රංගන ජීවිතේ ඉහළම ප්‍රතිචාර ලැබුණු චරිතය වාසුකී -රුවී ලක්මාලි

gossiplanka image 1
රුවී ලක්මාලි, නම මෙන්ම ඇය ද රූමත්ය. මේ දිනවල බොහෝ සේ ජනප්‍රිය විසේකාරී ටෙලි නිර්මාණයේ ප්‍රොෆෙසර් චේතියගේ බිරිය වාසුකී මෙන්ම ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන සුපුන් රත්නායකගේ ජුරාලියා ටෙලි නිර්මාණයේ මොනිකා ලෙසින් ද ඇය ඔබ හමුවට එන්නීය. වාසුකීට ලැබෙන උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාරත් සමඟින් නිහතමානී සතුටක් විඳිමින් සිටින ඇය අප හා කතාබහට එක්වූවාය.


කාන්තාවක සතු ඉවසීම, දරාගැනීම ඉහළින්ම ප්‍රගුණ කළ චරිතයක් එක්ක ඔබ මේ දිනවල ප්‍රේක්ෂකයන් අතරට එනවා. කොහොමද ඒ අත්දැකීම ?


විසේකාරී ටෙලි නිර්මාණයේ වාසුකී කියන්නේ ගැහැනියකට ඉවසන්න පුළුවන් උපරිමය ඉවසන අහිංසක, ආදරණීය චරිතයක්. මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘විසේකාරී’ ලක්ෂාන් වස්තුහේවාගේ තිර රචනයක්. ප්‍රභාත් රෝෂණගේ අධ්‍යක්ෂණයක්. තමන්ගේ සැමියා කරන වැරැදි ඉවසගෙන තම දරු පවුල රැකගැනීමේ නිහඬ උත්සාහයක යෙදෙන ගැහැනියක් විදිහට වාසුකීට ලැබෙන ප්‍රතිචාර දැක්කම ඒ චරිතයට මං උපරිම සාධාරණයක් කරල තියෙනවා කියලා දැනෙනවා. නංගී මේ අපිට කියාගන්න බැරි වුණු කතාව තමයි ඔයා මේ කියන්නේ කියලා ගොඩක් දෙනා කියනවා. ඔවුන් හිතාගෙන ඉඳලා තියෙන්නේ ඒ වගේ ප්‍රශ්න තියෙන්නේ එයාලට විතරයි කියලා. සමාජයේ තවත් අයට ඒ වගේ ප්‍රශ්න තියෙනවා කියල දැනගත්තම එයාලට හිත හදාගන්න පුළුවන් වුණා කියල කිව්වම මටත් ලොකු සතුටක් දැනුණා. මගේ රංගන ජීවිතේ ඉහළම ප්‍රතිචාර ලැබුණු චරිතය වගේම වාසුකී කියන්නෙ මගේ වාසනාවට ලැබුණු චරිතයක්.


එතකොට රුවී කියන්නේ මොන වගේ චරිතයක් ද?


වාසුකීගෙ මුල් කාලෙ රුවීම තමයි. මේ චරිතයට ගොඩක් දෙනෙක් බලලා තිබුණත් මාවම තෝරගන්න හේතුවත් ඒ මං ඉන්න විදිහ. ඒක මගේ හැටි මිසක් මං මවාගත්ත දෙයක් නෙවෙයි. කතා කරන විදිහ වුණත් ඒ මං කතා කරන විදිහමයි.


ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?


විවිධාකාරයේ ප්‍රතිචාර ලැබෙනවා. වාසුකීගේ ඉවසීම නිසා නම් ප්‍රේක්ෂකයින්ගෙන් ගොඩක් බැණුම් අහනවා. සමහර මිනිස්සු ගොන් ගෑනියෙක් කියලත් බැණලා තිබුණා. ගෑනු මේ තරම්ම මෝඩයිද කියලත් අහල තිබුණා. ඒත් මං නම් කියන්නෙ ගෑනු කොයි මොහොතෙවත් මෝඩ නෑ. තමන්ගෙ පවුල වෙනුවෙන් දරුවන් වෙනුවෙන් තමයි ඇය හැමදේම නිහඬවම දරාගන්නේ. වාසුකීට වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ කාන්තා පාර්ශ්වයෙන්. අපි නොදන්නවා වුණාට මේ වගේ අත්දැකීම්වලට මුහුණ දීපු අය ගොඩක් ඉන්නවා කියලා දැනුණේ මට ලැබුණු ප්‍රතිචාරත් එක්ක. ලංකාවේ ජනප්‍රිය චරිතවල ඇතැම් බිරින්දෑවරු මට පෞද්ගලිකව කතා කරලා කිව්වා මාව දකිද්දි ඒ එයාලමයි ඉන්නෙ කියලා හිතෙනවා කියලා. මට විතරක් නෙවෙයි ලක්ෂාන් අයියට, ප්‍රභාත් අයියට කතා කරලා ඔයාල කොහොමද මගේ කතාව ලිව්වෙ කියලා අහල තිබුණා. ගොඩක් කාන්තාවන් එළියට දාන්නෙ නැතිව හංගගෙන ඉන්න ප්‍රශ්නයක් තමයි මේ නිර්මාණයෙන් කතා කරන්නේ. ගොඩක් කාන්තාවන් වාසුකීව ‍අරන් තියෙන්නේ මගේ කතාව හැටියට. ඒක හරි ලස්සන තැනක්. මගේ ජීවිතෙත් මට අමතක නොවන දෙයක්. ගොඩක් කාන්තාවන් නියෝජනය කරන්න අවස්ථාව ලැබෙනවා කියන්නෙ ලොකු වාසනාවක්.


ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වුණු වාසුකී නේද දැන් ඉන්නේ?


ඔව්. ඔව්. ඕනෑම කෙනෙක් ඉවසල ඉවසල අන්තිමට පුපුරලා යනවා. වාසුකී තුළත් දැන් සිද්ධවෙන්නෙ ඒක. වාසුකී කියන්නේ චේන්ජ් වෙන චරිතයක්. ඉදිරියේදී තවත් වෙනස් වේවි. එක අවස්ථාවක චේතිය වාසුකීට ගහනවා. එතැනදි ඇගේ ඉවසීම නැති වෙනවා. වාසුකීත් චේතියට කම්මුල් පහරක් ගහනවා. බණින එක කොහොමහරි කළා කියමුකෝ. ඒත් චේතියට කම්මුලට ගහන එක ඒක කරන්න හරිම අමාරු වුණා. එතැනදි තමයි මං අමාරුවේ වැටුණේ. ඒත් එතැනදි මං රුවී නෙවෙයි වාසුකීනේ. මට ෆේල් වෙන්න බෑ. අධ්‍යක්ෂවරයාත් කෑගහනවා ගහන්න ගහන්න කියලා. අන්තිමට මං ඒක කළා.


මුවැත්තියක් වගේ හිටපු වාසුකී කොටි දෙනක් වගේ වෙනස් වෙද්දි මොකද හිතුනේ?


ඇත්තටම මං ඒ වගේ අත්දැකීමක් මීට කලින් ලබලා තිබුණෙ නැති නිසා චේතියගෙ කම්මුලට ගැහුවට පස්සේ මාත් ගොඩක් අවුල් වුණා. අමිල අයියගෙනුත් ලොකු සපෝට් එකක් ලැබුණා. එයා මට ගහන විදිහ කියල දුන්නා. එයත් ටිකක් බය වෙලා හිටියා කොහොම ගහවිද දන්නෑ කියලා. හැමෝම කිව්වේ කන පුපුරන්නම දේවි ද දන්නෑ කියලා. කොහොමහරි අමිල අයියට දෙපාරක් කන්න වුණා.


රුවී කියන්නේ මේ දවස්වල කාගේත් කතාබහට ලක්වන චරිතයක්. ඔබ ක්ෂේත්‍රයට ආපු ඒ අතීතය සිහිපත් කළොත්?


බොහෝ දෙනා මාව හඳුනගත්තේ අවුරුදු කුමරියක් විදිහට වුණත් මගේ කලාවට පිවිසීම සිදුවෙන්නේ පාසල් කාලෙදිමයි. ඒ අරුණ ජයවර්ධනගේ බාඳුරා දේශය ටෙලි නිර්මාණයෙන්. ඊට පස්සේ ගොඩක්ම සම්බන්ධ වුණේ වෙළෙඳ දැන්වීම්වලට. දැන්වීම් කලාවේ රැඳී ඉන්න පුළුවන් ටික කාලයක් වුණත් මට ඒ තුළ දිගටම රැඳිල ඉන්න වාසනාව ලැබුණා. ටෙලි නාට්‍යවලට වගේම යශෝධරා, ආශාවරී වගේ සිනමා නිර්මාණවලටත් දායක වෙන්න අවස්ථාව ලැබුණා. මං ප්‍රධාන චරිතයකින් දායක වුණු සිනමාපටයක් ඉදිරියේදී තිරගත වීමට නියමිතයි.

Previous Post Next Post