සමනලී" නොකියා වේදිකාවෙන් බහින්න බෑ. ඒක කියන්න කියලා කෑ ගහනවා. අන්න ඒ ප්‍රතිචාරය ගායකයෙක් විදිහට ලොකු සතුටක්. කොහොමත් දැන් මම ප්‍රසංගයකට ගියාම "පුංචි සමනලී" නම් වරද්දන්නේ නෑ.




ඒත් ඔබ ගායනා කරපු අනෙක් ගීතවලටත් සෑහෙන්න රසික ආදරේ ලැබෙනවා?




ඔව් ඔව්. දැවෙනා දුක, අමතක නොවෙනා, කඳුළු වැටුනු නෙත් පිටු අතරේ, ඔබ නොඑන කාරණේ, හිතට හිත වගේ ගීත හුඟාක් අය හරි ආදරෙන් වැළඳගෙන තියෙනවා. ප්‍රසංගවලට ගියාම ඒවට ලැබෙන ප්‍රතිචාරත් ඉහළයි.




ඔබේ ගීත ලැයිස්තුව අතරින් ඔබත් වඩාත් කැමති ගීතයක් ඇති?




මමත් "පුංචි සමනලී" ගීතයට හරි ආසයි. "ඔබ නොඑන කාරණේ" ගීතයටත් ආසයි.




 නදීර නෝනිස් සංගීත ජීවිතේ වැඩි කාලයක් ගත කළේ ප්‍රසංග වේදිකාව උඩ. අමතක නොවන දවස් එහෙම තිබිලා නැද්ද?




ඕන තරම් තිබිලා තියෙනවා. කොටින්ම පොතක් වුණත් ලියන්න පුළුවන්.




 අදටත් ප්‍රසංග වේදිකාවේ "ඔක්ටර්පෑඩ් කිං" විදිහට කවුරුත් සලකන්නේ නදීර. ඒ ගැන ඔබේ අදහස කිව්වොත්?




ඒක ගැන නිහතමානී සතුටක් තියෙනවා. ප්‍රසංග වේදිකාවේ ලොකු තාක්ෂණයක් නැති කාලයක මං ප්‍රසංගවලදි ඔක්ටර්පෑඩ් එකෙන් හිතාගන්න බැරි ගොඩාක් දේවල් කරලා පෙන්නුවා. ඒ දේවල් අදටත් මිනිස්සුන්ට මතකයි. මං හිතන්නේ අන්න ඒ මතකයත් එක්ක තමයි මං ඒ වගේ තැනක ඒ අය තියලා තියෙන්නේ. කොහොම වුණත් සතුටුයි.




නදීරගේ ගෙදර විස්තර ටිකක් කිව්වොත්?




මමයි, බිරිඳයි, පුතයි, දුවයි ඉන්නේ. පුතාට අවුරුදු 18 ක්. දුවට 15 යි.




ඒ අතරින් දුව මරියා නෝනිස් රටේ ජනප්‍රිය චරිතයක් වෙලා?




ඔව්. මගේ දුව මරියාටත් හොඳටම ගීත ගායනා කරන්න පුළුවන්. විවිධ අවස්ථාවල එයා ගායනා කරපු ගීත පසුගිය කාලේ සමාජ මාධ්‍යවල ඉතා ජනප්‍රිය වුණා. එයාගේ ආසාව හොඳ ගායිකාවක් වෙන්න. මං දුවට ඒකට පිටිපස්සෙන් ඉඳන් උදව් කරනවා. අද හෙටම දුවගේ අලුත් ගීතය "ඇසුත් හරවලා" එළිදක්වනවා. පුතා ජේසන් නෝනිසුත් ඊට ගායනයෙන් එකතු වෙනවා.




දුව තාත්තා ගිය පාරම තෝරගත්තේ ඔබේ ඉල්ලීමක් නිසාද?




 අනේ නෑ. එයා පොඩි කාලයේ ඉඳන්ම සංගීතයට හරිම ආස කෙනෙක්.




මරියා "MAMA" ‍‍(මමා) කියලා අලුත් ස‍ංගීත කණ්ඩායමක් පටන් ගත්තා නේද?




ඔව්, ටික දවසක් පටන් අරගෙන. තාම පුහුණුවීම් කරගෙන යනවා. එකෝස්ටික් බෑන්ඩ් එකක්. දුව එක්ක සාමාජිකයෝ අටදෙනෙක් ඉන්නවා. මටත් දුව සංගීත කණ්ඩායමට කතා කළා. ඒ නිසා දැන් මමත් "MAMA" සංගීත කන්ඩායමේ ඉන්නවා. අපි තාම පුහුණුවීම් කරනවා.




සංගීත කණ්ඩායමට ඒ වගේ නමක් දාන්න හිතුවේ මොකද?




ඇත්තටම "MAMA" (මමා) කියලා නමක් දැම්මේ "අම්මා" කියන අදහසින්.




දැන් අලුත් ගීතයක් එහෙම කරන්න කාලේ හරි නේද?




ඔව්, මගේ අලුත් ගීතය "ප්‍රේමාදරී" මේ අවුරුද්දේ මැද වගේ එළිදක්වන්නයි ඉන්නේ. 

gossiplanka image 2
Previous Post Next Post